Home Politics News Room : පවුල ඇතුළේ සිදු වූ ඡන්ද ගැටුමක්

News Room : පවුල ඇතුළේ සිදු වූ ඡන්ද ගැටුමක්

2
0

මා මේ ලියන්නේ 1960 මාර්තු මහ මැතිවරණ සමයේ අප පවුල තුළ සිදු වූ සිදුවීමක්.

ඒ වන විට මගේ වයස අවුරුදු 12 යි. අප පදිංචිව සිටියේ අම්බලන්ගොඩ නගරයට යාබද මාදම්පේ, ඌරවත්ත ග්‍රාමයේ පිහිටා තිබූ අපගේ මහ ගෙදර. අපගේ ඉඩමේ බටහිර මායිම වුණේ රේල් පාර. ඊට යාබදවම කොළඹ – ගාල්ල මහ මාර්ගය පිහිටා තිබුණා. අපගේ ඉඩම පර්චස් තිස් ගණනකින් යුක්තයි. එය බෙදුම් නඩුවකින් අපේ මුත්තාට හිමිවූවක්. මුත්තා එය සින්නක්කර ඔප්පුවකින් අපේ අම්මාට ලියා දීල තිබුණ. අම්මා මුත්තාගෙ ලොකු දුව වුණා. ඒ අනුව ඒ ඉඩමේ ඒකායන අයිතිකරු වුණේ අපේ අම්මා. නි‍ෙවස වටාපිටාවේ පදිංචිවෙලා හිටියෙ අම්මගෙ ආසන්නම නෑදෑයො.

අම්මගෙ නෑදෑයො සියයට අනූවක් විතරම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. යූඇන්පී කාරයොත් එක්කෙනෙක් දෙන්නෙක් උන්නා. අපේ මුත්තයි, මාමයි තව ඥාතීන් කීප දෙනෙකුයි කොමියුනිස්ට්කාරයෝ. අපේ අම්මා පට්ට ශ්‍රී ලංකාකාරි. වැඩියෙන්ම ගෙදරට ඇන්දෙ නිල්පාට සාරිමයි. අපේ තාත්තට නිශ්චිත දේශපාලන පක්ෂයක් නැහැ. හැම පැත්තෙම වැරදි තමයි තාත්තට පෙනුණෙම. හැබැයි තාත්තගෙ දේශපාලන වීරයො තමයි පිලිප් ගුණවර්ධන, සී.පී. ද සිල්වා හා ඩබ්ලිව්. දහනායක යන මහත්වරු. මමත් පුංචි ඇටිකිච්චෙක් වුණාට මටත් දේශපාලන වීරයෙක් හිටිය. ඒ තමයි ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්තයා. ඒ පැත්තට හිටියෙ තවත් එක නෑයෙක් විතරයි.

ඒ තමයි කළු බාප්පා. ලොකු මිනිස්සු දේශපාලනේ කතා කරන අස්සෙ මම මගේ වීරයා වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා ගුටිකාලා අඬ අඬා පල්ලම් බැහැපු අවස්ථාත් තිබුණා.

ඒ කාලෙ ගෙවල්වල කොඩි, බැනර්, කටවුට් වගේ දේවල් ප්‍රදර්ශනයට කිසිම තහනමක් නැහැ. ඉතින් හැම නි‍ෙවසකම වගේ අඩුම තරමින් තමන්ගෙ පක්ෂයේ පාට කොඩියක්වත් සවි කරලා තිබුණා.

අපේ ගෙදර තිබුණෙ රේල් පාරට යාව නිසා ලොකු බැනර් එකක් දැම්මොත් දුම්රියේ හා ගාලු පාරෙ යන අයටත් හොඳට පෙනෙනවා. අපේ අම්මාගෙ මාමලා කිහිප දෙනෙක් නිල්පාට ලොකු බැනර් එකක් අන්දවාගෙන ආවා. ඒ ඥාතීන්ට අපි කිව්වෙ විලී මුත්තා, ඇල්බට් මුත්තා, ජීනිස් මුත්තා, විල්බට් මුත්තා කියලා. ඒ බැනර් එක අපේ වත්තෙ රේල් පාරට ආසන්න පොල් ගස් දෙකක ගැටගහන්න ඒ මුත්තලා ක්‍රියා කළේ අපේ අම්මගෙ පූර්ණ අනුමැතිය ඇතිව. බැනර් එක හරි විශාලයි. එහි දෙකෙළවරේ ලොකු අත ලකුණු දෙකක් තිබුණා. එහි මැද්දෙ විශාල අකුරුවලින් මෙහෙම ලියලා තිබුණා Òපොදු ජනතාවගේ සැපත සැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණට ජයවේවාÓ කියලා.

බැනර් එක සවි කළ දවසට පස්සෙන් ද, උස්මුරුත්තාවටම කේන්ති ගිය අපේ මුත්තා ඇවිල්ලා අම්මාට බණින්න පටන් ගත්තා. මුත්ත අම්මට කතා කරන්නෙ ලල්ල කියලා.

