19
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අලියා ගෙනත් හෙණ්ඩුව ගෙනත් නැහැ වගේ දෙයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ ඇස්බැන්දුම් ප්රකාශනය මැයෙන් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙරේදා (27) මේ බව පැවසීය.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය සාරසංග්රහවාදී ලියවිල්ලක් බවත් කිසි ප්‍රතිපත්තියක් නැති බවත් ඒ මහතා කීවේය.
ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රතිපත්ති ප්රකාශනයක් නොවෙයි මැතිවරණ ප්රකාශනයක් පමණයි. මේ ලියවිල්ල ක්‍රමයේ වෙනසක් පතා කියා ඉදිරිපත් කළාට ඒ ක්‍රමයේ වෙනස සඳහා භාවිත කරන ඔවුන්ගේ දර්ශනය මොකක්ද? ඒ දර්ශනය වෙළෙඳපොළ ආර්ථිකය මත පදනම් වෙච්ච එකක්ද? සමාජවාදී ආර්ථිකය මත පදනම් වෙච්ච එකක් ද? ප්රායෝගිකවාදී දර්ශනයක් ද? එහෙමත් නැත්නම් සමාජ ප්රජාතන්ත්රවාදී දැක්මක්ද? මේ කිසිවක් දාර්ශනික ක්‍රියාවලියේ කිසිවක් ප්‍රකාශ කර නෑ මීට පෙර ඔවුන් දූෂිතයැයි කියාගන්නා බොහෝ දේශපාලන පක්ෂත් ඔවුනුත් ඉදිරිපත් කර තිබෙන මැතිවරණ ප්රකාශනවලට බොහොම සමාන ප්රකාශනයක් තමයි මේ ඉදිරිපත් කර තිබෙන්නේ.” ණය තිරසරකරණය ගැන එහි එකඟතාවක් නෑ. තමන් ඉන් වෙනස් වන්නේ කොතැනින්ද, ඊට යොදාගන්නා නිර්ණායකය කුමක්ද යන්න ජාජබ හෙළි කළ යුතුයි. ජාතික ජන බලවේගයේ විශ්ලේෂණය එක්ක තමන් එකඟ ද යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව යුතු යැයිද ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.
මේ මාධ්‍ය හමුවට එක්සත් ජනරජ පෙරමුණේ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා ද එක්ව සිටියේ ය.
නුවන් කොඩිකාර