17
දේශපාලනඥයන් පසුපස ගොස් රැකියා ගත් ක්‍රමවේදයට අපෙන් තිත – ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ
දේශපාලනඥයන් පසුපස ගොස් රැකියා ලබා ගන්නා ක්‍රමවේදය අප වෙනස් කරන්නේ යැයි ද ඒ නිසා තරුණ තරණියන්ට අධ්‍යාපන සුදුසුකම්වලට ගැළපෙන රැකියාවකට යොමු කරන්නේ යැයි ද එය වෘත්තීය පුහුණුව, කාර්මික පුහුණුව හෝ නිපුණතාව පදනම් කරගෙන විය හැකි වන්නේ යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නීතිඥ නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ පසුගියදා (30) පස්වරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා බියගම ආසනයේ මාකොළ නගරයේ පැවති ජන හමුවකදීය. බියගම පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක හා බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා විසින් මෙය සංවිධානය කර තිබිණි.
මෙහිදී තවදුරටත් කතා කළ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
අප පක්ෂයක් හැටියට අභියෝග රැසකට මුහුණ දුන්නා. එම අභියෝගවලට බයේ අප පැනලා ගියේ නැහැ. ඒවාට නොබියවම සාර්ථකව මුහුණ දුන්නා. ඒවා ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණ අප රටට හා ජනතාවට ලබා දී තිබෙනවා. ඒවායේ සාර්ථක ප්රතිලාභ ජනතාවට අද භුක්ති විඳීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ගැන අප පක්ෂයක් ලෙසට සතුටු වෙනවා.
මේ රටේ පුරා වසර තිහක් කුරිරු ත්‍රස්තවාදී යුද්ධයක් පැවතුණා. එය නැවැත්වීමට එදා බලයේ සිටි ජනාධිපතිවරුන් හතර දෙනාට නොහැකි වුණා. එවැනි අවස්ථාවක තමයි 2005 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වුණේ. එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ බලයට ආවොත් එම කුරිරු ත්‍රස්තවාදී යුද්ධයට තිත තබනවා කියලා ජනතාවට පොරොන්දුවක් දුන්නා. එතුමා එම අභියෝගය ජනතාව වෙනුවෙන් සතුටින් භාර ගත්තා.
එතුමා බලයට පත්වී වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ එම කුරිරු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළා. එම යුද්ධය අවසන් කළා විතරක් නෙමෙයි. මේ රටේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවන්නට කටයුතු කළා. ගමට අවශ්‍ය වන යටිතල පහසුකම් ලබා දීමට පියවර ගත්තා. ඒ අනුව එදා මහින්ද රාජපක්ෂ පාලන යුගයේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කළා. මෙරටට ආයෝජකයන් ගෙනාවා. අධිවේගි මාර්ග ඉදිකළා. සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කළා. නමුත් එතුමාට හොරා කියලා බොරු ප්‍රචාර පතුරුවලා 2015 ජනාධිපතිවරණයේදී එතුමා පරාජයට පත් කරන්නට අවස්ථාවාදී දේශපාලන පක්ෂ කටයුතු කළා.
ඒ හේතුවෙන් 2015න් පසුව මේ සංවර්ධන වැඩපිළිවෙළ නතර වුණා. ඒ අනුව 2015 වසරේදී නතර වූ මහින්ද රාජපක්ෂ සංවර්ධනය වැඩපිළිවෙළ එතැනින් නැවත ආරම්භ කරන්නට අප කටයුතු කරනවා. ඒ වගකීම මා භාර ගන්නවා. එයට ජනතාවගේ ශක්තිය මට අවශ්‍ය වෙනවා. ඒ සඳහා මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව එම ජනවරම මට ලබා දෙන ලෙසට මා ඉල්ලා සිටිනවා.
අද නවීන ලෝකය තාක්ෂණය අතින් සීග්‍ර දියුණුවක් ලබා තිබෙනවා. එයට අප ද සාර්ථකව මුහුණදී ලෝකයේ රටවල් සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අප තාක්ෂණය මෙරටට ගේන්නට ඕනෑ. රටේ තරුණයන් අපේක්ෂා කරන තාක්ෂණ විප්ලවය රාජ්‍ය සේවයට ගෙන එන්නට ඕනෑ. රාජ්‍ය සේවය තුළින් ජනතාවට සිදුවන සේවය තාක්ෂණය සමඟ බද්ධ කළ යුතුයි. ඒ තුළින් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දීමට හැකි වෙනවා.
