10
වීරෝදාර රණවිරුවන් දහස් ගණනක් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කර ගත් අප මාතෘ භූමිය ඒකීය රටක් ලෙස ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවැසුවේ වලස්මුල්ල පොළ භූමියේදී පෙරේදා (01) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වලස්මුල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ ආසනයට ඇවිත් දීර්ඝ දේශපාලන කතාවක් කරන්න අවශ්‍ය නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වගේම නිරන්තරයෙන් රාජපක්ෂවරුන් සමඟ බැඳුණු දේශපාලනයක් ගොඩනැඟුණු මවුපියන් සහ දරුවන් මේ ආසනයේ ජීවත් වෙනවා. අපි මේ ගමට හානියක් කර නෑ. අපි හැමදාම තීන්දු තීරණ ගත්තේ රට ගැන හිතලා. අපි මේ රටට ආදරය කරන දේශපාලන බලවේගයක්. දකුණේ ඔබ සියලු දෙනාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ මේ රට එක්සේසත් කරන්න කටයුතු කළා. එදා මුලින්ම නායකත්වය දුන්නේ මේ මුල්කිරිගල ආසනයේ නියෝජිතයන්. අපට වැඩපිළිවෙළක් තිබෙනවා. අපට දැක්මක් තිබෙනවා. අපි දේශපාලන කරන්නේ මේ මාතෘ භූමිය ගොඩනඟන්න. අපට වෙන අරමුණක් නෑ. අද මැතිවරණ වේදිකාවල තරගෙට පොරොන්දු දෙනවා. මෙච්චර කල් කිව්වා සල්ලි නැති නිසා පඩි වැඩි කරන්න විදිහක් නෑ කියලා. දැන් මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කියලා එක්කෙනෙක් කියනවා. අවුරුද්දකට සැරයක් පඩි වැඩි කරනවා කියලා තව කෙනෙක් කියනවා.
මම පොරොන්දු වෙනවා, රටේ උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සේවකයා වගේම පෞද්ගලික අංශයේ වැඩ කරන පිරිසටත් සාධාරණ වැටුපක් දීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව මොන ආණ්ඩුව බලයට ආවත් ක්‍රියාත්මක කරනවා කියලා. අපට බොරු කියන්න බෑ. රටේ උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි වෙන්න ඕනෙ. පෞද්ගලික අංශයෙත් අවම වැටුප රුපියල් 35,000කට යන්න ඕනෙ. ඒ ප්‍රතිපත්ති තීන්දුව අපි ක්‍රියාත්මක කර දෙන්නම්. මැතිවරණය ළං වෙනකොට මැතිවරණ වේදිකාවට ඇවිත් කරන්න බැරි පොරොන්දු දෙනවා වෙනුවට පැහැදිලිවම පුළුවන් දේ පුළුවන් කියන්න ඕනෙ. බැරි දේ බෑ කියන්න ඕනෙ. අද අපි දකිනවා උතුරේ ඡන්ද ගන්න ඕනෙ වෙනකොට බලය බෙදනවා, රට බෙදනවා ආදී හැම දෙයක්ම කියනවා. අපි පැහැදිලිවම කියනවා, මේ රටේ රණවිරුවා ජීවිත පූජා කර ගත් නිදහස, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ එකතු වෙලා එක්සේසත් කළ රට කිසිම හේතුවක් නිසා බෙදන්න ඉඩ තියන්නේ නෑ කියලා.
