Home Politics News Room : ජනවරම ගැන කියපු ජේ. ආර්

News Room : ජනවරම ගැන කියපු ජේ. ආර්

1
0

1977 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය අප සඳහන් කර ඇත. ස්වාධීන වූත් ධර්මිෂ්ඨ වූත් රජයක් බිහිකරලීමට පොරොන්දු දෙන ප්‍රකාශනයක් කොට එක්සත් ජාතික පක්ෂය ආසන 168කින් වාර්තාගත බහුතරයක් එනම් 140ක් ම දිනාගෙන ජයග්‍රහණය අත්කර ගත්තේය.

අවුරුදු 2500ක් පමණ අඛණ්ඩව, වාර්තාගත ඉතිහාසයක් අපි සැකෙවින් දැක්වීමු. යම් යම් රජවරුන්ගේ රාජ්‍ය කාලයන් අනුව සිදුවීම් නොදක්වා අප කර ඇත්තේ ඓතිහාසික යුග අනුව ඒ සිදුවීම් ඉදිරිපත් කිරීමයි. අනුරාධපුර සහ පොලොන්නරු යුගය, දඹදෙණි සහ ගම්පොළ යුගය, ජයවර්ධනපුර කෝට්ටේ යුගය, කන්ද උඩරට යුගය සහ බ්‍රිතාන්‍ය යුගය ආදී වශයෙන් අප විසින් යුග හඳුන්වා දී තිබේ.

මුල්කාලීන යුගවල පොදු දේ බොහෝය. එහෙත් අගනුවර පොලොන්නරුවේ සිට දඹදෙණියට ද, ගම්පොළ සිට ජයවර්ධනපුර කෝට්ටේට ද මාරු වී, රජරට තිබුණු පෞරාණික වාරිකර්මාන්ත පද්ධතිය බිඳ වැටී ගිය විට ඒ සියල්ලෙහිම වෙනසක් සිදු විය. දකුණු ඉන්දියානු ආක්‍රමණ නැවතී තිබුණ ද ඊට වඩා බලගතු සතුරෝ බටහිර දෙසින් කඩා වැදුණාහ. පළමුව පෘතුගීසීහු ද පසුව ලන්දේසීහු ද පැමිණියහ. අවසානයේ දී ජයවර්ධනපුර කෝට්ටේ අත්හැර දැමීමට සිදු වී තිබුණු අතර අන්තිම සිංහල රාජ්‍යය පැවතියේ මහනුවරයි. අප කලින් පැවසූ පරිදි 1815 උඩරට ගිවිසුමෙන්, ඒ රාජ්‍යය ද බ්‍රිතාන්‍යයන් අතට පවරනු ලැබිණි.

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පැමිණීමත් සමඟම ජන ජීවිතයේ සෑම අංශයකම එනම් පාලනයෙහි, ආගමෙහි, කෘෂිකර්මයෙහි සහ සමාජ ජීවිතයෙහි විප්ලවකාරී විපර්යාසයක් ඇති වීමට කරුණු යෙදුණි. අතීතයේ සිට වර්තමානය කරා ඇති වූ වේදනාකාරී සංක්‍රාන්තියෙහි දී සිදු වූයේ, බෞද්ධාගම සහ වෙනත් ආගම් ද ජාතික සංස්කෘතිය ද මුලින් පරිහානියට පත් වීමයි. එහෙත් ඒවා සම්පූර්ණයෙන් විනාශ නොවීය. පසුව පුනර්ජීවයක් ලැබීය. වාරි කර්මාන්තය මත පදනම් වූ සහල් නිපැයුමට මුල් තැන දුන් වී ගොවිතැන අතුරුදන් වී තිබුණි. කෙළීන්ම මෝසම් වැසි පිහිට කොට ගෙන වී නිෂ්පාදනය කිරීම සිදු වුවත්, එවැනි නිෂ්පාදනයක් ප්‍රමාණවත් නොවීය. විශාල පරිමාණයක සහල් ගෙන්වීම ආරම්භ කෙරුණු අතර අපනයන බෝග නිෂ්පාදනය කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් කුලී කම්කරුවෝ ගෙන්වන ලදහ. වෙනත් රටවල ඇති ‘ගෙටෝ’ නම් මුඩුක්කුවලට සමාන කළ හැකි “ලයින්” යනුවෙන් හැඳින්වුණු අඳුරු පේළි ගෙවලින් හිමිදිරි පාන්දර පිට වූ මේ කුලීකරුවෝ මුළු දවස පුරාම තේවතුවල කොළ පැහැති බෑවුම්වල වැඩෙහි යෙදෙමින් ඉතා පරිස්සමින් තේ දලු නෙළා බෑවුම් අලංකාර කළහ. මේ “රටක් දැයක් නොමැති” ගැටලුවේ උපතයි.

