14
පියවරෙන් පියවර ආරම්භ කළ ගමන විජයග්‍රහණයකින් කෙළවර කරමු යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (25) ජාතික ජන බලවේගයේ කාන්තා රැලිය අමතමිනි. එය මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අනිවාර්යෙන්ම සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ අපි බලාපොරොත්තු වන දේශපාලන පරිවර්තනය සිදු වෙන බවට අපි කාටත් සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කණ්ඩායම්වලට මේ පරිවර්තනය අවශ්‍යයි. මහලු, වැඩිහිටි, තරුණයන්ටත් මේ දේශපාලන පරිවර්තනය අවශ්‍යයි. සෑම ක්ෂේත්රයකම ජනතාවට මේ පරිවර්තනය අවශ්‍යයි. මේ හැම දෙනාටමත් වඩා ඔබට මේ පරිවර්තනය අවශ්‍යයි කියලා අපි දන්නවා. අද මේ අර්බුදයේ ප්‍රධානතම වින්දිතයන් බවට පත්වෙලා ඉන්නේ අපේ රටේ කාන්තාවන්. ඔබ හඬ නඟා කෑගහලා නොකිව්වාට අපි දන්නවා ඈත ගම්වල අම්මලා, අක්කලා, නංගිලාගේ සිට මේ රටේ නගරබදව ජීවත් වෙන සහෝදරිය දක්වා මේ හැම දෙනාම කියාගන්න බැරි, දරාගන්න බැරි වේදනාවකින් සහ පීඩාවකින් පෙළෙන බව. විටෙක ඔබේ වේදනාව ඔබ දරාගෙන ඉන්න ඇති. විටෙක පිට කරන්න ඇති. විටෙක කඳුළුවලින් පිට කරන්න ඇති. කොපමණ වාරයක්ද? කෑ නොගහපු කටක්, කඳුළු පිට නොකළ ඇස් දෙකක්, වේදනාවෙන් බර නොවූ පපුවක් මෙතැන කොතැනක හරි පුටුවක වාඩි වෙලා ඉන්නවාද? අපේ රටේ මේ සමස්ත ඛේදවාචකයේ ප්‍රධානම වින්දිතයන් අපේ රටේ කාන්තාවන්.
අපේ රටේ උතුරේත්, දකුණේත් ඇතිවූ යුද්ධවලින් විශාල යුද වැන්දඹුවන් ප්‍රමාණයක් නිර්මාණය වුණා. දරුවන් අහිමි වූ අම්මලා උතුරේත්, දකුණේත් කොපමණ ඉන්නවාද? අදත් විවිධ සමාජ අවලාදවලට, අපහාසවලට මුහුණ දෙමින් තමන්ගේ ජීවිත පවත්වාගෙන යෑමට ඔවුන් කොපමණ වෙහෙසක් දරනවාද? අපේ රටේ අපරාධවල වැඩිම ගොදුර බවට පත්වී තිබෙන්නේ කවුද? අපේ රටේ විවාහක කාන්තාවන්ගෙන් 20%කට වැඩි ප්‍රමාණයක් එනම්, 1/5ක් ගෙදරදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට පාත්‍ර වෙනවා. එක්කෝ ආර්ථික කඩාවැටීම හේතුකොටගෙන නැතිනම් සමාජයේ වෙන කැළඹිල්ලක් හේතු කොටගෙන නිරන්තරයෙන් ඇය ගෙදරදී පහර දීමට, කොන් වීමට, පීඩාවට පත්වෙලා නැද්ද? ගෘහය කියන්නේ හැම දෙනාටම සතුට ගෙන දෙන තැනක් වෙන්න ඕනෙ. නමුත් අද එය ගෙදර ඉන්න කාන්තාවට වේදනාව ගෙන දෙන තැනක් බවට පත්වෙලා තිබෙනවා. කාන්තාවන් සමාජයේදී කොතරම් ගැහැටවලට මුහුණ දෙනවාද? ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිර වෙලා. 2021 වන විට ආසන්න වශයෙන් 200කට ආසන්න ප්‍රමාණයක් සියදිවි නසා ගන්නවා. ඔබගේ ජීවිතයේ වැඩි කාලයක් ඔබ වැය කරන්නේ ඔබගේ දරුවන් වෙනුවෙන්. නමුත් අද දරුවන්ට අත්වී ඇති ඉරණම කුමක්ද? ළමා අපචාරවල ගොදුරු බවට පත්වලා. මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්වෙලා. මහත් බලාපොරොත්තු තබාගෙන හදපු තම දරුවා තමන්ගේ ඇස්පනා පිටම විනාශ වෙනවා බලන් ඉන්න සිදුවෙලා. ඔබගේ පපුව ඇතුළේ කොච්චර ගින්නක් පත්තු වෙනවාද? මට ඊයේ රත්නපුරේදී හමුවුණා ඒ වගේ අම්මා කෙනෙක්. තමන්ගේ දරුවා රාජ්‍ය ත්රස්තවාදයේ ගොදුරක් බවට පත්වෙලා. වාස් ගුණවර්ධනත් එක්ක නඩු කියපු විදිය ඇය මට කිව්වා. ඇය තම දරුවාට සාධාරණය ඉටු කර ගන්න දිගටම සටන් කළා. නමුත් ඇයට අවසානයේ ඉතිරි වුණේ කඳුළු පමණයි. අපේ සමස්ත දරු පරපුරම මේ ව්‍යසනයේ ගොදුරු බවට පත්වෙන්න ඉඩ දී අපි ඔහේ පාඩුවේ බලාගෙන සිටිය යුතුද?
