1
සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දුන් වීරෝදාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලුව තම ආණ්ඩුවක් යටතේ විසඳීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීමට කුරුණෑගල, මාවතගම සතිපොළ ක්‍රීඩාංගණයේදී පෙරේදා (27) පැවති ජන හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අපි හැමදාම මේ රටට ආදරය කළ දේශපාලන බලවේගයක්. අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් ගෙන නෑ. හැමවිටම මේ රටේ මිනිස්සු ගැන හිතලා අපි තීන්දු තීරණ ගත්තා. එක වෙලාවක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරන්න අපි තීන්දුව ගත්තා. ඒ මේ රටේ ඉපදෙන්න ඉන්න පරම්පරාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. මංමාවත් ටික හැදුවා. ඇළවේළි ටික හැදුවා. කොළඹ පාසල්වලට සමාන පාසල් මේ මාවතගමට, කුරුණෑගල දිස්ත්‍රික්කයට ගෙනාවා. ගමේ දරුවාට නගරෙ දරුවගේ අධ්‍යාපනය ගන්න පුළුවන් පරිසරයක් එදා අපි හදලා දුන්නා. කොළඹට, මහනුවරට පමණක් සීමා වූ රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ රැකියාවලට ගමේ දරුවටත් අවකාශය හදලා දුන්නා. අවාසනාවකට 2015දී අපි වෙනසක් කළා. මේ රටේ සියල්ලම අතරමඟ කඩාගෙන වැටුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ සංවර්ධනය නවත්වපු තැනින් රට ඉදිරියට අරන් යන්නේ කොහොමද කියන කාරණය තමයි මට තියෙන වගකීම සහ අභියෝගය.
අද මහා සංඝරත්නයට අපහාස කරනවා. ඒ කියන්නේ මේ රටේ බෞද්ධ සංස්කෘතියට අපහාස කළා වගෙයි. කේන්ද්‍රීය වූ සංස්කෘතිය විනාශ කර සංස්කෘතිකමය වශයෙන් යටත් විජිතයක් බවට පත් කර ගන්න දේවල් ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් මේ රට බේරාගත් රණවිරුවාට අපහාස කරනවා. ඔවුන්ගේ ජීවිත පූජා කර තමයි ඊළඟ පරම්පරාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හැදුවේ. ඒ අයට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. ඔවුන්ගේ සුබසාධනය අපි බලන්න ඕනෙ. රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලු අපි විසඳනවා. රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම්, ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහි කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමක්. ලෝකයේ සමහර රටවල යුද්ධ තිබෙන අවස්ථාවල දරුවන්, සිවිල් පුරවැසියන්, කාන්තාවන් පෙනි පෙනී ඝාතනය කරනවා. අපි ලෝකෙටම පේන්න සජීවීව පුංචි දුවා දරුවන් බේරාගත්තා. තරුණයන් මුදාගත්තා. 12,500ක් පුනරුත්ථාපනය කළා. රැකියා දුන්නා. එහෙම කරලත් ලෝකය අපේ රණවිරුවා දකින්නේ යුද අපරාධකරුවෙක් විදිහට.
අපේම සමහර දේශපාලනඥයන් තමන්ගේ පටු වාසිවලට ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රණවිරුවන් පාවා දුන්නා. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වා. ඒ නිසා මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගත් දේශපාලන බලවේගයක් අපි ගොඩනඟා ගන්න ඕනෙ. අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට අමාරුයි. වර්තමානයේ තිබෙන නිෂ්පාදන පිරිවැය වැඩියි. විදුලි බිල, ප්‍රවාහනය යන සියලුම කාරණා එක්ක අසීමිත, අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් බදු අඩු කළා. අපට චෝදනා කළා. අපි අදත් විශ්වාස කරනවා, මේ රටේ ජනතාවට දරාගත හැකි බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කාරණාව. රටේ ජනතාවට දරාගන්න බැරි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා කියලා රාජ්‍ය භාණ්ඩාගාරයේ ආදායම් වැඩි වෙන්නෙත් නෑ. රටේ ජනතාවට සාධාරණයක් වෙන්නෙත් නෑ. ඒ නිසා අපි පැහැදිලිවම සාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපි දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කරනවා. අද සමහර දේශපාලනඥයන් හිතනවා පිටින් ගෙනල්ලා කන්න දෙන එක ලාභයි කියලා. එහෙම නෑ. මේ රටේ වගා කරන්න පුළුවන් හැම භෝගයක්ම අපි වගා කරන්න ඕනෙ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි දෙන්න ඕනේ. අඩු භූමි ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් තාක්ෂණය අපි දෙනවා. එයින් මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන්. දරුවාගේ බුද්ධි මට්ටමට, නිපුණතාවට ගැළපෙන රැකියාවක් ගන්න තමයි තරුණයන් බලාපොරොත්තු වෙන්නේ. රැකියා ගන්න තවදුරටත් දේශපාලන පක්ෂ හෝ දේශපාලනඥයන් පිටුපස යන්න මේ රටේ තරුණ පරම්පරාව සූදානම් නෑ. ඒ නිසා අපි හදන්නේ තරුණයන්ගේ ආණ්ඩුවක්. තරුණයන්ගේ ආණ්ඩුවකින් නිපුණතාවට, හැකියාවට, පුහුණුවට, පළපුරුද්දට අභිමානයෙන් යුතුව රැකියාවක් කරන්න පුළුවන් පරිසරය අපි නිර්මාණය කරනවා. අද මේ ආසනය ගත්තත් කර්මාන්තපුර තිබෙනවා. ඒ තිබෙන කර්මාන්තපුරවලට අවශ්‍ය යටිතල පහසුකම් ටික මහින්ද රාජපක්ෂ යුගයෙන් පසු දියුණු වෙලා නෑ. ඒවාට අපි ආයෝජකයන් ගේන්න ඕනෙ. ආයෝජකයන් ගේනකොට නිකන් ආයෝජකයන් ගෙනල්ලා හරියන්නේ නෑ. ඒ කර්මාන්තවලට අවශ්‍ය පුහුණු ශ්‍රමය මේ ගම්වල දරුවන්ගෙන් ගන්න ඕනෙ. ඒ තුළින් පමණයි කර්මාන්තශාලාවේ හෝ ආයතනයේ රැකියාවක් අපේ ගමේ දරුවට ලැබෙන්නේ. ඒ වැඩපිළිවෙළත් එක්කයි අපි ආණ්ඩුවක් පිහිටුවන්නේ. අද මැතිවරණ වේදිකාව දිහා බැලුවාම සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන කියන ඒවා ප්‍රායෝගික නැද්ද කියන ප්රශ්නය අපි හැමෝටම තියෙනවා. සමහරු මැතිවරණ වේදිකාවේ ආගම, දහම, සංස්කෘතිය පාවා දෙනවා. මේ රටේ සංස්කෘතියට හානියක් වන කිසිම දේශපාලනික හෝ සමාජයීය තීන්දුවක් ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නෑ කියන එක මම වගකීමෙන් කියනවා. අපි ඡන්දය ගන්න සංස්කෘතියට හානි වන කිසිම දෙයක් බොරුවට පොරොන්දු වෙන්නෙත් නෑ. අද බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය දිහා බැලුවාම කාන්තා හිංසනය, දරුවන්ට වන අපචාර, කාන්තාවන්ට වන අසාධාරණකම් ගැන නොයෙක් අය කතා වෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කර ක්‍රියාත්මක කරන්න ඕනෙ. අපි මේ රටේ ආර්ථිකය හදනවා. ගමේ ආර්ථිකය හදනවා. පොඩි මනුස්සයාගේ ආර්ථිකය හදනවා. ඔබ වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම්. ඒ සඳහා සියලු දෙනාම පෙළගැසෙන්න.”
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නායක හිමි – “ලංකා ඉතාහාසයේ රජවරුන් 200ක් පමණ සිට තිබෙනවා. දුටුගැමුණු මහරජතුමා පරිච්ඡේද ගණනාවක් ලියා තිබෙනවා. රුවන්මැලි සෑය, මිරිසවැටිය, ලෝවාමහාපාය හැදුවා. එතුමා එදා එළාරට එරෙහිව සේනාව රැස්කර සටන දිනලා රට එක්සත් කළා. එදා ත්රස්තවාදීන් රට ආක්‍රමණය කරන විට, දළදා හාමුදුරුවන්ට පහර දෙන විට, ශ්‍රී මහා බෝධිය ළඟ සිල්ගත් පිරිස මරා දමන විට, අම්පාරේ මිනිස්සු මරන විට මේ රට බේරාගත්තේ මහින්ද රාජපක්ෂ මහතායි.”
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්රිය හේරත් සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහත්වරුද මෙහිදි අදහස් දැක්වූහ.
කුරුණෑගල ප්‍රධාන සංඝනායක හුනුපොල සද්ධාතිස්ස නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, මාවතගම ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක කමල් පෙරේරා මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – සුදත් නිශාන්ත
මහින්ද අලුත්ගෙදර මාවතගම සිට …