කෙසේ වුවත් මෙහි ප්‍රසන්න පැත්තක් ද නොතිබුණා නොවේ. සර්වජන ඡන්ද බලය, 1931 පසුව ඡන්දයෙන් තෝරනු ලැබූ මැති ඇමැතිවරුන්, 1948 පසුව ස්වාධීනත්වය, ආදී දේ මහත් ප්‍රතිලාභ ඇති කර තිබිණි. නිදහස් අධ්‍යාපනය ජාතික භාෂා යළි ප්‍රකෘතිමත්කොට නිසි තැනට පත් කිරීම, නොමිලේ සැපයුණු සෞඛ්‍ය සේවාවන්, මධ්‍යම ආණ්ඩු සහ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, වර්ගයක්, ආගමක්, කුලයක් අනුව නොව, සුදුසුකම් සහ යෝග්‍යතාව අනුව සේවයට බඳවා ගැනීම සහ සියල්ලන්ටම වඩා සෙසු ලෝකයේ මිනිසුන් සමඟ එක්වී බුක්ති විඳීමට හැකි නූතන නව නිෂ්පාදන සහ ඒවායේ පහසුකම් බිහිවීම ද ඒ ප්‍රසන්න පැත්තයි. හොඳට හෝ නරකට හෝ ශ්‍රී ලංකාවද ලෝක ශිෂ්ටාචාරයේ මහා ගංගාවට ඇතුළු වී, ඉමහත් බලාපොරොත්තු සහිතව විසි එක්වන ශත වර්ෂය කරා ගමන් කරමින් සිටියේය.

1948 සිට 1977 දක්වා

මුලින්ම මැතිවරණයකින් පත් වූ ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය යටතේ පැවති සභාග රජයකි. එහි අගමැතිතුමා වූයේ ඩී. ඇස්. සේනානායක මහතාය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා, පළාත් පාලන ඇමැති ධුරය දැරූ අතර, ඩඩ්ලි සේනානායක මහතා කෘෂිකර්ම ඇමැති ධුරය දැරීය. ‘මම ඒ රජයේ මුදල් ඇමැති ධුරය දැරුවෙමි. දේශපාලන වශයෙන් ළඟාකර ගැනීමට අපට වෙනත් අරමුණු නොවීය. කතා කිරීමේ සහ රැස්වීමේ නිදහස අපට තිබුණි. බහුපාක්ෂික පදනමක් මත නිසි කලට පැවැත්වුණු මැතිවරණ සහ කැබිනට් මණ්ඩල පාලනයක් තිබුණි. අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වූ අතර, නොබැඳි රටවල් සමූහ සංවිධානයේ මුල් සාමාජිකයෙකු ද වීමු.’

මෙම ප්‍රතිලාභ යටිකූට්ටු ව්‍යාපාර මඟින් වැනසීමට උත්සාහ දරන ලදි. එහෙත් 1962 කුමන්ත්‍රණය ද, 1971 ජනතා විමුක්ති කැරැල්ල මෙන්ම අසාර්ථක විය. සමස්තයක් වශයෙන් ගත් කළ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක විය. කෙසේ වතුදු 1970 – 77 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ නියම කාලසීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල සීමාවන් ඉක්මවා දීර්ඝ කෙරිණි. අවුරුදු හයක කාලයක් නොකඩවා ම හදිසි අවස්ථා තත්ත්වක් පවත්වා ගන්නා ලදි. පළාත් පාලන ආයතන මැතිවරණ තාවකාලික වශයෙන් අත්හිටුවා තිබිණි.

