19
ඇසට ප්‍රිය උපදවන වර්ණ සහ සංකේත ඇත. ඒවාට මිනිසුන්ගේ වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව දේශපාලන පක්ෂද වර්ණ උපයෝගී කර ගන්නේ ආකර්ෂණය නිසාමය. සංකේත ද එසේමය. සංකේත උපයෝගි කර ගනිමින් ජනතාවගේ මනසට වැඩියෙන් මතක හිටින අයුරින් කාවැද්දීමේ හැකියාව ඇත.
ලාංඡනයක් (Logo) යනු පුද්ගලයෙක්, කණ්ඩායමක් හෝ ආයතනයක් සංකේතවත් කරනු පිණිස නිල වශයෙන් යොදාගනු ලබන ද්විමාන හෝ ත්‍රිමාණ රූපයකි. වර්තමාන සමාජ සන්දර්භය තුළ ආර්ථික, දේශපාලනික, සාමාජයීය හා ආගමික කරුණු උදෙසා ලාංඡන හා සංකේත දැකගත හැකිය. වර්තමාන දේශපාලනික ගමන් මඟේ පොදු ජන පෙරමුණේ ලාංඡනය නෙළුම් පොහොට්ටුවද, සමගි ජන බලවේගයේ ලාංඡනය දුරකතනයද, එක්සත් ජාතික පක්ෂයේ අලියාද, ජාතික ජන බලවේගයේ මාලිමාවද, ජාතික නිදහස් පෙරමුණේ පංචායුධයද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණද ඔවුන්ට ආවේණික ලාංඡන ලෙස භාවිත කරනු ලබයි.
වර්තමාන ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු විවිධාකාර ස්වරූපයක් ගනී. ඇත්ත වශයෙන්ම අපේක්ෂකයකුට සුවිශේෂී ඡන්ද ලකුණක් අවශ්‍යයද ? එය ඔහුගේ ජයග්‍රහණය සඳහා කෙසේ ඉවහල් වේවිද? පුද්ගලයෙකු යමක් පිළිබඳව තීරණය කරනු ලබන්නේ දැකීමෙනි. පසුව එහි හරි හෝ වැරදි බව නුවණින් විමසනු ලබයි. නමුත් මුලින් ගත් තීරණය පසුව වෙනස් කිරීමට පෙලඹිය හැකිය. මුල් මතයේ නොසිට වෙනත් අදහසකට එන්නේ එම පුද්ගලයාගේ අවබෝධය මතයි. මේ නිසා පුද්ගලයන් බුද්ධිය හා පරිණතභාවය අනුව තීරණ වෙනස් කරනු ලබයි. දේශපාලන පක්ෂවල සංකේත හා ලාංඡන පිළිබඳව ද මෙය වලංගුය.
යම් දැකීමකදී මුලින්ම යන්නේ සංකේතයට, එහි වර්ණයට විය හැකිය. මෙලෙස සිදුවන ආකර්ෂණය පසුව ලාභ ප්‍රයෝජන තකා වෙනස් කරනු ලබයි. මුල් යුගයේදී තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා සංකේත භාවිත කරන ලදී. පසුව සමාජයේ ඇතිවූ දියුණුවත් සමඟ සංකේත පසුව අක්ෂර සඳහා යොමු විය. නමුත් මිනිසා අකුරුවලට වැඩිය සංකේතවලට වැඩි උනන්දුවක් දක්වන්නේ එම සංකේත තම ජීවිතවලට සමීපතාවක් දක්වන නිසාවෙන් විය හැකිය. වර්තමානයේ දියුණු සමාජය තුළද සංකේතවලට සුවිශේෂී තැනක් ලැබී ඇත. ව්‍යාපාර නාමවලද විවිධ සංකේත පවතින අතර ඒ වගේම දේශපාලන පක්ෂවලටද විවිධ සංකේත පවතී. සංකේතවලින් අක්ෂරවලට වඩා ප්‍රබල ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.
