17
ජනතා වරමින් මන්ත්‍රී ධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නැවැත්වීමට නව නීති ගෙන එන බව විපක්ෂ නායක, සමඟි ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමඟි ජන බලවේගයෙන් පෙරේදා (27) අම්පාර, පොතුවිල්හිදී පැවති ජන රැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ජනතාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක රට ගොඩනැඟීමට අවශ්‍ය ආර්ථික දැක්ම, ආර්ථික වැඩපිළිවෙළ අපි සතුව තිබෙනවා. අපි සතුව හොඳම ආර්ථික කණ්ඩායම සිටිනවා. සෑම ක්ෂේත්රයකම දක්ෂයන් සියලු දෙනා සිටින්නේ අපත් සමඟයි. රට වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි කැප වෙලා සිටිනවා.
අපි පැහැදිලිවම අම්පාර දිස්ත්‍රික්කයේ තිබෙන ඉඩම් ප්‍රශ්නයට තිරසර විසඳුම් දෙනවා. පොතුවිල් ජනතාවට කර්මාන්ත කර ගැනීමට බාධාවක් වී තිබෙන ඉඩම් ලියාපදිංචි කිරීම, කිරි ගොවි කර්මාන්තයට ගවයන් සඳහා අවශ්‍ය තෘණ භූමි දීම, සංචාරක කර්මාන්තයේ නියැළී සිටින පිරිසට තමන්ගේම ඉඩමක සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමට අවස්ථාව දීම ආදියට ජනාධිපති ඉඩම් කාර්ය සාධක බළකායක් පිහිටුවා තිරසර විසඳුම් දෙන්න අපි කටයුතු කරනවා.
පොතුවිල් බල ප්‍රදේශයට අවශ්‍ය කලාප කාර්යාලය අපි දීමට කටයුතු කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් 442 සුහුරු පාසල් බවට පත් කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතිය දියුණු කර අම්පාර දිස්ත්‍රික්කයේ සිටින දරුවන්, තරුණයන්, පුරවැසියන් සුහුරු දරුවන්, සුහුරු තරුණයන්, සුහුරු පුරවැසියන් බවට පත්කර ඔවුන් සියලු දෙනාගේ ශක්තියෙන් සුහුරු රටක් නිර්මාණය කරනවා.
ජනතාවට හානියක් නොවන ආකාරයට හැඩ ඔය ව්‍යාපෘතිය හරහා අලුත් වගා භූමි, පානීය ජලය දීම ආදියේ වගකීම අපි භාර ගන්නවා. පොතුවිල් බල ප්‍රදේශ, පානම බල ප්‍රදේශ කේන්ද්‍ර කර ගත් සංචාරක කර්මාන්තය, මහ සයුර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය, වන ජීවී ක්ෂේත්‍රය කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය දියුණු කර සංචාරක සෑම ක්ෂේත්රයකම කොටස්කරුවන් දියුණු කරන්න කැප වෙනවා. ඉඩම් නොමැති ජනතාවට ඉඩමක් දී, නිවෙසක් නැති ජනතාවට නිවෙසක් දී නැවතත් ගම්උදා යුගය ආරම්භ කරනවා.
ජනසවියේ, සමෘද්ධියේ, අස්වැසුමේ හොඳ ගුණාංග එකතු කර අඩුපාඩු ඉවත් කර දුගී දුප්පත්භාවය තුරන් කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ අනුව සෑම දුප්පත් පවුලකටම මාසයකට රුපියල් 20,000ක මූල්‍ය ශක්තියක් දෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
කෘෂිකර්මාන්තයේ නියැළෙන ගොවීන්ට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර දීමට කටයුතු කරනවා. ගොවිතැන් කරන ජනතාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර කිලෝ 50 මිටිය රුපියල් 5000ට දෙනවා. තෙල් පොහොර සාධාරණ මිලකට දෙනවා. මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනකු වී මෝල් මාෆියාව ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ හරහා ගොවියාත්, පාරිභෝගිකයාත් අසහනයට පත් වෙනවා. ඒ නිසා වී ගොවියාත් , පාරිභෝගිකයාත් රැකෙන මිල සූත්‍රයක් සමඟි ජන සන්ධාන රජයක් තුළින් ක්‍රියාත්මක කරනවා. පාරිභෝගිකයාටත් දරා ගත හැකි මිලකට සහල් දෙන ක්‍රමයක් අපි ආරම්භ කරනවා. ගොවිොත් රැකෙන, පාරිභෝගිකයාත් රැකෙන වැඩපිළිවෙළක් අපි ඇති කරනවා.
මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අයිතිය, ආගමික අයිතිය ආරක්ෂා කරන්න අපි පාර්ලිමේන්තුවේදීත් සටන් කළා. පාර්ලිමේතුවෙන් පිටතදීත් සටන් කළා. සමඟි ජන සන්ධාන රජයක් තුළ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට එරෙහිව තිබෙන නීති තවදුරටත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා. වරදාන වරප්‍රසාද මත ක්‍රියාත්මක දේශපාලනය සම්පූර්ණයෙන් නවත්වන්න අපි කටයුතු කරනවා.
පලස්තීන ජනතාව සමඟ අපි එකට හිට ගන්නවා. ආදාහන භූමිදානය ප්රශ්නයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීතිවලට පටහැණිව කටයුතු කර රටේ මුස්ලිම් ප්‍රජාව අපහසුතාවට පත්කළ සියලු දෙනාට සමඟි ජන සන්ධාන රජයකින් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.”
රක්ෂණ ශ්රියන්ත