එනමුදු මේ දිවයින අද එහි වෘත්තාන්ත ගත වූ අවුරුදු 2500ක ඉතිහාසයේදී ම නොදත් මාදිලියේ දේශපාලන නිදහසක් භුක්ති විඳී. ආගම, වර්ගය, කුලය හෝ පවුල අද උන්නතිය ලබා දෙන බලපතක් නොවේ. ඒවා පුද්ගලයෙකුගේ ප්‍රගතියට බාධාවක් ද නොවේ. වැඩවසම් සමාජයක් නූතන සමාජයක් ලෙස පරිවර්තනය වී ඇති සෑම ආගමක් ම විශේෂයෙන් ම බෞද්ධ ශාසනය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කොට ඇත. මෙරටෙහි ද විදේශ රටවල ද බුද්ධ ධර්මය පැතිරවීමේ ප්‍රයත්න සඳහා බෞද්ධ ශාසනයට රජයේ නොමසුරු ආධාර ලැබේ.

ශ්‍රී ලංකාව අතීතයේ දී කෘෂිකාර්මික සමාජයක් විය. එය සෑම කල්හිම එසේ පැවතිය යුතු ද විය. එසේ වුව ද රාජධානිය රජරටින් ඉවත් වූ විට සහ පෞරාණික වාරිමාර්ග පද්ධතිය අත්හැර දැමූ විට ඒ සමාජය ක්‍රමයෙන් පිරිහිණි. 1931න් පසුව ඩී. ඇස්. සේනානායක මහතා කෘෂිකර්මාන්ත ඇමැති වූ විටයි. මේ රටේ වාරිමාර්ග පද්ධතිය සහ ඒ ආශ්‍රිත කෘෂිකර්මාන්තය දියුණු කිරීමට දැඩි ප්‍රයත්නයක් මෙන් ම අඛණ්ඩ උත්සාහයක් ද දරන ලද්දේ, එම ප්‍රයත්නය සාර්ථක විය. 1960 දශකය වන විට සෑම වැවක් ම ඇළක්ම පාවිච්චියට ගත හැකි තත්ත්වයකට පත් කෙරුණු අතර, ගැමි ජනතාව රජරට පැරණි කෙත්වතුවල සීසෑම කොට, වී වපුරා, අස්වැන්න නෙළා ගත්හ. යටත් පිරිසෙයින් තාවකාලික වශයෙන්වත් මැලේරියාව මර්දනය කරන ලදි. ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වීම කරා මඳ වේගයෙන් යන ගමන අරඹා තිබුණි. ඩී. ඇස්. සේනානායක මහතාගේ පුත් ඩඩ්ලි යටතේ ආණ්ඩුව පැවති කල්හි පළමුවෙන් ක්‍රියාත්මක වූ නව වාරිමාර්ග ක්‍රමය ආරම්භ විය. මෙය ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයයි. එහි වැඩ 1950දී අවසන් විය. මෙය ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයයි. එහි වැඩ 1950දී අවසන් විය. ඒ වන විට මා මුදල් ඇමැති ලෙස කටයුතු කළ අතර, අපේ ම සම්පත්වලින් අවශ්‍ය මුළු මුදල ම සපයා දීමට මම සමත් වූයෙමි.

