Home Politics News Room : රැල්ලට ගිහින් ආණ්ඩුවට මුක්කු ගහන දේශපාලන ප්‍රතිපත්තියක් අපට නෑ

News Room : රැල්ලට ගිහින් ආණ්ඩුවට මුක්කු ගහන දේශපාලන ප්‍රතිපත්තියක් අපට නෑ

0
0

රැල්ලට ගිහින් තිබෙන ආණ්ඩුවට මුක්කු ගහන දේශපාලන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නැතැයි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තමන් විශ්වාස කරන දේශීය චින්තනයත් වමේ දේශපාලනය මෙන්ම රටේ ඒකීයබව, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරන සහ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ නොකරන, ඉඩම් හා පොලිස් බලතල නොදෙන ඒකීය රටක මේ රට පාලනය කළයුතු බව දැඩි සේ විශ්වාස කරන දේශපාලන බලවේගයක් බව පෙන්වා දෙන ඒ මහතා සියලු ජාතීන් හා සියලු ආගම් අදහන අයගේ ගෞරවය ආරක්ෂා කරන ආකාරයටත් සංස්කෘතීන් ආරක්ෂා වන විදියටත් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරිය හැකි දේශපාලන බලවේගයක් බව ද පැවැසීය.

2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කැලණිය, හුණුපිටිය නගරයේ දී පැවැති ජනහමුවට පසුගියදා (24) එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

එළඹෙන සැප්තැම්බර් මාසයේ 22දායින් පසු අපි පිහිටුවන ආණ්ඩුව රටේ සංවර්ධනය වගේම මහින්ද රාජපක්ෂ මහතා නතර කළ තැනින් ඉදිරියට එදා සංවර්ධන කටයුතු රැගෙන යන බවට පොරොන්දු වෙනවා. අපි දේශීය චින්තනය සමඟ බද්ධ වුණු දේශපාලන බලවේගයක්. ගම සහ පන්සල කේන්ද්‍ර කරගත් සංවර්ධනයකට අපි යා යුතුයි. දේශීය ආර්ථිකයේ දේශීය ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා ආරක්ෂා කළ යුතුයි. මිනිසුන්ට දරන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කළ යුතු වෙනවා. වර්තමානයේ අසාධාරණ ලෙස බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඒක වෘත්තිකයන්ට ව්‍යවසායකයන්ට සාමාන්‍ය ජනතාවට බලපානවා. අපේ බදු ප්‍රතිපත්තිය සරල වෙනවා වගේම මිනිසුන්ට දරාගන්න පුළුවන් බදු ප්‍රතිශතයක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තාක්ෂණයට පරිවර්තනය කොට බදු ගෙවන ප්‍රමාණය වැඩිකර ගැනීමේ වැඩපිළිවෙළක් ඊළඟ වසර තුන හතරේ ක්‍රියාත්මක කරනවා. ඒ තුළ රාජ්‍ය ආදායම අඩු නොවී බදු ආදායම වැඩි කර ගන්න පුළුවන්. ඇතැමුන් සිතනවා රාජ්‍ය ආදායම වැඩි කර ගන්න මේ රටේ අසීමිතව බදු ගන්න ඕනෑ.අනෙක් පැත්තෙන් රාජ්‍ය දේපළ විකුණන්න ඕනෑ කියලා.

ඒ නායක නායිකාවන් කිසිවකු රාජ්‍ය දේපළ ගොඩනඟපු අය නොවෙයි.නමුත් විකුණන්න ඉන්නවා. මේ රටේ රාජ්‍ය දේපළ සුරකින්න ඕනෑ. රාජ්‍ය දේපළ වෙත ආයෝජන ගෙනැවිත් ඒවා දියුණු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුයි. ඒ වැඩපිළිවෙළ අපට තිබෙනවා. ඒ වැඩපිළිවෙළ සමඟ එක් පැත්තකින් රාජ්‍ය දේපළ සංවර්ධනය කර රාජ්‍ය ආදායම වැඩිකර ගන්නවා මිස රාජ්‍ය දේපළ විකුණාගෙන රාජ්‍ය ආදායම වැඩිකර ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සංස්කෘතියත් එක්ක පදනම් වුණු ජාතියක්. අරගලය වෙන්න පුළුවන් වෙනත් විකල්ප බලවේග වෙන්න පුළුවන් හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ මේ සංස්කෘතියට ගහන්න. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහතාට ගහන්න නම් ගමට මුලින්ම ගහන්න කියන යෝජනාව ගෙනාවේ. ඒ අය හිතනවාට වඩා ගමේ සංස්කෘතියක් මේ රටේ තිබෙනවා. කාලයෙන් කාලයට වෙනස් අපි වගකීම් භාරගත් දේශපාලන පක්ෂයක්. වගකීම් කළ දේශපාලන පක්ෂයක්. වගකීම් පැහැර නොහැරිය දේශපාලන පක්ෂයක් විදියට අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම මම භාර ගන්න සූදානම්. අපි දන්නවා අම්මා තාත්තා හිතන විදිය. අපි දන්නවා මේ රට භාරගන්න සිටින තරුණ පරපුරේ අපේක්ෂා. මේ දරුවන්ගේ, තරුණ තරුණියන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්න අවශ්‍ය අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිව්‍යූහගත කිරීමට අවශ්‍ය අවබෝධයක් අපට තිබෙනවා.

