13
1994 නොවැම්බර් 9දා ලංකාවේ තුන්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් නාම යෝජනා භාර ගෙන තිබුණි. දැඩි තරගකාරී පසුබිමක අවසන් මැතිවරණ රැලි පැවැත්වෙමින් තිබියදී ඔක්තෝබර් 24දා ගාමිණී දිසානායක මහතාගේ අවසන් ජන රැලිය පැවැත්වුණේ තොටළඟදීය. එය ඉතා සාර්ථක රැලියක් විය. මධ්‍යම රාත්‍රිය එළැඹී තිබිණි. ගාමිණී දිසානායක මහතා රැලිය අමතා සමුගන්නට උත්සාහ ගනිද්දීම බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ගාමිණී දිසානායක මහතා සමඟ සිටි දොස්තර ගාමිණී විජේසේකර, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර සහ වීරසිංහ මල්ලිමාරච්චි ඇතුළු පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූහ.
එජාපයේ ඡන්ද සටනේ කොඳු නාරටිය වනසා දැමුවාක් සේ ගැනුණු මෙම ප්‍රහාරය කොටි සංවිධානයේ මරාගෙන මැරෙන වැඩක් සේ රජයේ මාධ්‍ය කියාපෑවද, එය එලෙස පිළිගන්නට අකැමැති පිරිසක් ද වූහ. ඝාතන පරීක්‍ෂණයට සහාය වීමට ඉන්දියාව ඉදිරිපත් වූ අතර එම රජයේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ මහාචාර්ය ටී.ඩී. ඩොග්රා පත්කර එවන ලදි. ගාමිණීගේ ඝාතනය කොටි සංවිධානයේ ගිණුමට බැර වුවද, එම ඝාතනය ද අදටත් අබිරහසක් බැව් කියන්නන් ද නැතිවා නොවේ.
ගාමිණී වෙනුවට ඔහුගේ බිරිය ශ්‍රීමා දිසානායක ජනාධිපතිවරණයට එජාපයෙන් ඉදිරිපත් කෙරුණ ද ඡන්ද සටන අකර්මණ්‍ය වී දියාරුව ගියේය. පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා ඒ අතර සටන තියුණු කරමින් සිටියාය. අවසානයේදී 1994 ඔක්තෝබර් 7දා පැවැති ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මැතිනිය ඡන්ද 47,09205ක් ලබා මෙරට පළමු විධායක ජනාධිපතිවරිය බවට පත් වූවාය. ඇය හා තරග වැදුණු ශ්‍රීමා දිසානායක ලබා ගත්තේ ඡන්ද 27,15283ක් පමණි. කෙසේ වෙතත් තුන් වැනි විධායක ජනාධිපතිවරණ තරගයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කාන්තාවන් වූ මෙතෙක් පැවති එකම ජනාධිපතිවරණය එයයි.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත්ව සිටියද, එකදු කාන්තා නියෝජනයක් නැත. ඡන්ද හිමි සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සලකා බලනවිට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 56%කි. අද වන විට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.08 %ක් පමණක් වන අතර 1977 සිට මෙම කොටස 6.5% ඉක්මවා නැත. මෙම කාන්තා නියෝජනය නොමැතිකම ගැටලුවක් වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතා නිසා පමණක් නොව එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරන නිසාත් යහපාලනයට බලපෑම් සිදු කරන නිසාත් ය. අවාසනාවකට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු කාන්තාවන් ප්‍රමුඛ කරගත් ප්‍රචාරණ වැඩසටහන් දෙකක් ඉලක්ක කරගෙන රැස්වීම් මාලාවන් දිවයින පුරා පවත්වනු ලැබුවද, තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ කාන්තාවන්ට හිමිවන ඉඩප්‍රස්තාව පිළිබඳ එතරම් තැකීමක් කර නැත.
අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව ලොව පුරා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වැනි ස්ථානයයි.
රටේ සමස්ත ජනගහනයෙන් 53%ක් කාන්තාවන්ය. ඡන්ද දායකයන් අතරින් 56% ක් කාන්තාවන් ය. ශ්‍රී ලාංකික කාන්තාව රටේ ආර්ථිකයට විශාල මෙහෙයක් කරයි. රටේ ප්‍රධාන ආර්ථික කුලුන වන විදේශ රැකියා, ඇඟලුම් හා වැවිලි කර්මාන්තයෙහි ප්‍රධාන ශ්‍රම දායකත්වය සපයන්නේ කාන්තාවන් ය. එසේම, විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 60%ක් පමණ ද කාන්තාවන් වේ. රජයේ සේවකයන් අතර කාන්තා ප්‍රතිශතය 40% ඉක්මවයි. පළාත් සභා සේවය තුළ සිටින රජයේ සේවකයන් අතර කාන්තා ප්‍රතිශතය 59.7%කි.