1977 ජන වරම

1977 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය අප සඳහන් කර ඇත. ස්වාධීන වූත් ධර්මිෂ්ඨ වූත් රජයක් බිහිකරලීමට පොරොන්දු දෙන ප්‍රකාශනයක් කොට එක්සත් ජාතික පක්ෂය ආසන 168කින් වාර්තාගත බහුතරයක් එනම් 140ක් ම දිනාගෙන ජයග්‍රහණය අත්කර ගත්තේය. එම ප්‍රකාශනයට ඇතුළු වූ ප්‍රතිපත්ති සමූහයේ මුල් තැන ගත් අරමුණ වූයේ පෙර ආණ්ඩුව පැවති කාලයේ තිබුණු දැඩි බාධකවලින් මෙරට මුදාගෙන නිදහස් මාර්ග කරා, අලුත් ක්ෂිතිජයන් කරා යොමු කිරීමයි. නොතකා හරින ලද පුද්ගලික අංශය ද නිදහස් වෙළෙඳ බලවේග ද යළි වැදගත් තැනකට පත්ව කටයුතු කරනු ඇත. නම්‍යතාවක් ඇතිව වඩා යථාර්ථවාදී විනිමය සහ පොලී අනුපාත නියම කිරීම, ආනයන පිළිබඳ ලිහිල් කිරීමක් හඳුන්වා දීම, මිල පාලනය නවතා දැමීම සහ තීරුබදු ප්‍රතිසංස්කරණ ඇතිකිරීම ද යන සැමටම වඩා වැදගත් වූ ප්‍රතිපත්තියක්, එනම් පරිභෝජනයට නොව ආයෝජනයට අවධානය මාරු කිරීම යන ප්‍රතිපත්ති සමූහය එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනාකොට ක්‍රියාත්මක කරන ලදි. අප කලින් ද සඳහන් කළ පරිදි 1931 – 1960 අතර කාලයේ දී රජරට පිහිටි පැරණි වාරිමාර්ග, වැව් සහ ඇලමාර්ග ප්‍රකෘතිමත් කර තිබිණි. එහෙත් ඩී.ඇස්. සේනානායක මහතාගේ තවත් සිහිනයක් විය. එනම් මහවැලි ජලාශය උපයෝගීකොට ගෙන උතුරු මහා තැනිතලාවට වුවමනා සම්පූර්ණ ජල ප්‍රමාණය සපයා දීමයි. පිළිවෙළින් පත් වූ ආණ්ඩු මේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට දැරූ ප්‍රයත්නය උච්ච අවස්ථාවට පත් වූයේ, සියලුම වේලි අවුරුදු හයක දී නිම කිරීමට තීරණය කළ කඩිනම් මහවැලි ව්‍යාපාරය මඟිනි. මේ අනුව කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, උල්හිටිය සහ මාදුරුඔය යන ව්‍යාපෘති අවසන් කිරීම පිණිස දැන් ශීඝ්‍ර‍ෙයන් කටයුතු කෙ රේ. කිරිඳිඔය, ඉඟිනිමිටිය, නිල්වලා ගඟ සහ ගිං ගඟ අලුත් මහා වාරිමාර්ග ව්‍යාපාර වෙති. මේ හැර ග්‍රාමීය වාරිමාර්ග ශත සහස්‍ර සංඛ්‍යාවක් ප්‍රකෘතිමත්කොට පැරණි කාලයේ ඒවායෙන් ලත් ප්‍රයෝජන යළි ලබා ගැනීමට හැකි වන ලෙස කටයුතු කරනු ලැබේ.

එසේ අප කර ඇත්තේ අපේ මුතුන් මිත්තන්ගෙන් ලත් උරුමය පිළිබඳව සාධාරණය ඉටු කිරීම පමණක් නොව, ඉන් ඔබ්බට ද ගොස් අලුත් කාර්යසාධනයක් කරා ගමන් කිරීමයි.

සංස්කෘතික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් යටතේ පැරණි ස්මාර්ක යළි ප්‍රකෘතිමත් කෙරේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙයි. බෞද්ධ ශාසනයට සමෘද්ධිය ළඟාකර ගැනීමට හැකි වී ඇත. එහි ධර්මදූත කටයුතුවලට රජයේ නොමසුරු ආධාර ලැබේ. කුමන කටකතා පැවතියත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රජ කරයි. මැතිවරණයෙන් තෝරා පත්කර ගත් ජනාධිපතිතුමාට ද ව්‍යවස්ථාදායක මණ්ඩලයට ද ඔවුන්ට නියමිත කාලය තුළ තම කාර්යය ඉටු කිරීමට ආරක්ෂාව සැලසී ඇත.

