6
ජනාධිපතිවරණ සටන තදින් ඇවිළෙන මෙවන් කාලයක ජනාධිපතිවරණ යුගයට පෙර සිටි දේශපාලනඥයන් පිළිබඳව ද සිහිපත් වේ.එදා දේශපාලනය තුළ සිටි සාමාන්‍ය මිනිසුන් අතරින් බිහි වූ කිවිවරයකුව සිට මහජන මන්ත්‍රීවරයකු වූ ටී.බී.තෙන්නකෝන් 1956 යුග පෙරළියේදි රටක් කතා කළ මෙරට දේශපාලනය තුළ නොමැකෙන චරිතයකි.
ටී. බී. තෙන්නකෝන් මහතා වැනි මානව දයාවෙන් පිරී ඉතා සරල ජීවිතයක් ගත කරමින් නොමැකෙන ජනතා මෙහෙවරකට කැපවූ දේශපාලන චරිතයක් හමුවන්නේ ඉතා කලාතුරකිනි. එවැනි මාහැඟි දේශපාලන චරිතයකින් හෙබි දේශපාලනඥයකු ලෙස පුරා විසි එක් වසරක් දඹුල්ල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, උප ඇමැතිවරයකු මෙන්ම කැබිනට් ඇමැතිවරයකු ලෙස සේවය කළ ටිකිරි බංඩා තෙන්නකෝන් නොහොත් ටී. බී. තෙන්නකෝන් මහතා ජන හදවත් තුළ සදා නොමැකෙන නාමයක් සනිටුහන් කර ඇත.
ඔහු කිසි දිනෙක කෝපවී කිසිදු ඡන්දදායකයකුට දොස් නඟා නොමැත. සෑම පැනයක්ම පාහේ මොහු විසඳුවේ සිනහමුසු මුහුණෙන් පමණක් නොව ප්‍රතිවාදීන් ද සිනහ ගස්සමිනි. මෙතුමා කිසිදු අභියෝගයකට මුහුණදීමට බිය නොවීය. සෑම සතියකම ඉරිදා දින මෙතුමා ජනතාව හමුවීම සඳහා දඹුල්ලට පැමිණීම පුරුද්දක් කරගෙන තිබුණි.
එදිනට රාත්‍රි දහය, එකොළහ පමණ වනතුරු ඇමැතිතුමා සිදු කළේ ජනතාව මුහුණපා ඇති ගැටලු නිරවුල් කිරීමයි. ජනතාව ද මෙතුමා වට කරගන සිටියේ හුස්මක් ගන්න පවා බැරි තරමිනි. කාලයාගේ ඇවෑමෙන් මෙතුමා උප ඇමැති ධුරයෙන් කැබිනට් ඇමැතිවරයකු ලෙස එවකට පැවති සිරිමාවෝ බණ්ඩානායක රජය විසින් පත්කළත් මොහු සිරිත් පරිදි සිය ඡන්දදායකයන් මුණගැසීමට සෑම ඉරු දිනකම අමතක නොකළේය. දඹුල්ල තානායම ඉදිරිපිට පැවති මෙතුමාගේ කාර්යාලය කාටත් එකසේ විවෘත විය. පාක්ෂිකයාට මෙන්ම විරුද්ධවාදියාට ද එකසේ ඇමැතිවරයා මෙහිදී හමුවිය හැකිව තිබුණි.
දිනක් ඉරිදා දිනක රාත්‍රියේ කාර්යාලයේ සිටින විට අපූරු සිදුවීමක් සිදුවිය. සිය පාක්ෂිකයකු බීමත්ව කාර්යාලයේ පිටත සිට කාටදෝ බැණ වදිමින් සිටියේය. කවුරුත් එය බලා සිටින්නට වූහ. ඒ මොහොතේ එය ඇමැතිවරයාගේ ද කනවැකුණි. මේ ඇසිල්ලෙහි මෙයට තව තවත් කන් දුන් ඇමැතිවරයාට දැනුණේ තමන්ට කවුදෝ බීමතින් පැමිණ බැණ වදින බවයි. ඒ මොහොතේ එහි රැස්ව සිටි පිරිස ද මහත් කුතුහලයකින් මේ දෙස බලා සිටියහ. අනතුරුව මෙසේ බැණ වදිමින් සිටි පුද්ගලයාට එන ලෙස ඒ අසල සිටි අයකු අත ඇමැතිවරයා පණිවුඩයක් යැවීය. ඒ සමඟම ඔහු ගොස් අර පුද්ගලයාට එම පණිවුඩය දැන්වීය.
මේ මොහොතේ කෙළින් යෑමට පවා නොහැකිව වැනි වැනි ඇමැතිවරයා ඉදිරියේ මොහු පෙනී සිටියේ ඇමැතිතුමාට ද රවාගෙනය. ඉන් අනතුරුව ඇමැතිතුමා මඳ වේලාවක් නිහඬව සිට සිය අසුනෙන් නැඟිට , “හා අද ඉඳන් තමුන් මේ පුටුවේ ඉඳගෙන මේ මිනිස්සුන්ගේ ගැටලු විසඳන්ට ඕන.“ කියමින් ඇමැතිතුමා එම ස්ථානයෙන් ඉවත්වන්නට සූදානම් විය. එහිදී ඇමැතිවරයා දෙස රවා බලමින් මොහු පැවැසුවේ “උදේ ඉඳන් හවස්වන කල් මොන කරුමයක් ද මේ විඳින්නේ. මගේ බල්ලටවත් මේ පුටුව එපා” යනුවෙනි. ඒ සමඟම මොහු වැනි වැනී ආපසු යන්න වූයේ කවුරුත් සිනා සයුරේ ගිල්වමිනි. ඇමැතිවරයා ද මෙය ඇසීමත් සමඟම ඉවත බලාගෙන සිනාසුණි. මෙහිදී ඇමැතිවරයා පැවසුවේ “ඕනෑවට වැඩිය බීගත්තහම තමන් කරන දේ තමුන්ට මතක නෑ. මතක් වෙන්නේ වෙරි හිදුණාට පස්සේ. “ඇමැතිතුමා නැවතත් සිය අසුනට බර දුනි.
එපමණක් නොව ඕනෑම අභියෝගයකට ඇමැතිවරයා මුහුණදුන්නේ කවුරුත් පුදුමයට පත්කරමින් කිසිදු පැකිළීමකින් තොරවයි. මේ ඇමැතිවරයාට සතුරා ද මෙන්ම මිතුරා ද එක සමාන විය. මේ නිසා මොහුට සතුරන් සිටියේ නැති තරම්ය. දිනක් ඇමැතිවරයා වහකෝට්ටේ සිට මැදබැද්ද ගම්මානය හරහා යන විට ගසක දිගේලි කර සිටි ගවයකු ලණුව කඩාගෙන ගොස් ඒ අසල කුඹුරේ ගොයම් කමින් සිටිනු දැක රියැදුරාට කීවේ වාහනය නතර කරන ලෙසයි. අනතුරුව වාහනයෙන් බැස ගත් ඇමැතිවරයා ගොයම් කමින් සිටි ගවයා වෙත ගොස් රියැදුරාගේ ද සහායෙන් ඒ ගවයා අසල තිබූ ගසක බැන්දේය.
මෙසේ ගවයා බැඳ දමා වාහනයෙන් මඳ දුරක් යන විට මේ ගමේම අයකු ඉදිරියට එනු දැක වාහනය නතර කර මෙතුමා අර පුද්ගලයාට කීවේ “අන්න ලණුව කඩාගෙන ගිය හරකෙක් වෙනත් ගසක මම බැන්දා” යනුවෙනි. සාමාන්‍ය ජනතාවගේ දුක, වේදනාව හොඳින් දැන සිටි මේ ඇමැතිවරයා ජනතා මෙහෙවරෙහි යෙදෙන්න වූයේ කිසිවකුගේ ගෞරවයක් අපේක්ෂාවෙන් නොවේ. ජනතා නියෝජිතයකුගේ සැබෑ කාර්යය කුමක්දැයි හරිහැටි අවබෝධ කර ගනිමිනි. මෙසේ බලන විට තෙන්නකෝන් ඇමැතිවරයාගේ චරිතය සැබැවින්ම මානව හිතවාදී එකක් බව ඉතා පැහැදිලිය.
1956 වසරේ පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකාබද්ධ වූ මහජන එක්සත් පෙරමුණින් දඹුල්ල ආසනයට තරග කළ මෙතුමා ප්‍රබල දේශපාලකයකුව සිටි තැන්නේ මහතා පරාජයට පත්කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඒ වන විට මේ ආසනය සෑම අතකින්ම අඩුපහසුකම් සහිත වූයෙන් පෙදෙසේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමට හෙතෙම ඉටා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස දඹුල්ල මැතිවරණ කොට්ඨාසයේ පමණක් ග්‍රාමීය පාසල් අසූවකට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට මේ ඇමැතිතුමා උරදුන්නේය.
තවද කාත් කවුරුවත් නොමැති වයස්ගත පුද්ගලයන් රැකබලා ගැනීම සඳහා එතෙක් පවත්වාගෙන ගිය මහලු නිවාස යන නාමය වෙනස් කර වැඩිහිටි නිවාසය යනුවෙන් එය හඳුන්වාදීමට මේ ඇමැතිවරයා කටයුතු කළේ වැඩිහිටියන්ට සිදු කරන ගෞරවයක් වශයෙනි.
මෙසේ වසර විසි එකක් දඹුල්ල මැතිවරණ කොට්ඨාසයට අමිල සේවාවක් ඉටු කළ ටී.බී. තෙන්නකෝන් මහතා 1977දී පැවති මහ මැතිවරණයේදී පරාජයට පත්වූයේ සියලු පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු සුන්කරමිනි.