11
සිද්ධාලේප වෙද මහත්තයා ලෙස ප්‍රසිද්ධියට පත්වූ, එහි නිර්මාතෘ ශාස්ත්රාභිෂේක වෛද්‍යශූරී දේශමාන්‍ය ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා සිද්ධාලේප සන්නාමය සහිතව ලොවක් ජයගත් පුද්ගලයෙකි.
ඔහු 2005 පැවති ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය. ඔහු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූයේ, එක්සත් ලංකා පොදු ජන පක්ෂයෙනි. එසේ ඉදිරිපත් වූ ඔහු, ඡන්ද 14,458 ක් ලබා ගත්තේය.
එම වසරේ මැතිවරණ පොරොන්දුවක් ලෙස, තමාගේ ධනය යොදවා එළදෙනුන් මිලදී ගෙන රටේ සෑම නිවෙසකටම ලබා දෙන බවත්, ළමා මන්දපෝෂණයට එරෙහිව සටන් කිරීමට ගවයන් යොදා ගන්නා බවත් ඔහු පැවසුවේය. එමෙන්ම අතිරික්ත කිරි, චීස් හෝ බටර් අපනයනය කළ හැකි බවත් යෝජනා කළේය.
දේශපාලනඥයකු, ව්‍යාපාරිකයකු හා සමාජ සේවකයකු ලෙස කටයුතු කළ ඔහු පිළිබඳව සටහනකි.
දකුණු පළාතේ මාතර, කනංකේ දී 1937 සැප්තැම්බර් 13 වැනිදා උපත ලැබීය. ඔහුගේ පියා වූයේ දක්ෂ වෛද්‍යවරයකු හා ජ්‍යෙතිර් විද්‍යාඥයකු වූ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩය. ඔහු පසුව ලක්දිව ජ්‍යෙතිෂ සංගමයේ සභාපති තනතුර ද හොබවා ඇත. නව දෙනෙකුගෙන් යුත් හෙට්ටිගොඩ පවුලේ පස්වැනියා වූ වික්ටර්ගේ මෑණියන් වූයේ දෝන කරලයින් වික්‍රමරත්න මාතාවය.
වික්ටර්ගේ පුංචි බාප්පා හෙවත් පියාගේ බාලම සොහොයුරා වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත ධර්ම ශාස්ත්‍ර ශිරෝමනී ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල මහාචාර්යපාදයන් වහන්සේය.
බුරුම රජය රාහුල හිමියන්ට අග්ගමහා පණ්ඩිත පදවිය පිරිනැමීමට 1991 පෙබරවාරි 27 වැනිදා රැන්ගුන් නුවර පැවැත්වෙන උත්සවයට ආරාධනා කිරීමට පැමිණි ස්වදේශ කටයුතු හා ආගමික කටයුතු බාර ඇමැති බුරුම රජයේ වියදමින් කැපකරුවන් දෙදෙනකු කැඳවාගෙන යාමට ඉඩකඩ සලසා දුන්නේය. රාහුල හිමියන් මේ සඳහා කැටුව ගියේ වෛද්‍ය ඩී.ඩී. රණසිංහ මහතා හා තම ඥාති පුත් වික්ටර් හෙට්ටිගොඩය. රාහුල හිමියන්ට දියවන්නා ඉවුරේ ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ලැබුණු ඉඩමේ මූලික වියදම් දරමින් ගොඩනැඟිලි කටයුතු බාරව කටයුතු කළේ වික්ටර් හෙට්ටිගොඩ ඥාති පුත්‍රයා විසිනි.
මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් සිටි ඔහුගේ මව කුඩා කාලයේදීම මිය යාම නිසා නැවත ගමේ පාසලට පැමිණි අතර, පසුව ගාල්ලේ සහ කොළඹ පාසල්වලද ඉගෙනුම ලබා තිබේ. තම සීයාගෙන් සහ පියාගෙන් වෙදකම ඉගෙනගත්ත ද, වෙදකමට වඩා ව්‍යාපාරික ක්ෂේත්රයට ආශාවක් දැක්වූ වික්ටර්, තලවකැලේ හේමචන්ද්‍ර සමාගමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඒ වෙළෙඳසලක සේවකයෙකු ලෙසිනි. ඉන්පසු ගාල්ල ගිංතොට ලංකා ගමනා ගමන මණ්ඩලයේ ගිණුම් ලිපිකරුවකු ලෙස කටයුතු කළ ඔහු එතැනින් ඉවත්ව විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ගිණුම් ලිපිකරුවකු ලෙස සේවයට එක් විය. ඉන්පසු එම්.ඩී. ගුණසේන සමාගමේ අලෙවිකරුවකු ලෙස ද කටයුතු කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබූ ගුරුවරියක සමඟ විවාහ වූ ඔහු අනුර බණ්ඩාරනායක මහතා ප්‍රකාශයට පත් කළ පුවත්පතක ලේඛකයකු ලෙස ද සේවය කළේය. ඒ සියල්ල හැර දමා යළි තම උපන් ගමට යන වික්ටර් හට ඔහුගේ පියා සිද්ධාලේප බෙහෙත් වට්ටෝරුව ලබා දුන්නේ, වික්ටර් හෙට්ටිගොඩගේ ජීවිතය පමණක් නොව රටේ සාමාන්‍ය ජන ජීවිතයට ද උපකාරයක් වීම සඳහාය.
සිද්ධාලේපය වික්ටර් හෙට්ටිගොඩ මහතා නිෂ්පාදනය කළේ තමන්ගේ රහස් වෙද වට්ටෝරුවක් නිසා බව වරක් පවසා තිබුණි.
“මම වෙදකම ඉගෙන ගත්තේ තාත්තාගෙන්. හිමාලයේ දක්ෂ යෝගීවරයකුගෙන් පියාට ලැබුණු වට්ටෝරුවකින් හැදූ මුළු ලොව හඳුනන සිද්ධාලේප ජාත්‍යන්තරයට ගියා. මගේ ව්‍යාපාරයේ දෙදහසකට වඩා පිරිසක් ඉඳීම ගැන සතුටු වෙනවා. මගේ නිෂ්පාදන රැසකට ජාත්‍යන්තර සහතික ලැබිලා තියෙනවා. සිද්ධාලේප ආයුර්වේද රෝහල් ඇති කළා. ජාත්‍යන්තර සඟරාවක නිදහසින් පසු මහා යුග පුරුෂයන් 50 දෙනාට මාත් ඇතුළත් වුණාට “බෙයා ෆුට් ඩොක්ටර්” (පාවහන් නොපලඳින වෛද්‍යවරයා) ලෙස හැඳින්වීම මට ලැබුණු ආභරණයක්.”
වික්ටර් හෙට්ටිගොඩ මහතා සිදුකළ සමාජ සත්කාර අපමණය. ඒ අතර 1978 සිට ශ්‍රී පාද වන්දනා සමයේදී වන්දනා බැතිමතුන්ගේ යහපත සඳහා පැය 24 පුරාම වෛද්‍ය සේවා ද, දළදා මැඳුර, ගැටබරුව සීනිගම, සමන් දේවාලය, මහියංගණය ආදී සිද්ධස්ථානවලට දැක්වූ අනුග්‍රහය සදානුස්මරණීයයි.
ආර්. ප්‍රේමදාස මහතා සමඟ සමීපව ඇසුරු කළ වික්ටර් හෙට්ටිගොඩ මහතා, ප්‍රේමදාස ජනපතිඳුන්ගේ කාලයේ ඔහු මහජන බැංකුවේ අධ්යක්ෂවරයෙක්, ගම්උදාව ව්‍යාපෘතියේ උපදේශකවරයෙක්, සංචාරක අමාත්‍යාංශයේ උපදේශකවරයෙක්, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් ලෙසත් සහ සතොස හා විද්‍යාත්මක පර්යේෂණ හා කාර්මික ආයතනයේ අධ්යක්ෂවරයකු ලෙසත් කටයුතු කළේය.
ව්‍යාපාරිකයකු හා සමාජ සේවකයකු ලෙස ප්‍රකට ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා, 2022 වර්ෂයේ අප්‍රේල් මස 02 වැනි දින උදෑසන පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතයෙන් සමු ගත්තේය. මිය යන විට ඔහු 84 හැවිරිදි වියේ පසුවිය.
එම්. තාරික්