2014 වන විට අමාත්‍යාංශ ලේකම්වරුන් අතරින් 20%ක් කාන්තාවෝ වූහ. සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරු අතරින් 59.6%ක් ම හෙබවූයේ කාන්තාවන් විසිනි. එහෙත්, අති බහුතරයක් (73.2 %) කාන්තාවන් සේවයේ නියුතුව සිටින ගුරු වෘත්තිය තුළ විදුහල්පතිනියන් සිටියේ 20%ක් පමණි. එහෙත්, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් තුළ කාන්තා ප්‍රතිශතය පිරිමි ප්‍රතිශතයට ආසන්න මට්ටමක තිබේ. එවැනි පසුබිමක කාන්තාවන්ට තීරණ ගැනීමේ ව්‍යුහයන් තුළ නිසි තැන ලබා දීම අතිශය වැදගත් වේ.
එහෙත් පාර්ලිමේන්තුවේ සිටින කාන්තාවන් සංඛ්‍යාව පැත්තෙන් ගත් කල අප සිටින්නේ 136වැනි ස්ථානයෙහි ය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක් පමණ වීම එයට හේතුවයි. කාන්තාවන් 1.98 ක් නගර සභාවල 4 % ක් පළාත් සභාවල සිටි අතර කෝටා ක්‍රමයක් හඳුන්වාදීම නිසා වත්මන් පළාත් පාලන ආයතන (බල රහිත වීමට ප්‍රථම) 25%ක ආසන්නට මට්ටමට ගෙන ඒමට හැකිවිය. එහෙත් එයද, විකෘතිසහගත තත්ත්වයක් විය. මන්දයත් ජාත්‍යන්තර සංවිධාන ඇතුළු විවිධ සිවිල් සංවිධාන ද, ඉල්ලා සිටියේ පවත්නා නියෝජනය තුළ සියයට 25ක කෝටාවක් ලබාදෙන ලෙස වුවද, ලබා දෙනු ලැබුවේ ඊට අලුතින් එකතු කරන ලද ප්‍රතිශතයක් ලෙසිනි. ඒ නිසාම එය අවසානයේ රටේ ආර්ථිකයට ද, බරක් වෙන තැනකට තල්ලුවී ගියේය. කාන්තාවන්ට එකී නියෝජනය සලසා දුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාම, පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව දරාගන්නට බැරි තරමට ඉහළ ගොස් ඇති නිසා එය අඩු මට්ටමට ගෙන ඒමට ක්‍රියා කරන බව ප්‍රසිද්ධියේ කියන්නට වීමෙන් විකෘතියේ තරම පැහැදිලි වේ.
රටේ ඉහළම පාලන ස්ථරය වන ජනාධිපති ධුරයට හෝ අගමැති ධුරයට මෙරට ලොව පළමු නියෝජන ලැබුණු බව සැබෑය. එහෙත් එය කාන්තාවන්ට සම තැන හෝ නිසි තැන ලැබීමේ කරුණකට එහා ගිය පිරිමින් නිසාම ලද වරප්‍රසාදයක් බව නොකිව මනාය. ඒ බව පහත තොරතුරුවලින් මනාව ගම්‍ය වේ. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායකවරයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරිය වූ ඇඩ්ලින් මොලමුරේ, රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වෙන්නේ රුවන්වැල්ල ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇගේ පියා වන මීදෙණිය අදිකාරම්ගේ මරණයෙන් පසුවයි.
1931 දී පැවති අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇය ව්‍යවස්ථාදායකය නියෝජනය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව වන අතර මහජන ඡන්දයෙන් පත් වූ පළමු මහජන නියෝජිතවරිය ද වෙයි.
1977 දී ඩබ්. එම්. විමලරත්න බණ්ඩාරගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිය අමරා පියසීලි රත්නායක
1977 දී එස්. ද සිල්වා රණසිංහගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සුනේත්‍රා රණසිංහ
1982 දී බන්දුලහේවා සේනාධීරගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිය දයා සේපාලි සේනාධීර
1987 දී පාර්ලිමේන්තුවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් කීර්තිසේන අබේවික්‍රම ඝාතනය වූ පසු ඔහුගේ සහෝදරිය කීර්තිලතා අබේවික්‍රම
1983 දී කේ.ටී. පුලෙන්ද්‍රන්ගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිය රාසමනෝහරි පුලේන්ද්‍රන්
1993 දී ලලිත් ඇතුළත්මුදලි ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිය ශ්‍රීමනී ඇතුළත්මුදලි
2000 දී එම්. එච්. එම්.අෂ්රොෆ්ගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිය ෆේරියල් අෂ්රොෆ්
1994 දී නන්ද එල්ලාවලගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිය සුරංගනී එල්ලාවල
1991 මුදියන්සේ තෙන්නකෝන්ගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සෝමා කුමාරි තෙන්නකෝන්
2008 දී ටී. මහේශ්වරන්ගේ ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිය විජයකලා මහේෂ්වරන්
2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසුව ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
2020 පැවති මහ මැතිවරණයෙන් පත් වූ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12 දෙනෙකු සිටින අතර එයින් මන්‍ත්‍රීවරියන් හතරදෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියන් ය.