රජය පෙරළීමට කැස කවන ඇතැම් දේශපාලනඥයන්ගේ හා තම දේශපාලන හා කූට ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට වෙර දරන ඡන්දදායකයන්ගේ ද හවුලෙන් කිසිදු බාධාවක් නොමැතිව පීඩාවක් නොලබා රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු වෙයි. කෙසේ වුවද සාමාන්‍ය‍ෙයන් නියමිත දිනවලට පැවැත්විය යුතු මැතිවරණ ජනමත විමසුමක ප්‍රතිඵලයකින් ප්‍රකාශවීමෙන් මුළුමහත් ජනතාවගේ අනුමැතියෙන් තාවකාලිකව කල් දැමීමට හැකි විය. මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න අධිකරණය මඟින් විසඳා ගත හැකිය.

මේ සියලුම උපක්‍රම මඟින්, අප ආර්ථිකයේ අවිහිංසාවාදී විප්ලවයක් ඇතිවීමට කරුණු යෙදෙමින් තිබියිදී 1978 – 1979 වර්ෂවල සියලු ආනයන භාණ්ඩ සඳහා වූ මිල ඉතා අධික ලෙස ඉහළ වූයේ බල ශක්තිය සඳහා වැය වූ මිල කාර්මික රටවල ද බෙහෙවින් වැඩිවිය. උද්ධමනය, අධික පොලී අනුපාතය, අස්ථිර විනිමය අනුපාතය, රැකියා විරහිතභාවය සහ ආර්ථික පසුබැස්ම එම රටවල ආර්ථිකයන් කෙරෙහි ද අහිතකර ලෙස බලපාන්නට විය. එහෙත් අපට වැදගත් වූයේ මේ කරුණයි. එනම්, ලෝක වෙළෙඳපොළේ අපේ ප්‍රාථමික නිෂ්පාදන සඳහා ලැබුණු මිල ආනයනය කෙරුණු භාණ්ඩවල මිල හා සමාන තත්ත්වයකින් නොපැවතීමයි. සම්පූර්ණයෙන්ම අහිතකර වූ මෙවැනි වාතාවරණයක අපනයනයට නැඹුරු වූ අපේ ආර්ථිකයට තම පැවැත්ම සඳහා බලවත් සටනක යෙදෙන්නට සිදු විය.

එහෙත් පුදුමය වන්නේ අප දක්වා ඇති නම්‍යතාවයයි. ශ්‍රී ලංකාවේ 6%ක දළ ජාතික නිෂ්පාදනය නොදියුණු ජාතීන් බොහොමයකගේ ඊර්ෂ්‍යාවට ලක්වී ඇත. ලෝකයේ සහල් මිල හා සීනි මිල දෙගුණයකට වඩා ඉහළ ගියේය. තිරිඟු

පිටි හා සියලුම වර්ගයේ රෙදිපිළිවල මිල මීටත් වඩා ඉහළ නැඟ තිබුණි. කෙසේ වෙතත් 1986 වන විට ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිවිශාල සංවර්ධන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම පාහේ අවසන් කරමින් අධෛර්යවත් නොවී දිගටම අපේ වැඩකටයුතුවල නිරත වූයෙමු.

සමස්ත ලෝකයේම ස්වාභාවික ලක්ෂණයක් බවට පත් වී ඇති ත්‍රස්තවාදය උතුරු නැඟෙනහිර පෙදෙස්වල හිස ඔසවමින් තිබුණි. ඇතැම් ද්‍රවිඩ ජාතිකයෝ වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහා ත්‍රස්තවාදීන් හට එක්වූහ. 1980 වන විට ත්‍රස්තවාදී කටයුතු වර්ධනය වූ අතර 1983 දී සිංහල භටයන් කීපදෙනකු උතුරේදී මරුමුවට පත් කිරීමෙන් අනතුරුව දිවයින පුරාම සිංහල දෙමළ කෝලාහල ඇතිවිය. අවාසනාවකට මෙන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් බිහිවූ ගැටලු තවමත් පැවතෙන අතර ඒ නිසා මහා ධන සම්භාරයක් හා මිනිස් ජීවිත ද විනාශ වීය.

ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රචිත

ස්වර්ණ සූත්‍ර ග්‍රන්ථයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here