අප ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ අපේ අයටයි. අපේ ව්‍යාපාරිකයන්ටයි, අපේ ආයෝජකයන්ටයි. අප විදේශ ආයෝජන මෙරටට ගේන්නට ඕනෑ. විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන අද ආර්ථිකය හැදුවා. රට බේරා ගත්තා, අරක අයින් කළා, මේක අයින් කළා කියන අය කොච්චර කිව්වත් මට කියන්න ගම්බද තරුණ තරණියන්ගේ රැකියාවන් එන්න එන්නම අහිමි වෙනවා. නිර්මාණය වන්නේ නැහැ.
ආර්ථිකයේ යම් ප්‍රගතියක් තියෙනවා නම් ගමේ රැකියා උත්පාදනය වන්නට ඕනෑ. ගමේ රැකියා උත්පාදනය වන්නේ නැහැ කියන්නේ ගමේ ඉහළ මට්ටමේ ප්රතිලාභ ගමට ගිහින් නැහැ කියන එකයි. එහෙම නම් අප ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඇතුළේ මේ රටට අහිතකර කිසිම පනතක් හෝ නීතියක් නැහැ කියන එකත් මේ රටේ ඒකීයත්වයට බලපෑම් එල්ල කරන කිසිම වැඩපිළිවෙළක් නැහැ කියන එකත් මේ රටේ ග්‍රාමීය ආර්ථිකයේ ඉඳන් ජනතාවගේ සුබසිද්ධිය සඳහා ගොඩනඟන ප්‍රතිපත්ති පමණක් තිබෙනවා කියන එකත් මතක් කරනවා.
මේ රටේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙන්නට ඕනෑ. අද දිනෙන් දිනම රැකියා හිඟය උග්‍ර වෙමින් පවතිනවා. ඒ වගේම දැනට තිබෙන රැකියා අහිමි වෙමින් යනවා. ඒ නිසා මේ රැකියා ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් සෙවිය යුතුයි. ඒ සඳහා අප ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා. ඒ තුළින් ඉදිරි වසර පහ තුළ රැකියා විරහිත තරුණ තරණියන් ලක්ෂ දහයකට රැකියා ලබා දෙනවා. මේ ආකාරයට රටක් ගැන හිතලා නිවැරදි තීන්දු ගත්තාම උතුරේ ප්‍රශ්න ද විසඳෙනවා.
අද ඉන්ධන පෝලිම් හා ගෑස් පෝලිම් නැහැ කියලා රට කරවන පාලකයන් කියනවා. ඒ වුණාට විදේශ ගමන් බලපත්‍ර පෝලිම දික්වෙලා. බඩු මිල ඉහළ ගිහින්. ජීවන වියදම වැඩියි. ජනතාවට ජීවන බර දරා ගන්නට බැහැ. අප බලයට පත් වූ විගසම ජනතාවගේ ජීවන බර අඩුකොට ඔවුනට සහන ලබා දීමට පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ළඟ තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා මට ශක්තිය ලබා දෙන්න.
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ද විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, හිටපු රාජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන, බියගම පො.ජ.පෙ. ප්‍රධාන සංවිධායක හා බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රභාත් ලියනගේ හා වෘත්තීය සමිති වෙනුවෙන් බන්දුල සමන් කුමාර යන මහත්වරු ද කතා කළහ.
මේ අවස්ථාවට වටිනාපහ සෝමානන්ද හිමියෝ ද ග්‍රාමීය කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් වන සුදීමා චාන්දනී (මහර), රංජිත් ගුණවර්ධන (ගම්පහ), ශාන්තිනි කුමුදිනී (කැලණිය), ප්‍රාදේශීය සභා උප සභාපතිවරුන් වන ජයන්ත කබ්රාල් (කැලණිය), අජිත් කුමාර (බියගම) හා දොම්පේ පො.ජ.පෙ. සංවිධායක වර්නන් ගුණරත්න යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
එහිදී මේ ජනහමුවට පැමිණි ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවාගෙන ආ අයුරු හා එයට සහභාගි වූ පිරිස ද මෙහි වෙති.
මල්වාන සමූහ – මහානාම විතානගේ, දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති
ඡායාරූප – සුලෝචන ගමගේ