Òලල්ලො මේ ඉඩම උඹට දුන්නෙ මම. එහෙව් එකේ උඹ මට විරුද්ධව මෙහෙම ලොකු කොඩියක් දාපු එක වැරදියි. උඹ දැන් වහාම මේ කොඩිය ගලවන්න ඕන.Ó මුත්ත දැන් කෑගහනවා.

Ò ඒක නම් කරන්න බෑ පප්පෙ. දැන් මේ ඉඩම මගේ. මේ මම කැමැති පක්ෂෙ කොඩියක් මම දාල තියෙන්නෙ.Ó අම්මා කියනවා.

දැන් කතාව දිගටම යනවා. මුත්තා කෑ ගහනවා. අම්මා අඬ, අඬා ඤුරු ඤුරු ගානවා. මුත්තා කෑ කොස්සෙන් ගහගහ රේල් පාර දිගේ යන්න ගියා. අපි හිතුවා මුත්තා පරාජය භාර අරගෙන ගියා කියලා

මොන පිස්සු ද? පැය භාගයක් යනකොට මෙන්න මුත්තා එනවා පිහියක් ගැට ගහපු දිග කෙක්කකුත් අරගෙන. හැබැයි හොඳ වෙලාවට මුත්තගෙ පස්සෙන් මාමත් එනවා. අම්මා දුවලා ගියා මාමා ළඟට.

Òඅනේ බලන්න මල්ලියෙ, පප්පා කරන්න යන අසාධාරණ වැඩේ. මල්ලිවත් පප්පට කියන්න මගේ කොඩිය කපන්න එපා කියලා.Ó අම්මා මාමා බදාගෙන අඬනවා.

Ò අක්කා පැත්තකට වෙන්ඩ. මම ඒක බලා ගන්නම් Ò. මාම කිව්වා

මාමා මුත්තා ඉස්සරහට ගියා. Ò පප්පෙ ඕක නවත්වන්න . පප්පත්, කොමියුනිස්ට්කාරයා. මමත් කොමියුනිස්ට්කාරයා. ඒක වෙනම දෙයක්. පප්පා මේ ඉඩම අක්කාට ලියලා දීලා තියෙන්නෙ. ඒකෙ අක්කා කැමැති දෙයක් කරන්න අක්කට අයිතිය තියෙනවා. ඒක අක්කාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. පප්පා දැන් ඔය කෙක්කත් අරගෙන ගෙදර යන්න. අක්කාගෙ කොඩිය කපලා පස්සෙ මං නරක මිනිහයි කියන්න එපා. Ò මාමාගෙ තර්ජනයට මුත්තා ටිකක් බය වුණා. ⁣අම්මටයි, මාමාටයි බැණ බැණ මුත්තා රේල් පාර දිගේ ආපහු යන්න ගියා.

ඊට පස්සෙ මුත්තා අපේ ගෙදර ආවෙ නැහැ . රේල් පාරදිගේ අහක බලාගෙන යනවා. එතකොට අම්මා ගිහින් Ò පප්පෙ Ò කියල කතා කරනවා. එතකොට මුත්තා නෑහුණා වගේ පය ඉක්මන් කරලා යනවා.

1960 මාර්තු මැතිවරණයෙන් පස්සෙ ඩඩ්ලි සේනානායක අගමැතිතුමා පිහිට වූ රජය තිබුණෙ දවස් 33යි. රාජාසන කතාව පැරදීම නිසා අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මැතිතුමා විසින් රජය විසුරුවා හැරියා. ප්‍රතිපලය වුණේ 1960 ජූලි මාසයේදීත් මැතිවරණයක් පැවැත්වීමයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය නිතරග ගිවිසුමක් ඇති කර ගත්තා. රත්ගම ආසනය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඉතින් අපේ මුත්තටත් සිද්ධ වුණා අත ලකුණට ඡන්දය දෙන්න.

ඒ හේතුවෙන් මුත්ත ආයෙත් අපේ ගෙදර ආවා. අම්මයි, මුත්තයි අතරෙ තිබුණු අමනාපයත් හිරු දුටු පිණි සේ මැකී ගියා.

මෙවන් අත්දැකීම් ඔබ අප කාටත් තියෙන්න පුළුවන්. දේශපාලනයේදී සදාකාලික මිතුරොත් නැත. සදාකාලික සතුරොත් නැත කියලා කියන කියමන මේ කාලවකවානුවට ද මනාව ගැළපෙන බව ද සිහියට ගත යුතු බව ද කියනු වටී.

මෙම සත්‍ය අත්දැකීම සටහන් කළේ ඔබගේ රසවින්දනය සඳහා පමණි.

ඒ.පී.ඒ ගුණසේකර

විශ්‍රාමික හිටපු අමාත්‍යාංශ ලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here