26
මෙරට ඡන්ද ඉතිහාසයේ අමතක නොවන සිද්ධීන් එමටය. මේ ඉන් ස්වල්පයකි. කොතෙකුත් එවැනි සිද්ධීන් අතර, ඒ ඒ ඡන්ද විමසීම්වලදී ජය පැරදුම දෙකම දෝලනය වුවත්, ඇතැමුන් අනිවාර්යයෙන්ම දිනන වගට වූ ස්ථාවරය මත ධුර කාලය ඉදිරියට ඉතිරිව තිබියදී තරග කළ අවස්ථා ද නැත්තේ නොවේ. එසේත් නැතිනම් දිනුම අතේ තබාගෙන තරගයට පැමිණියත් අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සිදුවූ අවස්ථා ද හිඟ නැත. 1982 වර්ෂයේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ ඉතිහාසයේ එවැනි සිද්ධීන් හිඟ නොවේ. ඒ කෙසේ වුවත් 1978 වසරේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධූරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා වසර දෙකකට පෙර ජනාධිපතිවරණය කැඳවීමට තීරණය කළේය. එසේම ඉන් ජය ලැබීය. මෑතකාලීනව ඒ මතක අලුත් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ධුර කාලය සම්පූර්ණ වීමට කලින් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙමිනි. එහෙත් ජේ. ආර් ජයවර්ධන මහතාට මෙන් ජයග්‍රහණය කිරීමට ඒ මහතාට වරම් නොලැබිණ.
දැන් අපි එතැනින් නැවත ඉතිහාසය දෙසට හැරෙමු. 1982 වසරේ පැවති ජනාධිපතිවරණ නාමයෝජනා භාර ගැනීම එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ උපන් දිනය දා පැවැත්වීමත් විශේෂත්වයකි. එහි ප්‍රතිඵල අනුව එවකට ජනාධිපතිවරයාවූ ජේ. ආර්. ජයවර්ධන මහතා ජය ලැබුවේය. භීෂණ තත්ත්වය නිසා ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි වීමත් එහි තවත් අමතක නොවන සිද්ධියකි. ඒ සිදුවීම මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා විණි.
එපමණක් නොවේ, එම ජනාධිපතිවරණය ඉතිහාසගත කරන්නට මුල් වූ තවත් කරුණක් වූයේ, අවම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග වැදුණු එහිදී ඡන්ද පොළවල් 207කම ඡන්ද පෙට්ටි තුළ එකම ඡන්ද පත්‍රිකාවක්වත් නොවැටීමය.
එසේම, වර්ෂ 1988 දෙසැම්බර් මස 19 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රණසිංහ ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේය. එහිදී ඡන්ද මධ්‍යස්ථාන රැසකදී අධික බෝම්බ පිපිරීම් සිදුවූ අතර මැතිවරණ රාජකාරීවල යෙදුණු රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු ඝාතනයට ලක්වීමත් මෙරට මැතිවරණ ඉතිහාසයට එක්වූ කළු පැල්ලමකි. එපමණක් නොවේ.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1993 වර්ෂයේ මැයි දිනයේදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත්විය. ඉනික්බිතිව, අගමැතිවරයා ලෙස කටයුතු කළ ඩී. බී. විජේතුංග මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කරනු ලැබිණි.
තවද, 1994 නොවැම්බර් මස 09 වන දා පැවති ජනාධිපතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජය ගැනීමට සමත් වූවාය. ඒ මෙරට ඉතිහාසයේ පළමු ජනපතිවරියගේ තේරී පත් වීමය.
එහෙත් අභියෝග හිඟ නොවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 1999 වසරේ දෙසැම්බර් මස 19 වැනි දා ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමකදී කොළඹදී එල්ල වූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබී ය. ඒ මෙරට ජනතාවගේ සිත් සතන් තුළ අදටත් නොමැකෙන මතකයකි. එමෙන්ම, ඊට දෙදිනකට පසුව, දෙසැම්බර් මස 21 වන දා පැවති ජනාධිපතිවරණයෙන් ඇය දිනුවාය.
තවද, ලාංකේය ඉතිහාසයේ සය වන ජනාධිපතිවරණය සඳහා එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් තරග කළේය. එහිදී අනෙක් තරගකාරී අපේක්ෂකයන් අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ද විය. හෙතෙම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කළේය. එපමණක් නොව, මෙරට ජනාධිපතිවරණයක් සඳහා පළමු වරට භික්ෂූන් වහන්සේ නමක් තරග කළේ ද එවරය. එනම්, බත්තරමුල්ලේ සීලරත්න හිමියන් ය. ඒ 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටත් ජයග්‍රහණය ලැබූවේය.
තවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් වර්ෂ 2015දී ජනාධිපති ධුරය සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහුගේ පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන, පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වී ජය ලැබීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරුන්ගේ ඉතිහාසය දෙස හැරී බලන විට අමතක නොවන තවත් ජනපතිවරයෙකි. 2009 වසරේදී කොටි ත්රස්තවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26ක් පැවති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ විශාල කර්තව්‍යය ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඉටුකළ හෙතෙම, 2006 වසරේ දෙසැම්බර් 1 වැනි දින, කොටි ත්රස්තවාදීන් විසින් කොළඹදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යන්තමින් දිවි බේරා ගත්තෙකි.
ඔහුව වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කරන ලදි. ඒ අනුව වර්ෂ 2019, නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස සර්වජන ඡන්දයෙන් තේරී පත්විය.
හමුදා නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, ජනාධිපති ධුරයට පෙර වෙනත් කිසිදු දේශපාලනික තනතුරක් නොදැරූ පුද්ගලයෙකු එම තනතුරට තේරී පත්වූ ප්‍රථම අවස්ථාව වශයෙන් ද මෙය ඉතිහාසගත වී ඇත.
නුවන් මහේෂ් ජයවික්‍රම