5
70දශකය යනු මෙරටේ දේශපාලන වේදිකාවේ නොයෙක් කතාබහට ලක්වුණු කාලච්ඡේදයකි. රට විවෘත ආර්ථික අර්ථ ක්‍රමයකට යොමු වුණු මුල් අවස්ථාවයි. මෙරටේ තීන්දු තීරණ වෙනුවෙන් හා පරිපාලන කටයුතු වෙනුවෙන් ක්‍රියාකාරීව සිටි ප්‍රබල චරිත ද බොහෝ දෙනකු අතර ප්‍රචලිත විය.
ඇතැමුන් තමුන්ගේ වෘත්තීය මාර්ගය වෙනස් එකක් වුවත්, තවත් වෙනත් නොයෙක් කරුණු කාරණා ඇතුළුව දේශපාලනය හා බලයට මුසුව නොයෙක් වඩා පහසු ආකාරයේ ආර්ථික මාර්ග වෙතද යොමු වී සිටියහ. එය කවදත් කොතැනත් සිදුවූවක් වුවත් මෙරට පැහැදිලිව ඊට යොමු වූයේ මෙම කාලවකවානුවෙන් පසුව ආ යුගයේ යැයි කිවහොත් එය සාවද්‍ය නොවේ. ඇතැම් චරිත දේශපාලනයේ ප්‍රබලයෝ වූහ. ඇතමුන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ද වූහ. මේ චරිත අලළා පසු කාලීනව විවිධ ලේඛකයෝ විවිධ ග්රන්ථ සම්පාදනය කළහ. ඒවාට බොහෝ වස්තු විෂය වූයේ මේ දේශපාලනඥයන්ගේ අපූරු චරිත ස්වරූපයන්ය. ඇතැම්හු ඒවා උපහාසයටත්, අපහාසයටත් ලක් කළහ. ගුණසේන විතාන මහතා විසින් රචනා කරන ලද “වැහැපන් වැහි වලාවේ” නවකතාවටද එවැනි චරිත ස්වරූපයන් විවරණය කොට තිබිණි. “මම ගමේ කෙනෙකු විදිහට ගමෙන්ම ලබා ගත් ඇත්ත චරිත ඒ තුළ නිරූපණය කළා. අපේ ගමේ හිටියා දේශපාලනඥයෙක්. පොඩි රාලහාමි කියලා. මිනිහා බේබද්දා, මැරයා” ගුණසේන විතාන මහතා එම දේශපාලන චරිතය විග්රහ කළේ ඒ ආකාරයටයි. මෙයින් අපට එවන් චරිත හා ඔවුන්ගේ කල්ක්‍රියා ගැන යම් වැටහීමකට ආ හැකියි.
අද අපේ රස කතාවටද බඳුන්වන්නේ එවැනි චරිතයකි. එකල එම දේශපාලනඥයා විසූයේ අනුරාධපුරයේයි. ඔහු වෙනත් ආකාරයටත් තම ආර්ථික මාර්ගය සවිමත් කර ගත් අයෙකි. ධනය සහ බලය තියේනම් ඔවුන් විසින්ම ඒවා වලංගු කොට ගත්තාහ.
අපේ රස කතාවට බඳුන්වන මේ චරිතය අපි ගුණසෝම යැයි හඳුන්වමු. මේ ගුණසෝම මහතා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකි. ඔහු වටා ගෝල බාලයෝ ද රැසක් සිටියහ. මේ ගෝල බාලයෝ ද ඇතැම් අවස්ථාවලදී අපේ කතා නායකයාගේ බලය ගෙන වැඩ කළහ. ගුණසෝම දේශපාලනඥයා ගස් කපා විකිණීමේ ව්‍යාපාරයේ යහමින් නිරතව සිටියේය. ඔහු එකල පැවති මැතිවරණයට ඉදිරිපත් විය. ඔහුගේ හිතවත් පාක්ෂිකයන් හෝ හිතවතුන් හෝ ඔහු විසින් හෝ කිසියම් මාර්ගයකින් හෝ විශාල ගස්වල කඳන්වල “අපි ගුණසෝමට” කියා පෝස්ටර් දැන්වීම් අලවා තිබුණි. රාත්‍රියේ අලවා තිබූ ඒ පෝස්ටර්වලට පිළිතුරු පෝස්ටර් ඊට පසුදා තරමක් කුඩා ගස්වල කඳන්වල අලවා තිබුණි. එම පෝස්ටර්වල මෙවැන්නක් ලියා දක්වා තිබුණි.
“අපිත් ලොකු වුණාම ගුණසෝමට තමයි”.
මෙය පාඨක ඔබේ රස වින්දනය සඳහා පමණකි
විශේෂ ස්තූතිය,
විශ්‍රාමික හිටපු අමාත්‍යාංශ ලේකම්
ඒ. පී. ඒ. ගුණසේකර මහතාට
ශ්‍යාමා සමරසිංහ