Home Politics News Room : අපි වඩා යහපත් දිසාවකට සමාජය යොමු කිරීමට වෙහෙසෙන ව්‍යාපාරයක්

News Room : අපි වඩා යහපත් දිසාවකට සමාජය යොමු කිරීමට වෙහෙසෙන ව්‍යාපාරයක්

1
0

ජාතික ජන බලවේගය යනු ශිෂ්ටාචාරය මත පදනම්ව තමන්ගේ දැක්ම නිර්මාණාත්මකව ගළපා ගන්නා දේශපාලන ව්‍යාපාරයක් යැයි ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ, සඟරුවනේ මහ පෙළහර – ජාතික භික්‍ෂු පෙරමුණේ මහ සඟ සමුළුවට පසුගියදා (23) සහභාගි වෙමිනි. මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී මේ හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

පෞද්ගලිකව මටත්, අපේ ව්‍යාපාරයටත් ආශීර්වාද කිරීමට මේ අවස්ථාවට වැඩම කළ දහස් සංඛ්‍යාත ගෞරවනීය මහා සංඝරත්නයට පළමු කොට ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. අවලාද, අසත්‍ය, මඩ ප්‍රහාරවලට යට වූ දේශපාලන වේදිකාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. සමහර දේශපාලන වේදිකාවල කියවුණු දේවල් ඔබ වහන්සේත් අහන්න, දකින්න ඇති. මේ වගේ සභාවක පුද්ගලයන්ගේ නම් කියන්න මම අකැමැති වුණත්, අදාළ කරුණු පැහැදිලි කිරීමට ඔවුන්ගේ නම් කීමට සිදු වී තිබෙනවා. කුරුණෑගල පවත්වන ලද සජබ රැස්වීමේ මහාචාර්ය චරිත හේරත් මහතා කතා කළා. ඔහු කෑ මොර දීලා කීවේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඇත් කඳවල විහාරයේ පෙරහර පවත්වන්න දෙන්නේ නැහැ කියලා. ඒ වගේම මහනුවර දී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ, අපි බලයට ආවොත්, නුවර පෙරහර නතර කරනවා කියලා. තවත් සමහර අය විටින් විට චෝදනා එල්ල කරමින්, ජාතික ජන බලවේගය බලයට ආවොත්, පන්සලට දානයක්වත් ලැබෙන්නේ නැති වන බවට චෝදනා කළා. අද දහස් සංඛ්‍යාත ගරුතර මහා සංඝරත්නය මේ ශාලාවේ ඉඩ මදි වන තරමට වැඩම කිරීමෙන් එම අවලාද, අසත්‍යය නොපිළිගන්නා බවට ප්‍රායෝගික උත්තරයක් ලබා දී තිබෙනවා. අපි ආගම ගැන සමාජය පිළිබඳව ඕපපාතිකව කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. දැනුමක් තිබෙන අයගෙන් විමසා බලා කරුණු පැහැදිලි කර ගන්නවා. අත්තංගනේ මහානායක හාමුදුරුවන්ට මම පෞද්ගලිකව කතා කර යම් කරුණු නිරාකරණය කරගෙන තිබෙනවා.

අපි වේදිකාවේදී අතට එන යමක් අරගෙන ගහන දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. නොදන්නා දේවල් ගැන දැනුවත් වී වඩා යහපත් දිසාවකට මේ සමාජය යොමු කරන්න වෙහෙසෙන ව්‍යාපාරයක්. ඒ නිසා ආගම සහ මේ සමාජය පිළිබඳව අපට තිබෙන්නේ ගැඹුරින් හැදෑරූ, අසා දැනගත් ඔවදන්වලින් ලබා ගත් අවබෝධයක්. ඕනෑම සමාජයක් ශිෂ්ට සම්පන්නභාවයට, ස්ථාවරත්වයට ගෙන එන්න නීතිරීති වගේම ආගමික පසුබිමත් ඉතා හොඳින් බලපානවා. මුළු සමාජයක් නීතිවලින් පමණක් මෙහෙයවන්න බැහැ. රීති, සම්ප්‍රදාය, ආගමික විශ්වාස ආදී සමස්තයක එකතුවෙන් සමාජයක ස්ථාවරභාවය ඇති කෙරෙනවා. කවුරු හෝ කෙනෙක් හිතුවක්කාරී විදියට සම්ප්‍රදාය, ඇදහිලි, විශ්වාස කඩාබිඳ දමනවා නම්, කලබැගෑනි සහිත අරාජික සමාජයක් බිහිවෙනවා. එක් එක් රටවල සම්ප්‍රදාය, ඇදහිලි, විශ්වාස ගොඩනැඟෙන්නේ විශාල ඉතිහාසයක් සහිත පසුබිමකින්. මේ මොහොතේ පවතින්නේ අතීතයේ දිගුකාලීන විකාශනයක්. එවැනි තත්ත්වය කඩාබිඳ දැමීමෙන් මහපොළොවත් එක්ක ඓන්ද්‍රීය බැඳීමක් නැති, ශිෂ්ටාචාරයක් නැති, හුදු පාවෙන මිනිස් පුලුටු බවට පත් වන ජාතියක් බවට පත් වෙනවා. සමාජයක් ඉස්සරහට යන්නේ ඒ සමාජය ගොඩනැඟුණු ශිෂ්ටාචාරයේ පවතින ඇදහිලි, විශ්වාස ඉවත් කරමින් නොවෙයි. ඒ සමඟ එකිනෙකාගේ මිශ්‍ර වීමෙන් සහ අලුත් දේවල් එකතු කර ගැනීමෙන්. ලෝකයේ දියුණුයැයි සම්මත කිසිදු සමාජයක් තමන්ගේ ඓතිහාසික ශිෂ්ටාචාරය පසෙක තබා දියුණුවේ ඔරුව පැද යන්නේ නැහැ.

