5
ජනතාව දුක් විඳි යුගය, ජාතික ජන බලවේගයේ පාලනයකින් අවසන් කරන බව එහි නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අනුර කුමාර මහතා එසේ ප්‍රකාශ කළේ ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ පොලොන්නරුව රැලියට පසුගියදා (29) සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
අපේ වැඩිහිටි අය මීට කලින් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. ඒත් අවසානයේ ඉස්පිරිතාලවල බෙහෙත් ටික නැති වුණා. පැරණි ඉතිහාසයෙන් මිදිලා, ලෝකය ඉදිරියේ පිළිගන්නා රටක්, ජනතාවට හොඳ ජීවිතයක්, පොහොසත් රටක් නව ආණ්ඩුවක් අප හදන්න ඕනෑ. මේ 21 වැනිදා ඔය ආණ්ඩුව හදමු කියලා අප යෝජනා කරනවා. අපට තීරණය කරන්න තිබෙන්නේ පැති දෙකයි. රට දුප්පත් කරපු, ඒගොල්ලන් පොහොසත් වුණු පරණ පාර. එහෙම නැතිනම් මේ රට අලුත් දිසාවකට යොමු කරලා, ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්න යෝජනා කරන ජාතික ජන බලවේගයේ පාර. අප කල්පනා කරන්න ඕනෑ මේ දෙකෙන් මොකක්ද අප තෝරා ගන්නේ කියලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදපුවාම, කවදාවත් අනේ අපොයි කියන්න සිදුවෙන්නේ නැහැ. මේ සැරේ තමයි තීන්දුව හරියට ගත්තේ කියලා සතුටු වෙන්න පුළුවන්. මම හෝ මේ වේදිකාවේ ඉන්න කිසිවකු හෝ මේ දේශපාලනය තෝරා ගත්තෙත්, ආණ්ඩු හදන්න ඕනෑ කියන්නෙත් අපට යමක් උපයා ගන්න නොවෙයි. අපට ඕනෑ මේ රට පොහොසත් රටක් කරන්න. අපට ඕනෑ මේ රටේ ජීවත් වෙන ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් දෙන්න. ඒ ඇයි? අපේ ගම්වල අම්මලා තාත්තලා මියැදෙනවා රස ආහාර වේලක් මොකක්ද කියලා දන්නේ නැතිව. අපේ දරුවෝ හොඳ පහසුකම් සහිත පාසලක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව ගතවෙනවා. අපේ තරුණ තරුණියන් විශාල ලෙස අවිනිශ්චිතතාවකට පත්වෙලා තිබෙනවා. සෑම පැත්තෙන්ම වේදනාවට, දුකට පත්වුණු ජනතාවක් ඉන්නේ. මේක අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕනෑ. ඒකට අප ආණ්ඩුවක් හදමු. එකින් එක අපි පටන් ගනිමු. රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනෑ. අපට ආයෝජකයකු ආව ගමන් බලන්නේ ඇමැතියාට කීයක් දෙනවාද? කියලා. පාරක් හැදුවත් හොරකම් කරනවා, බෙහෙත්වලින් හොරකම් කරනවා. මේ හොරකම ආර්ථිකය වැටීමේ ප්‍රධාන සාධකයක්. හොරකම, වංචාව, දූෂණය නතර කිරීමකින් තොරව අපේ රට හදන්න බැහැ. ඒ විතරක් නොවෙයි හොරකම් කරපු දේපොළ ආපහු ගන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි.
ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේ රටට අවශ්‍යයි. ලෝකයේ දියුණු හැම රටකම නීතිය ඉදිරියේ හැමෝම සමානයි. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියක්, දුප්පත්, බලය නැති අයට තව නීතියක්. මේ නිසා මත්ද්‍රව්‍ය, අපරාධ විශාල ලෙස වැඩිවෙනවා. අපරාධ, මත්ද්‍රව්‍ය ව්‍යාපාර තිබෙන්නේ සංවිධානාත්මකව. මේවා පිටිපස්සේ දේශපාලනය තිබෙනවා. මේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක් යන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. පළමුවෙන්ම අපේ ගම්වල දුප්පත්භාවය නැති කරන්න ඕනෑ. දුප්පත්භාවය කියන්නේ කන්න නැතිකම විතරක් නොවෙයි. දුප්පත්කම නිසාම, නොසැලකීමට ලක්කෙරෙනවා. අධ්‍යාපනය නතර වෙනවා. අප ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා. දුප්පත්භාවයෙන් ගොඩ එන්න තිබෙන එක පාරක් තමයි අධ්‍යාපනය. අප අධ්‍යාපන ක්රමයේ වෙනසක් ඇති කරනවා. අපේ ගුරු පුරප්පාඩු තිබෙනවා. රැකියා නැති උපාධිධාරීන් ඉන්නවා. අප ආරම්භයේදීම පුරප්පාඩු සඳහා 20,000ක් බඳවා ගන්න සැලසුමක් හදා තිබෙනවා. කිලෝමීටර තුනක් ඇතුළත පහසුකම් සහිත පාසලක් හැම දරුවකුට ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් අප හදනවා. නවය වසර හෝ දහය වසරේදී තෝරා ගැනීමේ විභාගයක් තියනවා. ඒ විභාගය අනුව දරුවයි, මවුපියොයි, ගුරුවරයයි එකතු වෙලා දරුවාගේ දක්ෂතාව අනුව දරුවාට යන්න තියෙන පාරට යොමු කරනවා. එවැනි පාරවල් ගණනාවකින් දරුවන් ඉස්සරහට ගෙනැල්ලා පාසලෙන් එළියට එනකොට වෘත්තියවේදියකු හැටියට හෝ අධ්‍යාපනයෙන් ඉස්සරහට යන නව අධ්‍යාපන ක්‍රමයක් ජාතික ජන බලවේගය ස්ථාපිත කරනවා. අධ්‍යාපනය තමයි ගමේ දුප්පත්භාවය තුරන් කරන පාර.
අපේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරගන්න තිබෙන අනෙක් පාර තමයි කෘෂිකර්මාන්තය නඟාසිටුවීම. අප බීජ පර්යේෂණායතන දියුණු කරලා අඩු වියදම් සහිත හොඳ බීජ ගොවියාට ලබා දෙන්න සැලසුම් කොට තිබෙනවා. ගොවිතැනට අවශ්‍ය වතුර ලබාදීමට සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් පද්ධතිය පිරිසුදු කොට නැවත පැරණි කාලයේ පමණටම ජලය පුරවන්න තරමේ ධාරිතාවෙන් වැඩි කරනවා. මහ කන්නය යල කන්නය පමණක් නොවෙයි අතරමැදි කන්නයක් වගා කරන්න අවශ්‍ය වතුර ප්රශ්නය විසඳනවා. යෙදවුම්වලටත් සහනාධාර දීමේ වැඩපිළිවෙළක් අප සකස් කරනවා. ගොවි ජනතාව ණය බරින් මිරිකිලා ඉන්නේ. අප ඉතා හොඳින් සමීක්ෂණයක් කරලා, ගෙවා ගන්න බැරි ණය යම් ප්‍රමාණයක් කපා හරින්න යෝජනා කර තිබෙනවා. ඒ වගේම අඩු පොලියට ණයක් ලබා ගන්න සංවර්ධන බැංකුවක් අප ඇති කරනවා.
ජාතික විද්වත් සංවිධානයේ පොලොන්නරුව දිස්ත්‍රික් සභාපති, පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු උප පීඨාධිපති සමන් පත්ම කුමාර මහතා,
මේ රට ගොඩනැඟීමට සුදුසුම නායකයා අපට සොයා ගැනීමට හැකි වීම ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා. අප අද සියලු සමාජ බලවේග කණ්ඩායම් අපේ ජයග්‍රහණය සඳහා සංවිධානය කරගෙන තිබෙනවා. අප විශ්‍රාමික හමුදාවේ දහස් ගණනක් එකතු කළා. කාන්තාවන් දස දහස් ගණනක් එකතු කළා. රට වෙනුවෙන් මහා සංඝරත්නය දැන් අපත් සමඟ පෙළගැසී ඉන්නවා. ඒ වගේම ත්‍රිරෝද රථ සංගම්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, කලාකරුවන්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන් සියලු බලවේග අප එකතු කළා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේ සිටින ජනතාව දැන් අප එකතු කරලා ඉවරයි.
තමුන්නාන්සේලාගේ දහඩිය සුවඳ හඳුනන තඹුත්තේගමින් බිහිවුණු අපේම පන්තියේ සහෝදරයකු මේ සටනේ ඉන්නවා. සමහරු අපෙන් අහනවා සජිත් එක්ක නේද සටන තිබෙන්නේ කියලා. අපට එයා සමඟ කිසිම තරගයක් නැහැ. අප දැන් ඉන්නේ ජය කණුව පෙනි පෙනී. ඒ නිසා අපේ රටේ, ගමේ කොල්ලෙක් වන අපේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා 21 වැනිදා වාර්තා පිට වාර්තා තබමින් ජයග්‍රහණය කරනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ටී.බී. සරත්,
මෙතනට රැස්වෙලා ඉන්න මේ දහස් සංඛ්‍යාත ජනතාව කියා පාන්නේ අන්කිසිවක් නොවෙයි, මේ 21 වැනිදාට මේ රටේ නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කියන එකයි. අපේ රටේ ගොවි ජනතාව හැමදාමත් ප්‍රාර්ථනය කළේ ඔවුන්ගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙන්න ඕනෑ කියලා. අන්න ඒ ප්‍රාර්ථනය නියත ලෙසම මල්ඵල ගැන්වෙන දිනය මෙම 21 වැනිදායි. ගොවියාගේ වී ඇතුළු සියලු නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබාදීමේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මඟින් අනිවාර්යයෙන්ම භාර ගන්නවා වගේම මේ රටේ ගොවියා මුහුණදී සිටින සියලු ප්‍රශ්නවලින් ඔවුන් මුදා ගන්නා දිනයත් සැප්තැම්බර් 21යි.
උපාලි කරුණාරත්න, සිරිපුර – මධුෂානි අබේසිංහ, දෙහිඅත්තකණ්ඩිය – දුලාංජලා අබේසිංහ