ඇසට ප්‍රිය උපදවන වර්ණ සහ සංකේත ඇත. ඒවාට මිනිසුන්ගේ වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව දේශපාලන පක්ෂද වර්ණ උපයෝගී කර ගන්නේ ආකර්ෂණය නිසාමය. සංකේත ද එසේමය. සංකේත උපයෝගි කර ගනිමින් ජනතාවගේ මනසට වැඩියෙන් මතක හිටින අයුරින් කාවැද්දීමේ හැකියාව ඇත. දේශපාලන පක්ෂයක් තම සංකේත හා වර්ණයන් යොදාගනු ලබන්නේ ඔවුන්ගේ අනන්‍යතාවට පෙන්වීමටය. ඒවා ජනතාවට හඳුනා ගැනීමේ පහසුව සඳහා යොදාගනු ලබයි. යම් සංකේතයක් ගත්විට එය එලෙසම දේශපාලන පක්ෂයකට ගැළපීමට නොහැකිය.
විවිධ පක්ෂ, විවිධ ලාංඡන යොදා ගනිමින් ජනතාව වෙත යාමට උත්සාහ දරනු ලබයි. නමුත් එමඟින් අපේක්ෂා කළ තරම් දෙයක් සිදු වන්නේ නැහැ. ලාංඡන, පාට සහ සංකේත යොදා ගැනීම මානසික ක්‍රියාවලියක්. පක්ෂයක් හඳුනා ගැනීම සඳහා ලාංඡනයක් යොදා ගැනීම මඟින් එම පක්ෂය හෝ කණ්ඩායම හඳුනා ගැනීමේ පහසුව ජනතාවට ලැබෙනු ඇත. උදාහරණයක් විදිහට අලියා, අත, පොහොට්ටුව, දුරකතනය, මාලිමාව ආදී වශයෙනි. එහෙත් මේවා තාවකාලිකය. මේවා කලින් කලට වෙනස් වීමට, මාරු වීමට පුළුවනි. සදාකාලික ලාංඡන හෝ සකේත නොමැත. ඒවාට එකතුවන පුද්ගලයන්ද විවිධ හේතු නිසා වෙනස්වීමට පුළුවනි.
යම් පක්ෂයක ලාංඡන හා සංකේතවලින් සෞභාග්‍යය ළඟා කර ජයග්‍රහණයට මඟ පෑදීමක් සිදුවේ යැයි සෑම මැතිවරණයකදීම දේශපාලන පක්ෂ අපේක්ෂා කළේය. පක්ෂයේ පාට, සංකේත හා පක්ෂයේ නමට වඩා තරග කරන පුද්ගලයාගේ චරිත ස්වභාවයට මුල් තැන දෙමින් තම ඡන්දය භාවිත කිරීම සාමාන්‍යයෙන් සිදු වේ. ලාංඡන හෝ සංකේත අනුව පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක අනාගතය තීරණය කළ නොහැකිය. කෙතරම් ජනතාව අතරේ එම ලකුණු භාවිත කළත් ජයග්‍රහණය ලබා ගැනීම අපහසුය.
එක්සත් ජාතික පක්ෂයේ පාට ලෙස කොළ පාටද, ලකුණ ලෙස අලියාද තෝරා ගැනෙන්නේ යම් අවබෝධයක් ඇතිව විය හැකිය. එක්සත් ජාතික පක්ෂය කොළ පාට තෝරා ගැනීම එම පක්ෂය විසින් ගෙන ගිය ගොවිජන ව්‍යාපාර හා වැව් සමඟ, කෙත සමඟ තිබෙන බැඳීම, හැඟීම ජනතාව තුළ ඇති කිරීමට විය හැකිය. අනෙක් අතට රටේ රජු ගමන් කරන්නේ අලියා පිටේ වීම නිසත් අලියා වැඳුම් පිදුම් කරන සත්ත්වයෙක් නිසාත් එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය ලෙස අලියා තෝරා ගැනීමට හේතු වන්නට ඇත.
