17
අනුර-සජිත් කියන්නේ කුමක්ද? බදු බර අඩු කරනවාලු: බදු නැතිව ආදායම හොයන්නේ කොහොමද? ඒක කියන්නේ නැහැ
එදා රටේ වගකීම අරගෙන ඉදිරියට නොගියානම් අද රට බංග්ලාදේශයක් වෙලා:
ලෝකයේ ඕනෑම රටක අගමැති ඉවත් වූ විට විකල්ප අගමැතිවරයා ලෙස විපක්ෂ නායක කටයුතු කළ යුතු බවත්, සජිත් ප්‍රේමදාස මහතා එසේ එම වගකීම භාර නොගෙන ගිනස් වාර්තාවක් තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්රචාරක රැලි මාලාවේ වවුනියාව, කැකිරාව, හලාවත සහ දොම්පේ රැලි අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද කීය.
සජිත්ට ඡන්දයක් දෙනවා කියන්නේ අනුරට ඡන්දය ලබාදීම හා සමානයි. සජිත් ප්‍රේමදාස මහතාට දැන් ජයග්‍රහණය කළ නොහැකි බව කී ජනාධිපතිවරයා සජිත්ට ඡන්දය ලබාදීමේ වාසිය අත්වන්නේ අනුර දිසානායක මහතාට බව පැවසීය. එම කාරණය එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවධාරණය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ නිසා රට ජයග්‍රහණය කිරීම සඳහා එක්ව කටයුතු කරමු යැයි සියලු එජාප පාක්ෂිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
උතුරෙන් මෙන්ම දකුණෙන් ද තමාට සහයෝගය ලැබෙන බව කී ජනාධිපතිවරයා රටේ හැම පැත්තෙන්ම තමා සහයෝගය ලබාගෙන සිටින බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයා වවුනියාව, කැකිරාව, හලාවත සහ දොම්පේ ජන රැලි සඳහා සහභාගි වූ අතර ඊට අති විශාල ජනකායක් සහභාගි වූහ.
වසර දෙකකට පෙර තිබුණ අවුල ගැන මා මතක් කළයුතු නැහැ. එකල ඉන්ධන නැහැ. විදුලි බලය නැහැ. දවස් කීයක් පෝලිමේ හිටගෙන හිටියද?
අන්තිමට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉවත් වුණා. එවිට හරි නම් විපක්ෂ නායක වගකීම භාර ගත යුතුයි. නමුත් විපක්ෂ නායකතුමා ආණ්ඩුව හදන්න සූදානම් නැති බව ආරංචි වුණා. එය ගිනස් වාර්තාවක්. ලෝකයේම මෙවැනි දෙයක් සිදුවූයේ පළමු වතාවටයි. එදා රටේ නායකත්වය ගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කිසිවක් කතා කළේ නැහැ.
අනතුරුව මට ගෝඨාභය ජනාධිපතිතුමා කතා කළා. වගකීමට අත ගැහුවේ නැතොත් විශාල අවුලක් වන බව මට තේරුණා. මට අත්පුඩි ගහන්නවත් කෙනෙක් හිටියේ නැහැ. හුරේ දාන්නවත් කවුරුවත් හිටියේ නැහැ. නමුත් මම තනියම ගිහින් වගකීම භාරගත්තා. අනතුරුව ආණ්ඩුව ගෙන යෑම සඳහා මන්ත්‍රීවරුන් මට එකතු වුණා.
ආපහු ජූලි නව වැනිදා ජනාධිපතිතුමා මන්දිරයෙන් ගියා. අනතුරුව මා වැඩ බලන ජනාධිපති ධුරයට පත්වුණා. මට ඉවත් ඉවත්වන්නැයි විපක්ෂයේ අය කිව්වා. මම එදා ඉවත් වුණා නම් ආණ්ඩුව ගෙන යන්නේ කොහොමද?
සජිත් හෝ අනුර එදා ආණ්ඩු ගත්තේ නැහැ. කථානායකතුමත් කිව්වේ තමාට පාර්ලිමේන්තුව පාලනය කරන්න පුළුවන්. නමුත් රට කරන්න ලෑස්ති නැති බවයි. එදා සිටි නායකයෝ ඔක්කොම අතහැර දිව්වා. දැන් නැවත නායකත්වය ඉල්ලන්නේ මේ අය ද?
