13
මාලදිවයිනේ විදෙස් සංචිතය අවසන්වීම හේතුවෙන් එරට දරුණු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බව එරට හිටපු මුදල් ඇමැති ඉබ්රාහිම් අමීර් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට මුදල් අධිකාරිය මේ තත්ත්වය පිළිබඳ මාලදිවයින මුදල් අමාත්‍යාංශයට අනතුරු ඇඟවීමේ ලිපියක් ද යවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එරට වත්මන් මූල්‍ය අර්බුදයට හේතු වී ඇත්තේ අපේක්ෂිත ආදායම මත රැඳී සිටීම හේතුවෙන් බවත්, මේ තත්ත්වය මත ඉදිරියේදී මාලදිවයින අතිශය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. මාලදිවයින ඉතිහාසයේ ඩොලර් සංචිතය මෙවැනි අගයකින් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය බවත් වාර්තා වේ.
එම ආර්ථික අර්බුදය එක් රැයකින් සිදුවූවාක් නොවන බවත්, පසුගිය කාලයේ වරින් වර ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම් පිළිබඳ එරට රජය අවධානය යොමු නොකිරීම ඊට හේතුව බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පවතින තත්ත්වය මත මාලදිවයින බැංකුව විසින් ඩොලර් හුවමාරුව තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද, ණයවර කාඩ් පතින් ගෙවීම් සිදු කිරීම ඩොලර් සියය දක්වා සීමා කිරිමට පියවර ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.