ඒ වෙනුවෙන් අපට වුවමනාවක් ද තිබෙනවා. අපි ප්‍රතිපත්තිගරුක දේශපාලනය කරන කණ්ඩායමක්. පවතින රැල්ලට දේශපාලනය කරන පිරිසක් නොවෙයි. පවතින රැල්ලට ගොස් පවතින ආණ්ඩුවට මුක්කුගහන දේශපාලන ප්‍රතිපත්තියක් අපි ළඟ නැහැ. අපි විශ්වාස කරන දේශීය චින්තනයත් වමේ දේශපාලනය වගේම මේ රටේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරන සහ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ නොකරන, ඉඩම් හා පොලිස් බලතල නොදෙන ඒකීය රටක් තුළ මේ රට පාලනය කළ යුතුයි කියා දැඩිසේ විශ්වාස කරන දේශපාලන බලවේගයක් විදියට සියලු ජාතීන් හා සියලු ආගම් අදහන අයගේ ගෞරවය ආරක්ෂා කරන විදියටත් සංස්කෘතීන් ආරක්ෂා වන විදියටත් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්න පුළුවන් දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන පාක්ෂිකයන් ආරක්ෂා කරන්න අපි දිවි හිමියෙන් කැපවී සිටිනවා. අපි මේ රට ගොඩනඟන්න, ඒකීයත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා. ලංකාව ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණුවන රට කරන්න අපි සියලු දෙනාම එක්ව කටයුතු කරමු.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා-

ගම්පහ දිස්ත්‍රික්කයේ සාර්ථක රැස්වීම් කීහිපයක් පවත්වා තිබෙනවා. ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ආසනයට එක් රැලියකට වගේ යනවා. නමුත් නාමල් රාජපක්ෂ ආසනයකට රැස්වීම් තුන හතරකට යනවා. මෙවර මැතිවරණය තීරණාත්මකයි. එදා මහින්ද රාජපක්ෂ මහතා පරදිනවා දැන දැන උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා නියමිත කාලයට මැතිවරණ පැවැත්වූවා. එදා දැවැන්ත සංවර්ධනයක් අපේ රටේ සිදු වුණා. පාසල්, රෝහල්, අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ, වරාය ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. මේ රටේ හැමදාම කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. 2015 පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පැරදුණේ කුමන්ත්‍රණවලින්. එදා මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් නොකළා නම් අද අපේ රටට මෙවැන්නක් සිදුවන්නේ නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුව තිබෙන්නේ කුමක් ද? කෑලි කෑලිවලට කැඩී ගිහින්. නමුත් අපි පක්ෂයක් ලෙස කොන්දේසි විරහිතව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන්නා. මහින්ද රාජපක්ෂ මහතා මේ මහ පොළොවට ණය නැති නායකයෙක්. ඒ වගේම මේ මැතිවරණය තමයි ඡන්ද 4ට කැඩෙන මැතිවරණය. නමුත් නියත වශයෙන්ම නාමල් රාජපක්ෂ මෙවර මැතිවරණයෙන් ජය ගන්නවා.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා-

මේ දිස්ත්‍රික්කයට නායකත්වය දුන් ප්‍රසන්න රණතුංග දැන් රනිල් වික්‍රමසිංහ ළඟට ගිහාන් තිබෙනවා. ඔහුට හිතෙනවා නම් රනිල් වික්‍රමසිංහ දිනනවා කියා ඇයි අර්ජුන රණතුංග නොගන්නේ. එහෙම කියන ප්‍රසන්න මේ දිස්ත්‍රික්කයේ ජනතාවට කියනවා රනිල් දිනවන්න එන්න කියලා. පැවැති දේශපාලන අවුලෙන් රට මුදාගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න අපි පියවර ගත්තා. අරගලයෙන් කීවේ රාජපක්ෂවරු නොවන කෙනෙකුට ජනාධිපති, අගමැති දෙන්නනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළ නිසා අපි ආණ්ඩුවක් විදියට සහාය දුන්නා. පැවැති ප්‍රශ්නය විසඳුවේ රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග යන අය විතරක් නොවේ.

හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා-

නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ ආසනයේ පැවැත්වෙන තෙවැනි රැස්වීම මෙයයි. එදා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මේ ආසනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. මෙවර මැතිවරණය ඉතාම තීරණාත්මක එකක්. ගම්පහ දිස්ත්‍රික්කය දිනන්න අපට පුළුවන්. ප්‍රශ්න රැසක් මැද අපි මෙවර මැතිවරණයට මුහුණ දෙනවා. අපේ දිස්ත්‍රික්කයේ හිටපු නායකයා ගැනත් අපි කතා කළ යුතුයි. රාජපක්ෂවරු නැති කණ්ඩායමක් ගැන එතුමා කතා කරනවා. මහ ඇමැතිකම දෙනවිට, කැබිනට් ඇමැතිකම් දෙනවිට එතුමාට රාජපක්ෂවරු ගැටලුවක් නැහැ. බෙල්ල ගියත් අපි රාජපක්ෂවරු සමඟ හිට ගන්නවා. එදා අවුරුදු 30ක යුද්ධය අපි දැක්කා. ඒ යුද්ධයේ ආදීනව මේ ජනතාව දන්නවා. එහෙම තිබුණ රටක් නිදහස් කළේ මහින්ද රාජපක්ෂ මහතායි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණ අවුරුදු තුනක් ඇතුළත මේ යුද්ධය අවසන් කළානම් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා අදත් ජීවත් වෙනවා.

රාජ්‍ය ඇමැතිවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක, ජයන්ත කැටගොඩ, ඩී. වීරසිංහ, කටාන ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායක ආනන්ද හරිස්චන්ද්‍ර මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here