මේ වගකීම ගෙන ඉදිරියට ගියේ නැතිනම් අද රට බංග්ලාදේශයක් බවට පත්වෙනවා. මන්ත්‍රීවරුන් මරා දමනවා. සියලු දෙනාගේ සහයෝගයෙන් මා ජනාධිපති වුණා. මා සමඟ රට ගෙන යන්න එක් වෙන්නැයි සජිත්ට ආරාධනා කළා. නමුත් ඔහු ආවේ නැහැ. මට රනිල් රාජපක්ෂ කිව්වා. දැන් වෙලා තිබෙන්නේ මොකක්ද? රාජපක්ෂ නැතිව ආණ්ඩුව යනවා.
මේ චෝදනා කරන අය රට ගැන සිතා වැඩ කරපු කණ්ඩායමක් නොවේ. අප උද්ධමනය අඩු කළා. පරිප්පු මිල, තිරිඟු පිටි මිල අඩු කළා. කුකුල් මස්, ඩීසල්, ගෑස් මිල ආදී සියල්ල අඩු වුණා. අප දළ දේශීය ආදායම වැඩි කළා. මූල්‍ය අරමුදලේ මෙන්ම ආසියා සංවර්ධන බැංකුවේත්, ලෝක බැංකුවේත් සහාය ලැබුණා. ආර්ථිකය ඉදිරියට ගෙන ගියා. පඩි වැඩි කළා. දීමනා දුන්නා. අප රජයේ සේවකයන්ට රුපියල් දහ දාහක දීමනාවක් දුන්නා. විශ්‍රාමිකයන්ට මෙන්ම ආබාධිත විශ්‍රාමිකයන් සඳහා දීමනාව වැඩි කර තිබෙනවා. සමෘද්ධිය වෙනුවට අප අස්වැසුම දුන්නා. සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රශ්න අප විසඳාගෙන යනවා. එමෙන්ම නොමිලේ හාල් දුන්නා. පොහොර සහනාධාරය දුන්නා. එමෙන්ම උරුමය වැඩසටහන හඳුන්වා දුන්නා. බලපත්‍ර ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු දුන්නා. ජනාධිපතිවරණයෙන් පසුව ඉතිරි උරුමය ඉඩම් ඔප්පු ලබා දෙනවා. එමෙන්ම කොළඹ අඩු ආදායම් පවුල්වලට තට්ටු නිවාස ලබා දෙනවා. වතුකරයේ ලයින් කාමර වෙනුවට ගම්මාන බිහිකරනවා.
මේ රට ඉදිරියට ගෙනයන්න අප ස්ථාවර බව ඇති කළා. දැන් අප ජනාධිපතිවරණයක් පවත්වනවා. බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් ඡන්දය තියන්න බැහැ. මා එදා ක්‍රියා කළේ නැතිනම් ශ්‍රී ලංකාවත් බංග්ලාදේශයක් බවට පත්වෙනවා.
රනිල් වික්‍රමසිංහගේ පාලනය මෙයයි. අපි ඇති කළ ආර්ථික ස්ථාවර බව තහවුරු කරන්න අවශ්‍යයි. ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. ජනතාවට ජීවත් වෙන්න අවස්ථාව දිය යුතුයි.
එකවරක් කඩා වැටුණු රට නැවත හදන්න ශක්තිමත් පදනමක් දැමිය යුතුයි. පළමුවෙන්ම බලන්නේ අත්තිවාරම ශක්තිමත් කරන්නයි.
මූල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව සමඟ කතාකර ණය දෙන රටවල් 17ක් ද සමඟ අප සාකච්ඡා කර තිබෙනවා.
ඔවුන් සමඟ එකඟත්වයකට පැමිණ තිබෙනවා. මම උත්සාහ කරන්නේ මේ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ජනපතිවරණයෙන් වරමක් ගෙන ඉදිරියට යන්නයි.
ජීවන බර සැහැල්ලු කිරීම, රැකියා උත්පාදනය, ඉහළ වැටුපක් ලබාදීම, බදු සහන ලබාදීම මෙන්ම ආර්ථිකය පරිවර්තනය කර අපනයන ආර්ථිකයට යෑම මෙන්ම උරුමය සහ අස්වැසුම වැඩසටහන අප ක්‍රියාත්මක කිරීම අප කරනවා.
හැම වසරේම දළ දේශීය නිෂ්පාදනය වැඩි කර රුපියල ශක්තිමත් කිරීම අපේ අරමුණයි. රුපියල ශක්තිමත් වූ විට බඩු මිල අඩු වෙනවා. රුපියල 370 සිට 300ට පැමිණි විට බඩු මිල අඩු වුණා.
අනුර – සජිත් කියන්නේ කුමක්ද? බදු බර අඩු කරනවාලු. බදු නැතිව ආදායම හොයන්නේ කොහොමද? ඒක කියන්නේ නැහැ.
