Home Politics News Room : ඡන්ද හිමියන් ලියාපදිංචි කෙරෙන හැටි

News Room : ඡන්ද හිමියන් ලියාපදිංචි කෙරෙන හැටි

1
0

රාජ්‍ය සභා ආඥාව 1946 සැප්තැම්බර් මස 26 දින බලාත්මක කරන ලදි. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ මූලික සුදුසුකම් 1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍ය සභා ආඥාවේ 4 වැනි වගන්තිය යටතේ දක්වා ඇත. ඒ අනුව, පෙබරවාරි මස 01 දිනට වයස අවුරුදු 21ට වැඩි වීම හැර අනෙකුත් සුදුසුකම් වර්තමානයේ බල පවත්නා පරිදිම විය

එසේම, මුල් අවධියේ දී ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සඳහා එක් එක් මැතිවරණ කොට්ඨාස සඳහා ස්වදේශ කටයුතු භාර ඇමැතිවරයා විසින් නම් වශයෙන් හෝ නිල වශයෙන් ලියාපදිංචි කිරීමේ නිලධාරි සහ ප්‍රතිශෝධනය කිරීමේ නිලධාරින් පත්කරන ලද අතර, ඔවුන්ට සහායට කලින් කල එක් තැනැත්තෙකු හෝ ඊට වැඩි ගණනක් නමින් හෝ නිලයෙන් පත් කරන ලදි.

1954 වර්ෂයේ දී ප්‍රථම වරට වරිපනම් අංක හෝ ආහාර පාලන අංක පදනම් කරගෙන ඡන්ද හිමියන් ගණන් ගැනීම සිදු කළ අතර, එක් එක් ගෙයක් සඳහා වෙන වෙනම ආකෘතියක් හෝ ආකෘති කිහිපයක් භාවිත කරන ලදි. 1957 වර්ෂයේ දී නාගරික ප්‍රදේශවල ගණන් ගැනීම සඳහා ආකෘතියක් හඳුන්වා දී ඇති අතර, එහි ගෘහ මූලික අත්සන තැබීම ද ඇතුළත් කර ඇත.

එමෙන්ම, 1959 ඡන්ද හිමියන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් වැදගත් වෙනසක් සිදු වූ වර්ෂයකි. 1959 අංක 11 දරන සංශෝධන පනතට අනුව එතෙක් වයස අවුරුදු 21ක් වූ ඡන්ද හිමියකු වීමට සුදුසුකම අවුරුදු 18 දක්වා අඩු කරන ලදි.

1959 මැයි මසදී සහතික කරන ලද නාමලේඛනයේ සිට නාමලේඛන ගෘහ අංක පිළිවෙළට සැකසීම ඇරඹිණ. ඒ වන විට එම ක්‍රමය කොළඹ හා මහනුවර නගර සභා ප්‍රදේශවල ක්‍රියාත්මක වූ අතර, අනෙක් ප්‍රදේශවල ඡන්ද දායකයන්ගේ නම් අකාරාදී ක්‍රමයට ගළපා ඒ අනුව නාමලේඛනය සකස් කරන ලදි.

ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු 1962 වසර දක්වාම ගම්පතීන් හා නාගරික ප්‍රදේශවල විශේෂ ගණන් ගන්නා නිලධාරින් මඟින් සිදු කළ අතර, 1963 දී ග්‍රාමසේවක සේවය ස්ථාපනය කිරීමෙන් පසු ග්‍රාමසේවකයන් (ග්‍රාම නිලධාරි සේවය එකල හැඳින්වූයේ එසේ ය.) විසින් සිදු කරන ලදි.

1967 ප්‍රතිශෝධනයේ දී විශේෂත්වයක් වූයේ නගරබද මෙන්ම ගම්බද ප්‍රදේශවල ඡන්ද දායකයන් ගණන් ගැනීම සඳහා පළමු වරට විශේෂ ආකෘතිපත් හඳුන්වා දීමයි. ගෘහ මූලිකයා අදාළ විස්තර සපයා අත්සන් කිරීමත් ගණන් ගන්නා නිලධාරීන් ඒවා පරීක්ෂා කර බලා නිර්දේශ කර, සටහන් තබා, අත්සන් කිරීමත් ඊට ඇතුළත් විය. මෙම ආකෘතිය “Body Count”යන ඉංග්‍රීසි වචනවල මුල් අක්ෂර දෙක යොදා බී.සී. ආකෘති පත්‍රය (B.C. Form) ලෙස හඳුන්වා දෙන ලදි.

වතු ප්‍රදේශවල ඡන්ද හිමියන් ගණන් ගැනීම වතු අධිකාරිවරුන් විසින් සිදු කළ අතර, 1969 වසරේ දී ප්‍රථම වරට ඒවා ග්‍රාම සේවකවරුන් මඟින් පරීක්ෂා කරන ලද අතර, 1980 ප්‍රතිශෝධනයේ සිට වතු ප්‍රදේශවල ගණන් ගැනීම ද ග්‍රාම සේවකවරුන් (ග්‍රාම නිලධාරි තනතුර එකල හැඳින්වූයේ එසේ ය.) විසින් කරන ලදි.

1969 වසර දක්වාම ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ඡන්ද හිමි නාමලේඛනය 1970 වසරේ සිට සිංහල හා දෙමළ භාෂාවලින් සැකසීම ආරම්භ කෙරිණ.

1981 වර්ෂයේ සිට සියලුම දේශපාලන පක්ෂවලට ඡන්ද කොට්ඨාස මට්ටමින් ඡන්ද හිමියන් ගණන් ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව සැලසිණ. තවද, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමට 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත හඳුන්වා දෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here