20
අනුර කුමාර මහතාගේ හෙල්මට් කල්ලියට රටේ බලය ලැබුණොත් 2022ටත් වඩා දැවැන්ත ලේ වැගිරීමක් රටේ සිදුවනු ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඇමැතිවරයා අවධාරණය කරන්නේ රට ඉදිරියට ගමන් කළ සෑම අවස්ථාවකදීම ජවිපෙ රට ආපස්සට ඇදීමට කටයුතු කළ බවයි. එබැවින් ඉතාම කල්පනාවෙන් යුතුව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු බවද ඇමැතිවරයා කීය.
ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (28) දිවුලපිටිය,කටාන ප්‍රදේශවල පැවති ජනහමුවලට එක්වෙමිනි.
එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.
මේක අපට අමුතු වේදිකාවක්. මොකද මේ වේදිකාවේ සියලුම පක්ෂ නියෝජනය කරන නියෝජිතයන් ඉන්නවා. දේශපාලනයේදී අපි කාලයක් එකිනෙකා විවේචනය කර ගත්තා. නමුත් ඒ සියලුම එදිරිවාදිකම් අතහැර අපි සියලුම දෙනා එකම අරමුණක් වෙනුවෙන් එක ගමනක් යනවා.
ආර්ථික අර්බුදයත් සමඟ මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති වුණා.අප තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක්වින්දා. අපට ඒ අතීතය මතකයි. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන නිසා සමහරු කියනවා ප්‍රසන්න රණතුංග දැන් එජාපයට බැඳිලා කියලා නෑ. මම තවම පොහොට්ටුවේ.අද මහින්ද මහත්තයාගේ වේදිකාවේ කයිවාරු ගහන්න වීරයෝ ඕනෑ තරම් ඉන්නවා. නමුත් ඔහු 2015 පැරදුණ වෙලාවේ ඔය කවුරුවත් හිටියේ නෑ. මම තමයි මහින්ද මහත්තයාව නැවත දේශපාලනයට ගේන්න පෙරමුණ ගත්තේ. බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයා විදියට මගේ නිල නිවසේ තමයි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණේ.ජනාධිපතිවරයෙක් පත්කරගෙන පොහොට්ටුවේ ආණ්ඩුවක් හදන්න පුළුවන් වුණේ අපේ කැපකිරීම නිසයි.
යුද්ධය දිනුවේ මහින්ද රාජපක්ෂ නිසයි.ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි කොවිඩ් වසංගතයෙන් රටත් ජනතාව බේරාගත්තේ. අපට ඒ අතීතය මතකයි. කොවිඩ් වසංගතයෙන් පසුව ඇතිවුණ ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර ගන්න එදා මමත් නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට බැරි වුණා. ඒ පල විපාක තමයි අපි විඳෙව්වේ.
එදා ආර්ථිකය කඩාගෙන වැටුණු රට නැවත ගොඩගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපි ඔහුට මේ ජනාධිපතිවරණයේදී කළගුණ සැලකිය යුතුයි. ඉතිහාසයේ රටවල් මීටත් වඩා දරුණු අර්බුදවලට මුහුණ දී තිබෙනවා.
ඒ අවස්ථාවලදී දේශපාලනය පැත්තකට දාලා රට වෙනුවෙන් මිනිස්සු එකට එකතු වුණා. අපිත් මේ එකතුවෙලා ඉන්නේ ඒ වගේ උදාර අරමුණක් වෙනුවෙන්. අපි ජනාධිපතිවරයාට උදව් කරන්නේ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් නෙමෙයි. එහෙම පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රයක් අපට නැහැ.
රට ගොඩනඟලා, ආර්ථිකය ස්ථාවර කළාම අපිට පුළුවන් දේශපාලනය කරන්න. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අනෙක් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දිහා බලන්න. ඒ තිබෙන්නෙත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළමයි.මේ රටේ බලය තිබෙන්නේ විධායකයටයි. රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් විධායක ජනාධිපති වෙලා ඉඳලා නෑ. ඔහු හැමදාම හිටියේ දෙවැනි තැන. මේ පාර අවුරුදු දෙකකට ඔහුට විධායක ජනාධිපති වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් ඉතාම නරක තැනක රට තියෙද්දී. කෙටි කාලයකින් ඔහු තම ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කර රට ගොඩගත්තා. මේ වැල් පාලමේ ඉතුරු ටික යන්න අපට ඔහු අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි අපි එකතු වුණේ.
මේ රට හැමදාම ආපස්සට ඇද්දේ ජවිපෙයි. 2022 ගෙවල් ගිනි තියලා රටේ ම්ලේච්ඡත්වය වැපිරුවේ අනුර කුමාර දිසානායකගේ හෙල්මට් කල්ලියයි. ඒ වගේ කණ්ඩායමකට බලය දුන්නොත් මේ රටේ ආයෙමත් ලේ වැගිරීමක් වේවි. ඒ නිසා ඉතාම කල්පනාවෙන් මේ පාර ඡන්දය ප්‍රකාශ කරන්න ඕනෑ. අනුර කුමාර හිතාගෙන ඉන්නේ තමන්ගේ සියයට 3 ඡන්ද ගොඩ සියයට 40 -50 ක දක්වා වැඩි වේවි කියලා. එහෙම වෙන්නෙ නෑ.
උපාලි කරුණාරත්න