ගෝඨාභය කළේ කුමක්ද? බදු ආදායම අඩුකර ගත්තා. එමඟින් රාජ්‍ය ආදායම අඩු වුණා. රාජ්‍ය ආදායම අඩු කළොත් සහාය නොදෙන බව මූල්‍ය අරමුදල ද එදා පැවසුවා.
රුපියල ශක්තිමත් කිරීම සඳහා අප කැප වී සිටිනවා. වසර හතරක් තිස්සේ තරුණ තරුණියන්ට රැකියා ලැබී නැහැ. එන වසරේදී ආණ්ඩුවේ සහ පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂයක් තරුණ තරුණියන්ට ලබා දෙනවා. එමෙන්ම නවීන කෘෂිකර්මාන්තය වැනි අංශ සඳහා සහ ස්වයං රැකියාවලට ආධාර කරනවා.
කැමති වෘත්තීය පුහුණුවක් ලැබීමට තරුණ තරුණියන් පනස්දාහකට ආධාර කරනවා. ඔවුන්ට පිටරට රැකියා සඳහා සුදුසුකමක් ලබා ගැනීමට එම ආධාරය දෙනවා. සංචාරක කර්මාන්තය, කෘෂිකර්ම නවීකරණය මෙන්ම ධීවර කර්මාන්තය දියුණු කරනවා.
නිෂ්පාදන අංශය දියුණු කිරීමටත් කටයුතු කරනවා. මේ වැඩ කටයුතු මේ ප්‍රදේශයටත් බලපානවා. කෘෂි නවීකරණය නිසා මේ ප්‍රදේශයේ පොල් වගාව දියුණුවට පත්වෙනවා. එමෙන්ම මාදම්පේ ආර්ථික කලාපය ඇති කරනවා. බිංගිරියේ අක්කර දාහක ආයෝජන කලාපයක් තිබෙනවා. ඉරණවිල සංචාරක කලාපයක් තිබෙනවා. සංචාරක කලාපය සහ ආයෝජන කලාපය මැද ඩිජිටල් කලාපයක් ද ඇති කරනවා.
එමෙන්ම අප හලාවත ධීවර වරාය දියුණු කරනවා. එය ප්‍රධාන ධීවර වරායක් ලෙස දියුණු කළ යුතුයි. හලාවත ධීවරයන්ගේ නිෂ්පාදනය කෙළින්ම පිටරට යැවීම අපේ අරමුණයි. එමෙන්ම කටුනායක අධිවේගී මාර්ගය හලාවත තෙක් දීර්ඝ කිරීමට අප කටයුතු කරනවා.
එමෙන්ම කල්පිටියේද ධීවර වරායක් ඇති කිරීමට අප කටයුතු කරනවා. සංචාරක කර්මාන්තය මෙහි දියුණු කරනවා. කල්පිටියේ මෙන්ම ඉරණවිල සංචාරක කලාපයක් කිරීමට අදහස් කරනවා.
මෙරටට එන සංචාරක ප්‍රමාණය ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා වැඩි කරනවා. මෙවැනි වැඩසටහන් අනුරට හෝ සජිත්ට කරන්න පුළුවන්ද? ඔවුන් කයිවාරු ගසමින් නොයෙක් පොරොන්දු දෙනවා පමණයි.
මං අහන්නේ රෑ වැටුණු වළේ දවල් වැටෙනවාද? දැන් අපට උතුරෙන් මෙන්ම දකුණෙන් ද සහයෝගය ලැබෙනවා. අපි හැම පැත්තෙන්ම සහයෝගය ලබාගෙන සිටිනවා. ඒ නිසා අද සිට ගෙන් ගෙට යන්න පටන් ගන්න.
එක්සත් ජාතික පක්ෂයට මම වචනයක් කියන්න කැමතියි. සජිත්ට ඡන්දයක් ලබාදීම යනු අනුරට ඡන්දය ලබාදීම හා සමානයි.
සජිත් ප්‍රේමදාසට දැන් කිසිවිටක ජයග්‍රහණය කළ නොහැකියි. සජිත්ට ඡන්දය ලබාදීමේ වාසිය අත්වන්නේ අනුර දිසානායකටයි.
එම කාරණය එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවධාරණය කරනවා. එම නිසා රට ජයග්‍රහණය කිරීම සඳහා එක්ව කටයුතු කරමු යැයි සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරනවා.
උතුරෙන් මෙන්ම දකුණෙන් මට සහයෝගය ලැබෙනවා. ඒ නිසා අප එක්ව ජය ගමු.