අපි ඉදිරිපිට පාරවල් දෙකක් තියෙනවා. එක්කෝ මේ වේදනාව, මේ ඛේදවාචකය, ඉවසා දරා ගනිමින් අවසානය කරා යන්න පුළුවන්. නැතිනම් එක වතාවක් හෝ අපි පොරබදන්න ඕනෙ නැද්ද අපේ ජීවිතය සොයාගන්න. සැප්තැම්බර් 21 කියන්නේ ඔබ ඔබගේ ජීවිතය වෙනුවෙන් පොරබදින අවස්ථාව. ඒ වෙනුවෙන් අන් හැම දෙනාටමත් වඩා විශාල කාර්යභාරයක්, විශාල වගකීමක් ඔබට තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි උද්ඝෝෂණය කර තිබෙනවා. රැස්වීම් කර තිබෙනවා. විවිධ කණ්ඩායම් එක්ක වැඩ කර තිබෙනවා. පසුගිය මාර්තු මාසෙ 30 වෙනිදා අපි පටන් ගත්තා, කාන්තාවන්ගේ නැඟී සිටීමට කාන්තාවන් ඒකරාශී කර ගන්න. මාතරින් පටන් ගත් ඒ ව්‍යායාමය මහා සුනාමියක් වගේ රට පුරා පැතිරෙන්න පටන් ගත්තා. එය කොච්චරද කියනවා නම්, සතුරා අපට බය වුණා. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ පරාජය ඔවුන්ගෙ නළලෙ කෙටුවෙත් මේ කාන්තා නැඟිටීම කියලා අපි විශ්වාස කරනවා. තව කෙටි කාලයයි තිබෙන්නේ. පියවරෙන් පියවර ආරම්භ කළ ගමන අතරමඟ නතර කරන්නේ නැතිව අඩාළ වෙන්න දෙන්නේ නැතිව, විජයග්‍රහණයකින් කෙළවර කරන්න අපි හැම දෙනාම එකතු වෙමු කියලා මම ඉල්ලා සිටිනවා.
ඔබට අපට තිබෙන්නේ එක අරමුණක්. අපි නොදුටුව, නොදැකපු අය වෙන්න පුළුවන්. ඈත දුර පළාත්වල අය වෙන්න පුළුවන්. විවිධ වෘත්තීන්වල යෙදෙන අය වෙන්න පුළුවන්. හැබැයි අපි හැමදෙනාම එකම අරමුණකට ගැට ගහලා තිබෙනවා. ඒක තමයි මුළු රටම එක මිටට අපි එකතු වෙලා ඉන්නේ මොකටද? පොදු ජනතාවගේ ජීවිතයත් අපේ අම්මා තාත්තා දූ දරුවන්ගේ ජීවිතයත් මීට වඩා උසස් තැනකට ඔසවා තබන්න. සැප්තැම්බර් 21 යනු මේ වැඩේ අවසානය නොවෙයි. මේ වැඩේ පටන් ගන්නා දිනයයි. අපි ඉතාමත් සැලසුම්සහගතව, පියවරෙන් පියවර මේ රටේ ජනතාව වැටී තිබෙන මේ දුක්ඛිත තත්ත්වයෙන්, මේ ඛේදවාචකයෙන්, රටක් හැටියට වැටිලා තිබෙන මේ අඳුරු අගාධයෙන් මුදාගැනීමේ වගකීම අපි භාර ගන්න සූදානම්.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද මෙහිදි අදහස් දැක්වූවාය.
උපාලි කරුණාරත්න