අපේ රටේ දේශීය ආර්ථිකය අපි දියුණු කරන්න ඕනෙ. ගමේ ගොවියා, ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා අපි ශක්තිමත් කරන්න ඕනෙ. එදා හම්බන්තොට වරාය හදලා, අධිවේගී මාර්ග හදලා, ක්‍රීඩා ගම්මාන පිහිටෙව්වේ ඇයි? මේ රටේ ජීවත් වන අහිංසක අම්මගෙ තාත්තගෙ දරුවට නූතන ලෝකයේ රැකී රක්ෂාවලට යන්න පුළුවන් වපසරියක් හදන්න. කොතලාවල ආරක්ෂක පීඨය විශ්වවිද්‍යාලයක් ගෙනාවෙ ඇයි? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සාගර විශ්වවිද්‍යාලය පටන් ගත්තෙ ඇයි? අපට දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබුණා. අපි විශ්වාස කළා අපේ රටේ ගම්වල ඉන්න අම්මගෙ තාත්තගෙ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනෙ කියලා. මහින්ද්යෝදය විද්‍යාගාරය, තාක්ෂණ පීඨය හරහා තාක්ෂණ ක්ෂේත්රයට මේ රටේ දරු පරම්පරාව යොමු කළා. ඒ විතරක් නෙමෙයි, අපට ඉලක්කයක් තිබෙනවා ඉදිරි අවුරුදු පහ දහය ඇතුළත මේ රටේ දේශීය සහ විදේශීය රැකියා අවස්ථා ලක්ෂ 20ක් නිර්මාණය කරන්න.
දරුවන්ට හොඳ රැකියාවක් කරන්න පුළුවන් පරිසරයක් අපි හදනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සෙ කැමති අයට උසස් පෙළ කරන්න පුළුවන්. වෘත්තිකයෙන් වෙන්න කැමති, ව්‍යවසායකයෙක් වෙන්න කැමති, නිපුණතාවෙන් ඉදිරියට යන්න ඕනෙ නම්, කෘෂි කර්මාන්තයෙන්, ධීවර කර්මාන්තයෙන් ඉදිරියට යන්න ඕනෙ නම් ඒ දරුවන් ඒ සඳහා යොමු කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු අපි ගන්නවා. අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් අපි කරනවා. ඒ තුළ තාක්ෂණයත් සමඟ බද්ධ වූ අනාගත පරම්පරාවක්, ව්‍යවසායකයෙක්, නූතන පරපුරත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් තරුණයෙක් බිහි කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි මේ රටේ යථාර්ථයක් බවට පත් කරනවා. අපේ ගමන තිබෙන්නේ ජනතාව එක්කයි. සමහර දේශපාලන නායකයන් හිතනවා, ඔවුන් නිසා ජනතාව ඉන්නවයි කියලා.
හැමෝම දේශපාලනය කරන්නෙ ජනතාව, පාක්ෂිකයන් සහ ප්‍රතිපත්ති නිසයි. ජනතාව තමයි අපව පත් කරන්නෙ. ජනතාව තමයි නායකයන් හදන්නෙ. සමහර වෙලාවට පාලකයන්ගේ පිල් මාරු වුණත් ජනතාව මාරු වෙන්නේ නෑ. ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්නත්, ශ්‍රී ලංකා භූමිය ජයග්‍රහණය කරා රැගෙන යන්නත් අවශ්‍ය දේශපාලනික, ප්‍රතිපත්තිමය තීන්දු අපි ගන්නවා. අපි මේ රට හදනවා. හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගත් කාර්මික ජනපද අපි නැවත පටන් ගන්නවා. හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගත් නාවික ව්‍යාපෘති නැවත වතාවක් ආරම්භ කරනවා. මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර ගත් සංචාරක ව්‍යාපාරය, භාණ්ඩ හුවමාරුවට අවශ්‍ය වැඩපිළිවෙළ අපි නැවත වතාවක් ආරම්භ කරනවා.
ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. සමහර වෙලාවට කියනවා පොහොට්ටුව දැන් වැඩක් නෑ කියලා. පාක්ෂිකයන්ගෙන් රැස්වීමට යන්නේ ඇයි? ඡන්දෙ දෙන්නෙ ඇයි කියලා අහනවා. අපට විශ්වාසයි, මේ රටට ආදරය කරන ජනතාව සැප්තැම්බර් 21 වැනිදා උදේ පාන්දරින්ම ගිහින් පොහොට්ටුව ඉස්සරහින් කතිරෙ ගහලා මේ මාතෘ භූමියේ නතර වූ සංවර්ධනය නැවත වතාවක් ආරම්භ කරන්න අවශ්‍ය දායකත්වය දෙනවා කියලා.”