හලාවත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධාක ස්ටීවන් ප්‍රනාන්දු මහතා-
අද පුත්තලම දිස්ත්‍රික්කයට විශේෂ දවසක්. අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හලාවතට පැමිණෙනවා. වෙන්නප්පුව, හලාවත, නාත්තන්ඩියේ ජනතාව පමණයි මෙතැන ඉන්නේ.
එතුමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසයි.
විපක්ෂ නායක සහ කයියනායක රට භාරගත්තේ නැති වෙලාවක රට භාරගත්තේ එතුමායි. වැඩක් කර රටට පෙන්නු නායකයා එතුමායි.
රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා-
රනිල් වික්‍රමසිංහ මහතා රට වැටී සිටි තැනින් ගොඩ ගත් නායකයා. ඒ බව කාටවත් අමතක කරන්න බැහැ. එතුමා එදා අපේ රටේ නායකත්වය භාර නොගත්තානම් අපේ රටත් බංග්ලදේශයක්, මාලදිවයිනක් වෙන්න තිබුණා.
ඒ තත්ත්වයෙන් අපේ රට බේරගත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි.
රටක් ගොඩනැගිය හැක්කේ පළපුරුද්ද, කළපුරුද්ද, දැනුම, ඉවසීම, ලෝකය පිළිගැනීම, විනය තිබෙන නායකයකුට පමණයි. ජනාධිපතිතුමා මේ සියලු උනන්දුවලින් යුක්තයි. එතුමාගේ නායකත්වයෙන් අපේ රට ඉදිරි වසර 5ටත් දියුණු රටක් බවට පත් කරගැනීමට මෙහෙයවිය යුතුයි. අනික් නායකයෙකුට ඒ හැකියාව නෑ. ඒ නිසාමයි අපි ජනපතිතුමා නැවත දින විය යුත්තේ.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්නේ මහතා-
රටේ මිලියන 22ක් ජනතාව ඉන්නවා. ඡන්දදායකයන් එක්කෝටි 71ක් ලක්ෂයක්. ඔවුන්ගෙන් සියයට අසූවක් ඡන්දය දෙන්නේ අපට. සමෘද්ධි ව්‍යාපාරයේ ප්‍රශ්න ගැන අද විසඳුම් කතා කරන අය වැරදි දේශපාලන නායකත්වයක් වටා ගොනුවී තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරය ප්‍රශ්න ඇති කරපු ජගත් කුමාර මහතා අද සජිත් ප්‍රේමදාස එක්ක සිටිනවා. සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. අපි එතුමා සමඟ එක්ක ඒ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනවා.
ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා-
රටේ කොච්චර ආර්ථික ප්‍රශ්න තිබ්බත් අපි අලුතෙන් ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය සේවයට එක් කළා. අලුතින් ගුරුවරු බඳවා ගත්තා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළා. මාර්ග පහසුකම් වැඩි දියුණු කළා. මේවා සඳහා මුදල් වියදම් කළේ ඉතාම අර පරිස්සමින්. අපේ ආර්ථිකය කළමනාකරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතා-
ලක්ෂ හැට නවයක් ජනතාව එදා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නා. සිංහල, දෙමළ, මුස්ලිම් ඡන්ද දුන්නා.
එතුමා මුස්ලිම් ජනතාව සමඟ ප්‍රශ්න ඇති කරගත්තා. අපේ භූමදාන කටයුතු සඳහා අවසර ඉල්ලුවා. එතුමා ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒක අපට කළ ලොකුම අගෞරවයක්. වත්මන් ජනාධිපතිවරයා ඒකටත් සමාව ගත්තා. වන්දි ගෙවන්නත් තීරණය කළා. එතුමා ඒ තරම් නම්‍යශීලී නායකයෙක්. අපේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දීමට රනිල් වික්‍රමසිංහ මහතා කැපවී සිටිනවා. එය අපට විශ්වාසයි.
පුත්තලම දිස්ත්‍රික් දේශපාලන නායක හිටපු ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා-
අරගලය සාධාරණයි. එදා සමාජ පීඩනය එන්න එන්නම වැඩි වුණා. ඒ නිසා මිනිස්සු පාරට බැස්සා.
නායකයන්ට සමාජ පීඩනය දැනුණේ නෑ. අපේ පක්ෂයේ නායකයෝ ඒවා ගණන් ගත්තේ නෑ.
එදා රට අරාජික වුණා. ඒ මොහොතේ ඒ අභියෝගය භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා ඉතා කෙටි කලකින් රට යථා තත්ත්වයට පත් කළා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී ඔහුට සහාය දිය යුතුයි.
ජයසිරි මුණසිංහ සහ ආරියරත්න ගනේගොඩ
ඡායාරූප- රංජිත් අසංක