14
රාජ්‍ය දේපළ සංවර්ධනය කර රාජ්‍ය ආදායම වැඩි කර ගන්නවා මිස රාජ්‍ය දේපළ විකුණාගෙන රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට තමා සූදානම් නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඇතැමුන් ප්‍රතිපත්තියක් ලෙස රාජ්‍ය දේපළ විකුණා දැමීමට උත්සාහ කරන බව පෙන්වා දෙන ඒ මහතා, විකුණන කිසිම දේපළක් ඔවුන් විසින් ගොඩනැඟූ ඒවා නොවන බව ද ඒ සියල්ල 2005 – 2015 මහින්ද රාජපක්ෂ යුගයේ ගොඩනැඟූ ඒවා බව ද සිහිපත් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් හක්මණ නගරයේ පැවැති ජනහමුවට එක්වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ජන රැලිය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
මගේ කාර්යාලය තිබුණේ හක්මණ මායිමේ. 2005, 2010, 2015 කාලවල දී මේ හක්මණ ජනතාව බොහෝ අවස්ථාවල මහජන දිනවල දී ආවේ මගේ කාර්යාලයටයි. අපට මතකයි, බෙලිඅත්ත ජනතාව කියන්නේ හක්මන නගරය සංවර්ධනය කර තිබෙනවා බෙලිඅත්තට වඩා කියලයි. ගාමිණී සෙනරත් මහතාගේ ගම. බෙලිඅත්ත නගරයටත් වඩා හක්මණට සිදුව තිබෙනවා. අලුතින්ම නගරයක් නිර්මාණය කළා. එදා සංවර්ධනය කරන්න මුදල් තිබුණා. මුදල් දුන්නා. ඒ වගේම එදා මහින්ද රාජපක්ෂ මහතාට වුවමනාව තිබුණා ගම සංවර්ධනය කරන්න. ගොවියාගේ එළවළු ටික විකුණා ගන්න පොළ හදා දෙන්න අවශ්‍යතාව තිබුණා. ඇතැමුන් එදා කීවේ මේ ගම්වලට මෙච්චර ලොකු පොළක් හදන්නේ මොකටද කියලා. මහපොළොව සමඟ හැප්පිලා වගා කර ලබාගන්නා අස්වැන්න විකුණාගන්න තැනක් තිබෙන්න ඕනෑ කියා එදා මහින්ද රාජපක්ෂ මහතා දැක්කා.
අපි අවුරුදු 30ක් යුද්ධ කළා. ඒ කාලයේ බොහෝ නායක නායිකාවන් සාමය ගේන්න බලය ඉල්ලුවා. ඇතැම් අය ගිවිසුම් අත්සන් කර ප්රභාකරන් මහත්තයා ඔය පැත්තේ ඉන්න, අපි මේ පැත්තේ ඉන්නම් කිව්වා. තවත් සමහරු යුද්ධ කරනවා කිව්වා. නමුත් සමහරුන්ගේ අවුරුදු 30ක් සටන් පාඨය වුණේ යුද්ධය අවසන් කරනවා කියන එකයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු තුනක් ඇතුළත ඒ කාර්ය කළා. යුද්ධය අවසන් කළා පමණක් නොවෙයි, මේ රටේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවන්න, යටිතල පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගත්තා. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අම්මා තාත්තාගේ දරුවෝ තමයි බහුතරයක් යුද්ධයට ගිහින් ත්‍රස්තවාදය අවසන් කරන්න පියවර ගත්තේ. වයඹ දරුවන් තමයි එදා මවුබිම බේරාගැනීමට සටන් කළේ. අපේ ප්‍රාදේශීය නායකයන්, දේශපාලනයේ පිරිස් ඉන්නවා යුද්ධයට ගිහින් මේ රට බේරගත්ත. ඒ රණවිරුවන්ට තිබුණ අභිමානය නැති කරන්නත් පසුගිය කාලයේ ඇතැමුන් කටයුතු කළා. ඒ අභිමානය නැති කළා. එක් පැත්තකින් මහා සංඝරත්නයට මඩ ගැසුවා. ඒ තුළ මේ රටේ සංස්කෘතිය නැති කරන්න උත්සාහ කළා.
තවත් පැත්තකින් මේ රටේ රණවිරුවන්ගේ අභිමානය නැති කරන්න උත්සාහ කළා. අපේ රට බේරාගන්න ජීවිතය පූජා කළ, අතපය නැති වුණු, තමන්ගේ හෙට දවස වෙනුවට දරුවන්ගේ හෙට දවස කල්පනා කළ රණවිරුවාගේ ගෞරවය ආරක්ෂා කරන්නත් අපි හදන ආණ්ඩුවකින් කටයුතු කරනවා. ඒ ගෞරවය, අභිමානය අපි ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම තමයි තරුණ පරම්පරාව අපේක්ෂා කරන රැකියාව දෙන්න අපි ආයෝජකයන් ගමට ගේනවා. ඒ ගමට ගේන ආයෝජකයන්ට අවශ්‍ය පසුබිම අපි හදනවා. යටිතල පහසුකම් ටික අපි හදා දෙන්න ඕනෑ. යටිතල පහසුකම් හදනවා වගේම ආයෝජකයන්ට ආයෝජනය සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි. අපි හදන ආණ්ඩුවකින් මේ රටේ හැම මැතිවරණ කොට්ඨාසයකටම කර්මාන්තයක් ආරම්භ කරන්න පියවර ගන්නවා. මේ රටේ තරුණ පිරිස අපේක්ෂා කරන තාක්ෂණය සමඟ බද්ධ වුණු පරිවර්තනය වගේම රැකියා බිහි කිරීමේ වැඩපිළිවෙළින් විරැකියාව අවසන් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. එළඹෙන 22න් පසුව මේ රට නැවත වැඩබිමක් කරන ඔබගේ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරනවා.