ලාංකේය ශිෂ්ටාචාරය ගොඩනැඟීමේදී ප්‍රධානම පදනම සැකසෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන්. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුව ලාංකිකයන්ට ලැබුණු විධිමත් දහමක් සහ දැක්මක් සහිතව ගොඩනැඟෙන්න පටන් ගත්තා. ඉතිහාසයට උරුමකම් කියන ශක්තිමත් ලාංකේය ශිෂ්ටාචාරයක් ගොඩනැඟෙන්න පටන් ගත්තේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුවයි. අපට ඊට පෙරත් ලිඛිත භාෂාවක් තිබුණු බවට ඇතැම් විද්වතුන් සඳහන් කරනවා. නමුත්, සෙල් ලිපි, ලෙන් ලිපි ආදී සාක්‍ෂි හමු වන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුවයි. ශිල්ප කලාවන්ගෙන් මහා විස්කම් පෑ ජාතියක් බවට පත් වන්නේ ඉන් පසුවයි. ලෝවාමහාපාය වැනි විස්මිත නිර්මාණ බිහි වීමේ පදනම බෞද්ධ දර්ශනයයි. එතැනින් නොනැවැතී ජනපද ආශ්‍රිත ආර්ථිකය ගොඩනැඟෙන්නේම වාපි කර්මාන්තයත් එක්ක. අපි අද අත්විඳින, දකින සමාජයේ ආරම්භක මුල් පවතින්නේ, අපි වැඩෙන්නේ, අපි පවතින්නේ සහ ඉදිරියටත් නිර්මාණය වන්නේ ඒ මතින්. කවුරුහරි ඒ පාදම, මුල් විනාශ කොට දැමිය යුතුයි කියලා කියනවා නම්, ඔළුව පරීක්‍ෂා කර ගන්න වෙනවා. අපට චෝදනා කරන අයට මම කියන්නේ ඒ අය තමන්ගේ ඔළුව පරීක්‍ෂා කර ගන්න කියලා. ජාතික ජන බලවේගය කියන්නේ මේ ශිෂ්ටාචාරයේ පවුරු පදනම් මත තමන්ගේ දැක්ම නිර්මාණාත්මකව ගළපා ගන්නා දේශපාලන ව්‍යාපාරයක්. අපි මේ මහපොළොවත් එක්ක ඓන්ද්‍රීය සම්බන්ධතාවක් තිබෙන දේශපාලන ව්‍යාපාරයක්.

ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමි-

අපේ රටේ ජාතික නිදහස අහිමි කර අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කර ගන්න උත්සාහ කළ මුල්ම අවස්ථාවේ සිට වාරියපොළ හාමුදුරුවෝ, ගිරාණේගම හාමුදුරුවෝ, කුඩාපොළ හාමුදුරුවෝ, චන්ද්‍රජෝති සීලවංශ හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය පෙරට ආවා. ඉන් පසුව මෑත ගත්තාම බළන්ගොඩ නායක හාමුදුරුවෝ, යක්කඩුවේ හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ, එස්. මහින්ද හාමුදුරුවෝ වැනි භික්‍ෂුන් වහන්සේ පෙරමුණ ගත්තේ අපේම නායකයෙක් පත් කර ගන්න. නමුත්, 1948 සුද්දන් අපව දාලා ගියාට පස්සේ කළුසුද්දන් සුද්දන්ටත් වඩා විනාශයක් රටට කර තිබෙනවා.

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here