හම්බන්තොට දිසාවේ රුහුණු ගිරුවාපත්තුවේ අධිකරණ සංඝනායක බෝවල ඥානවිමල නාහිමි
“පසුගිය යුගයන් හා සසඳන විට අපි ආඩම්බර වන එකම තැන තමයි 2005 – 2015. අපේ ජීවිත කොතරම් තර්ජනයට ලක්වුණාද කියා අපි දන්නවා. තිස් වසරක යුද්ධය ආරම්භ වූ පසුව අපේ ගමට තරුණ තරුණියන්ගේ මළමිනී රැගෙන ආවා. ලෝකයේ කිසිවකුට පරාජය කරන්න බැහැයි කියූ ත්‍රස්තවාදය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඒ මහතා කිසිවකුට කොන්ද නැමුවේ නෑ. සිංහලයන් විදේශීය නායකයන්ට කොන්ද නැමුවේ නෑ. මහින්ද රාජපක්ෂ මහතාට ඒ ශක්තිය තිබුණා. එදා බ්‍රිතානය සහ ප්‍රංශ විදේශ ඇමැතිවරුන් ලංකාවට පැමිණි පසුව ඇඹිලිපිටියට එන්න කිව්වා. මහින්ද රාජපක්ෂ මහතාට පෙර මේ යුද්ධය අවසන් කරන්න නොහැකි වුණේ හොඳ නායකත්වයක් නොතිබූ නිසයි. විදෙස් රටවල් ඉදිරියේ දණ ගැසුවා. ඒ නිසා අපේ තරුණ තරුණියන් අපට අහිමි වුණා. 1988 යුගය අපට මතකයි.”
විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා
“අද මේ ආසන සම්මේලනයට විශාල පිරිසක් සම්බන්ධවී සිටිනවා. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම වැඩ කොටසක් සිදු කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා. සෑම අංශයකම සංවර්ධනයක් ඇති කළා. එදා අපේ දිස්ත්‍රික්කය 18 වැනි ස්ථානයේ සිටියේ. නමුත් අද වන විට පළමු ස්ථාන තුනේ හම්බන්තොට දිස්ත්‍රික්කය ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ මේ සංවර්ධනය සිදු වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ රැකියා විශාල ප්‍රමාණයක් දුන්නා. මුල්කිරිගල ආසනය ගත්විට විශාල දියුණුවක් දකිනවා. එදා ගම්මිරිස් මිල පිළිබඳ ප්‍රශ්න තිබුණා. කරුංකා ඉතාම අවම මිලකට තිබුණා. වියට්නාමයෙන් ගම්මිරිස් ගෙනත් ප්‍රතිඅපනයනය කළා. නමුත් අපි ඒක කරන්න දෙන්නේ නෑ කිව්වා. අද ගම්මිරිස් කිලෝව 2000ට යනවා. කුරුඳු අද 3000ක් වෙනවා. කරුංකා රුපියල් 900ක් පමණ වෙනවා. අපි ජාවාරම් නතර කළා. එදා යහපාලන ආණ්ඩුව ප්‍රතිඅපනයනය කරමින් සිදු කළ ජාවාරම නතර කළා. මීට මාස කිහිපයකට පෙර නැවතත් ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරන්න සූදානම් වුණා. නමුත් අපි රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගමන් කරන්නේ. නාමල් රාජපක්ෂ මහතාට වැඩපිළිවෙළක් තිබෙනවා. මහින්ද මහත්තයා වගේම වැඩ කරනවා.”
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ සහ දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී. වී. උපුල් මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලීලාරත්න, උප සභාපති අනුර අල්විස් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර මුල්කිරිගල සිට
ඡායාරූප – සුලෝචන ගමගේ