අත කෙනෙකුට යමක් තේරුම් කිරීමට අත්‍යවශ්‍ය වේ. නමුත් එය දේශපාලන පක්ෂයක ලකුණක් සංකේතයක් වූ පමණින් ඡන්ද දායකයින් එය අත්‍යවශ්‍ය ලෙස නොසලකයි. පාට හා ලකුණු සංකේත යොදා ගැනීම සෑම අවස්ථාවකම ඵලදායි ප්‍රතිඵල අත්කර නොදෙයි. වර්ෂ 1951 දී බණ්ඩාරනායක මහතා පක්ෂය කඩා ගෙන ගොස් අලුතින් පක්ෂයක් පිහිටුවා ගැනුණි. එමඟින් ඔහු බලාපොරොත්තු වූයේ තම පක්ෂයට පංච මහා බලවේගයක් කැඳවා ගෙන ඒමටය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය සංකේතවත් කරන්නට අතේ ඇඟිලි පහ (අත ලකුණ) ස්වකීය පක්ෂයේ ලෙස ලාංඡනය ලෙස යොදා ගැනුණි. එමඟින් බණ්ඩාරනායක මහතා බලාපොරොත්තු වූයේ සත්ත්ව ලෝකයේ සිටින සද්ධන්තයා වන අලියා මෙල්ල කිරීමට අත යොදාගැනීමටය. අත යොදාගෙන අලියාට රිද්දවීමට පුළුවන් බව ඔහු සිතුවේය.
ජාතික ජන බලවේගයේ ලාංඡනය ලෙස මාලිමාව යොදාගෙන ඇත. රටට මඟ කියන, ජාතියට වගකියන අතරමං වෙලා සිටින ලංකාව නිවැරැදි දිශාවට ගැනීම සඳහා මාලිමාව ලාංඡනය ලෙස ඔවුන් යොදාගෙන ඇති බව පවසයි. ඒ වගේම නුහුරු නුපුරුදු පළාතක ගමන් කරන විට නිවැරැදි දිශාව සොයා ගැනීම මාලිමාව අවශ්‍ය වන නිසාද රට නිවැරැදි දිශාවකට හරවා ගැනීමටද මාලිමාව අවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙයි.
දේශපාලන පක්ෂ තම ලාංඡන සහ සංකේත සඳහා යොදාගෙන තිබෙන වර්ණ ප්‍රධාන තැනක් ගනු ලබයි. ඇසට මෘදු වර්ණ වගේම ඇසට කටුක වර්ණත් ඒ අතර වේ. පක්ෂයකට හොඳ වර්ණයක් යොදා ගත්විට ඔවුන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ යැයි ඔවුන් සිතයි. කළු පාට කටුක, අප්‍රිය වර්ණයක් ලෙසත්, කහ, සුදු ශාන්ත වර්ණ ලෙසත් සලකනු ලබයි. රතු වර්ණය අනතුරුදායක ස්වභාවයක් හඟවන අතර නිල්, කොළ වර්ණ යහපත් වර්ණ ලෙසත් හඳුන්වනු ලබයි. බොහෝ අවස්ථාවල රතු වර්ණය සමාජවාදය සහ අරගලය නිරූපණය කරයි. එසේම තවත් පක්ෂ තම පක්ෂයේ වර්ණය ලෙස රතු වර්ණය යොදා ගනිමින් කම්කරුවා යන අර්ථය සමාජගත කරනු ලබයි. කහ වර්ණය සහ සුදු වර්ණය පිවිතුරු බවේ සංකේතය නිසා හෙළ උරුමය, පිවිතුරු හෙළ උරුමය වැනි ආගම මූලික කරගත් පක්ෂ තම පක්ෂයේ වර්ණය ලෙස කහ සහ සුදු වර්ණය යොදාගෙන ඇත. නිල් සහ කොළ වර්ණ ඇසට ප්‍රියතාවක් දක්වන වර්ණයි. එම වර්ණ බොහොමයක් ප්‍රධාන ධාරාවේ පක්ෂ යොදා ගැනීමක් දැකගත හැකිය. කොළ වර්ණය යනු ගොයමේ පාට නිසත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වීම නිසාත් බොහොමයක් පක්ෂ තම වර්ණය ලෙස කොළ වර්ණය යොදා ගෙන ඇත. මෙහිදී කිසිදු දේශපාලන පක්ෂයක් කළු වර්ණය තම සංකේත හෝ ලාංඡන සඳහා යොදා ගන්නේ නැහැ. ඊට හේතුව එම වර්ණයේ ඇති කටුක බවයි. මේ නිසා සෑම පක්ෂයක් හෝ සංවිධානයක්ම ප්‍රියමනාප වර්ණයන් භාවිත කිරීමට උත්සුක වෙයි. එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරනු ලබයි.
රුවන් පුෂ්ප කුමාර