එදා මහින්ද රාජපක්ෂ යුගයේ ගොවියාගේ ආර්ථිකය හැදුවා. ආයෝජකයන් ගෙනාවා. අධිවේගී මාර්ග ගෙනාවා. සංචාරක ව්‍යාපාරය ගෙනාවා. 2015 වසරෙන් පසුව මේ සියල්ලම නතර වුණා. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා. ඒ අනුව 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ සංවර්ධනය නතර කළ තැනින් නැවත වතාවක් එළඹෙන සැප්තැම්බර් මාසයේ 22දා සිට සංවර්ධනය ගමට ගේන්නත් ලංකාව ආසියාවේ දියුණුම රට බවට පත් කරන්නත් වගකීමක් තිබෙනවා. ඒ වගකීම භාර ගන්නවා. ඒ වගකීම ඉටුකරනවා. අපි තාක්ෂණය ගේන්න ඕන. අපි තාක්ෂණය බද්ධ කළ යුතු වෙනවා. රටේ තරුණයක් අපේක්ෂා කරන තාක්ෂණික විප්ලවය රාජ්‍ය සේවයට ගෙනඑන්න ඕන. රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරනවා වගේම රාජ්‍ය සේවය තුළින් ජනතාවට සිදුවන සේවාව තාක්ෂණය සමඟ බද්ධ කළ යුතු වෙනවා. පෝලිම්වල සිටින යුගය අවසන් කළ යුතු වෙනවා. අපි ඒක කරනවා. පරිභෝජනය අඩු කරලා, මිල වැඩි කරලා, තෙල් පෝලිම ඉවත් කළාට පාස්පෝට් පෝලිම ඉවත් කර ගන්න බැරිවුණේ ඇයි.
පාස්පෝට් පෝලිම අවසන් කරගන්න නොහැකි වුණේ තාක්ෂණය සමඟ මේ රටේ රාජ්‍ය සේවය බද්ධ නොවුණු නිසයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එම වැඩකටයුතු ආරම්භ කළා. තොරතුරු තාක්ෂණ ගම්මාන ගෙනාවා. තාක්ෂණික විප්ලවය ආරම්භ කළත් අරගලය හේතුවෙන් අවාසනාවට එය කරගෙන යන්න නොහැකි වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදන ආණ්ඩුව තාක්ෂණයත් සමඟ මේ රටේ රාජ්‍ය සේවය බද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. අපි එක් කරනවා. අපි මේ පණිවුඩය ගමට ගෙනයමු. අපි ආසනයෙන් ආසනය, ගමෙන් ගමට යනවා. අපි ජනතාව සමඟ දේශපාලනය කරනවා. මහා ජනරැලි කරන එක ලේසියි. වියදම් කරලා රැලි කරන්න පුළුවන්. ජනතාව අතරට යන්න නම් ගමෙන් ගමට යා යුතු වෙනවා. ඒ අනුව අපි ගමට ගොස් ගමේ ජනතාව හමුවී මැතිවරණ ව්‍යාපාරය කරනවා. හිත් බිඳුණු, කලකිරුණු අය වගේම ඇතැම් මැර දේශපාලන බලවේගවලට නිශ්ශබ්ද වූ අයත් ඇති. අපි බය නැහැ. සැප්තැම්බර් 21 අපේ පක්ෂය දිනවන්න එක්වෙමු කියා ආරාධනා කරනවා.
දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා,
අද ඇතැමුන් රාජපක්ෂවරු රටට මොනවා ද කළේ කියා අහනවා. රාජපක්ෂවරු රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. අද රෑට කන්න නැතත් හෙට දවසේ බිය නැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදාකර දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. එදා අපි රෑට හිටියේ කැලෑවල. අපි රෑට ගෙදර සිටියේ නැහැ. එදා අපිට අපේ ආගම සිහි කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දළදා මාලිගාවට ගැහුවා. ශ්‍රී මහා බෝධියට පහර දුන්නා. පාසල්වලට දරුවන්ට යන්න නොහැකි තත්ත්වයක් තිබුණා. අපේ රටේ හැමතැනම යුද බිය තිබුණා. එක් පැත්තකින් අපි ත්රස්තවාදීන්ගෙන් බැටකෑවා. අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් බැටකෑවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හක්මණ ආසනයේ සංවිධායිකා සුභාෂිණී බුලේගොඩ මහත්මිය ද මෙහිදී කතා කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක තිස්සකුට්ටිආරච්චි, නිපුණ රණවක මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – සුදත් නිශාන්ත
මහින්ද අලුත්ගෙදර, හක්මණ සිට …