16
ආණ්ඩුවක් නොතිබුණු ආර්ථිකය බිංදුවට කඩාවැටී තිබූ රටක් සහ රටේ ජනතාව ද සමඟ නිර්භයව තම දෑතට වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගතය වෙනුවෙන් ඉටුකිරීමට පියවර ගෙන ඇති ඉදිරි වැඩපිළිවෙළ ඉටුකිරීම සඳහා නැවත වාරයක් ඒ මහතාට බලය ලබාදීම යුතුකම් හා වගකීම් දන්නා මේ රටේ ජනතාව අනිවාර්යයෙන්ම ඉටුකරනු ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 24 වැනිදා (සෙනසුරාදා) කැලණිය ආසන බලමුළු වැඩසටහනට එක්වෙමින් පැවසීය.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා විසින් මෙම ආසන බලමුළු සමුළුව සංවිධානය කර තිබූ අතර රැස්ව සිටි දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිස අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“ජනතාවගේ දැවෙන ප්‍රශ්න පරිණත නායකයකු ලෙස විසඳූ ජනාධිපතිවරයා තරම් ජාත්‍යන්තරය ජයගත් වෙනත් දේශපාලනඥයෙක් අපේ රටේ නැහැ. එතුමාට ලෝකයේ සෑම රටකින්ම උපකාරයේ දෑත් තමයි දිගු කළේ.
ජනතාවගේ ප්‍රශ්න එතුමා එතුමාගේ ප්‍රශ්න බවට හරවාගෙන විසඳුම් හොයන්න පටන් ගත්තෙ. ඉස්සෙල්ලාම කෙරුවේ ඩොලර් නැතුව වරායේ හිරවුණු තෙල් නැව් ටික රට තුළට අරන් ජනතාවට ඉන්ධන ටික අඩු නැතුව ලබාදීම. එදා එතුමා එතුමාගේ ව්‍යාපාරික මිත්‍රයන්ගෙන් උපකාර ඉල්ලුවෙ රටේ ජනතාවගේ ප්‍රධානම ගැටලුව විසඳන්න. ඒ ක්‍රමය ඉතාම සාර්ථක වුණා.
දැන් අපි මේ සියලුම අභියෝග ජය අරන් ඉවරයි. එදා අපි නිවැරදි තීන්දුව ගත්තා කියන සතුට අද අපි භුක්ති විඳිනවා. මේක අත්හදාබැලීම් කරන අවස්ථාවක් නෙවේ. ඒ නිසා යුතුකම් හා වගකීම් දන්න රටට ආදරය කරන අපේ රටේ ජනතාව, රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් ඉටු කිරීමට සූදානම්ව සිටින ඉදිරි වැඩපිළිවෙළ අඛණ්ඩව කරගෙන යාමට මෙවර ජනාධිපතිවරණයේදී එතුමාට නැවත වාරයක් බලය ලබාදෙන බව අපේ විශ්වාසයයි’ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා,
“ඔබට මතකද අපි පැය 12ක් 15ක් විදුලිය නැතුව කළුවලේ හිටියා. දවස් ගණන් ඉන්ධන පෝලිමේ හිටියා. ඔබේ දරුවන්ට බත් එක අඳුරේ ඉඳන් කැව්වා. අහිංසක මිනිස්සු ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල ජීවිතේ අවසන් ගමන් ගියා. මොකද දවස් තුන හතරෙ පෝලිමේ ඉඳලා සල්ලි ගෙවලත් ඉන්ධන දුන්නෙ සීමාසහිතව. ඇත්තටම මිනිස්සුන්ට ජීවිතය කලකිරිලා හිටියේ. මේ සියල්ල ඉටුකරද්දී විපක්ෂයේ කණ්ඩායම එතුමාගේ කකුලෙන් ඇද්දා. මොකද ඔවුන්ට කරන්න බැරි දේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනතාවට කරලා පෙන්නුවා. රටේ ආර්ථිකය ඉතාම සියුම් තැනක තියෙන්නේ. මේ වැඩපිළිවෙළට අකුල් හෙළුවොත් අපිට ආයෙත් පෝලිම් යුගයකට යන්න වෙනවා. මේක අත්හදාබැලීම් කරන්න පුළුවන් කාලයක් නම් නෙවේ. රටේ කඩා වැටීමත් එක්ක රටට වැඩ කරන්න හිටිය තරුණ ජවය මේ රට දාලා ගියා.
විපක්ෂය හිනා වුණා රනිල් වික්‍රමසිංහ 2048දී මේ රට සිංගප්පූරුවක් කරන්න යනවා කියලා කිව්වම. එතුමා ඒක කිව්වෙ 1948දී අපි සුද්දගෙන් මේ රට නිදහස් කරගෙන වසර 100ක් සම්පූර්ණ වෙනකොට අපේ රටත් ආසියාවේ පාරාදීසයක් කරනවා කියලයි.”
එම අවස්ථාවට එක්ව සිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ පැවසීය.
“අපි අද පක්ෂ, පාට භේදයකින් තොරව එකම වේදිකාවකට ඇවිත් තියෙන්නේ මේ රට අගාධයෙන් ගොඩගත්ත නායකයාට නැවත වාරයක් රටේ අනාගතය භාරකිරීමේ උදාර පරමාර්ථයෙන්. අද මෙතැන සෑම පක්ෂයකම මැති ඇමැතිවරුන් ඉන්නවා. රට පෙරට මිස පක්ෂය පෙරට කියලා හිතන වෙලාවක නෙවෙයි අද අපි ඉන්නේ. එදා අපේ මන්ත්‍රී කෙනෙක් මහපාරේ මරලා දැම්මා. රටේ නීතිය අවනීතිය වෙලා තිබුණා. දවස් තුනක් පොලිසියටවත් මිනිය ළගට යන්න බැරි වුණා.
ඔබ දේශපාලනික ඥානය සහිත රට පිළිබඳව නිරන්තරයෙන් අවදියෙන් ඉන්න බුද්ධිමත් පිරිසක්. එසේ නම් ඔබේ අවසාන තීරණය ගන්න කාට ද මේ වතාවේ රට භාරදෙන්නේ කියලා. පසුතැවීමට ඉඩක් නොතබා රට වැටුණු තැනින් ගොඩගත් පරිණත නායකයාට යළිත් වාරයක් මේ රටේ අනාගතය භාර දෙන්න’ යැයි ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පැවසීය.
කැලණිය – කේ. එස්. හැන්නදි