මෙම මන්ත්‍රීවරියන් 12 දෙනාගෙන් පස් දෙනෙකු ම සිය පවුලේ සාමාජිකයකු මිය යාමෙන් පසුව දේශපාලනයට පිවිසි අයයි. මේ අතරින් පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය දේශපාලන පසුබිමක් සහිත පවුලකින් පැමිණි කාන්තාවකි. ඒ හැරුණු විට සිය පවුලේ කෙනෙකු මිය යාමෙන් පසු දේශපාලනයට පිවිස වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතවරියන් පහත පරිදි ය.
2008 ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිසි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
2002 දී ගාමිණී අතුකෝරළගේ මරණයෙන් පසු දේශපාලනයට පිවිසි ඔහුගේ සොයුරිය තලතා අතුකෝරළ
2014 දී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි රෝහිණී විජේරත්න කවිරත්න (ඇගේ පියා හිටපු කෘෂිකර්ම ඇමැතිවරයකු වූ කේ. වයි. එම්. කවිරත්නයි.)
2019 දී රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි මුදිතා ප්‍රිශාන්ති
2019 දී සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පත් වූ මංජුලා දිසානායක
සැමියාගේ දේශපාලන අයිතිවාසිකම් අහිමි වූ අවස්ථාවල සහ මන්ත්‍රී සැමියන්ට විවිධ හේතු නිසා ඉල්ලා අස් වන්නට, මැතිවරණ පරාජය වන්නට සිදු වූ අවස්ථාවල ඔවුන් වෙනුවට පැමිණි මන්ත්‍රීවරියන් කිහිපදෙනෙකු ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ඒ අතරින් පිලිප් ගුණවර්ධනගේ බිරිය කුසුමසිරි ගුණවර්ධන, ටී.බී. ඉලංගරත්නගේ බිරිය වූ තමරා ඉලංගරත්න, ක්ලිෆර්ඩ් රත්වත්තේගේ බිරිය වූ මල්ලිකා රත්වත්තේ වැනි චරිත කැපී පෙනෙයි. විවියන් ගුණවර්ධන, නිරූපමා රාජපක්ෂ වැනි දේශපාලන පසුබිම සහිත පවුල්වලින් පැමිණි කාන්තා නියෝජිතවරියන් ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. මෙවර ජනාධිපතිවරණයෙන් පසු පවත්වන්නට නියමිත මහමැතිවරණයෙන් ද, එවැනිම කාන්තාවන් දෙතුන් දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වනු නිසැකය.
ලෝකයේ පළමු අගමැතිනිය බිහිවන්නේ ද, අප මුලින් සඳහන් කළ පරිදි ලොව පළමු විධායක ජනාධිපතිනිය මෙරටින් බිහිවන්නේ ද, මෙම ක්‍රියාවලියේම දිගුවක් ලෙසිනි. 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව පළමු අගමැතිනිය ලෙස නමක් දිනාගනියි. හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ බිරිය වන ඇය දේශපාලනය පිවිසෙන්නේ 1959 දී සිය සැමියාගේ ඝාතනයෙන් පසුවයි. මිය යන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ බණ්ඩාරනායකගේ හිඩැස පිරවීමට සිරිමා බණ්ඩාරනායක දේශපාලනයට පිවිසියා ය. 1994 ජනාධිපතිවරණය ජයගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, මීට පෙර සිය සැමියා වූ විජය කුමාරතුංගගේ දේශපාලන කටයුතුවලට සහය දක්වමින් සිටි අතර 1988 දී ඔහු ඝාතනය වීමෙන් පසුව ජාතික තලයේ දේශපාලනය පිවිසියා ය. ඇය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක හා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරුන්ගේ දියණිය වූවා ය.
1994 ජනාධිපතිවරණයේදී ඇයගේ ප්‍රතිවාදිනිය වූ ශ්‍රීමා දිසානායක කරළියට පිවිසෙන්නේ ද, ඇයගේ සැමියා වූ ගාමිණී දිසානායකගේ මරණයෙන් පසුවයි. එහෙත් එකී ජනාධිපතිවරණයෙන් පසු ඇය කරළියෙන් බැස ගියා මිස යළි ප්‍රාදූර්භූත වූයේ නැත. මේ අයුරින් පියවරුන්, සැමියන්, සොයුරන් මිය යාම හෝ ඉවත්වීම හේතුවෙන් හිඩැස් පුරවන්නට ඉදිරියට පැමිණි කාන්තා චරිත හෝ කිසිවෙක් මෙවර 2024 ජනාධිපතිවරණයට ඉදිපත්වී නැත. 2019 ජනාධිපතිවරණ සමයේ කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට ප්‍රකාශ කළ විපක්ෂ නායකතුමා හෝ මෙවර ජනාධිපතිවරණයේ කාන්තාවන්ට ලබාදෙන වරප්‍රසාද ගැන කිසිවක් කියන්නෙ නැත. එහෙත් අන් කවරදාටත් වඩා 56%ක ඡන්ද ප්‍රතිශතයක් මේ ජනාධිපතිවරණයේදී තීරණාත්මක වන බව අමුතුවෙන් කිව යුතු ද නැත.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර