15
පලස්තීනය පිහිටි බටහිර ඉවුරේ ආරම්භ කළ දැවැන්ත ත්‍රස්ත මර්දන මෙහෙයුමේදී එම කලාපයේ හමාස් නායකයා ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇතැයි වාර්තා වේ. පලස්තීනයේ ජෙනින් නුවර පෙරේදා සිදු කළ මෙහෙයුමෙන් හමාස් කලාපීය නායක විසාම් කාසිම් ගමන් ගත් මෝටර් රථයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවත්, ඔහු සමඟ තවත් හමාස් සාමාජිකයන් දෙදෙනකු මිය ගිය බවත් ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
හමාස් සංවිධානයේ පාලනයට නතු වූ ගාසා තීරයේ යුද මෙහෙයුම් අතරතුර ඊශ්‍රායල හමුදාව පලස්තීනයට අයත් බටහිර ඉවුර ආක්‍රමණය කිරීමත්, සැක කටයුතු පුද්ගලයන් ඝාතනය කිරීමත් ජාත්‍යන්තර අවධානයට ලක්වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් එම මෙහෙයුම් වහාම නතර කරන ලෙස ද ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ජෙනින් නුවර ඇතුළු බටහිර ඉවුරේ ස්ථාන 4ක ඊශ්‍රායල මෙහෙයුම් සිදු කර තිබූ අතර, එහිදී ගොඩබිම් ආක්‍රමණයට අමතරව ගුවන් මඟින් ද එල්ල වූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 20කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඒ පිළිබඳ බ්‍රිතාන්‍යය දැඩි විරෝධය පළ කර ඇතැයි ද වාර්තා වේ.