29
නිදහස් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවලින් බිහිවීම පාර්ලිමේන්තු ඉතිහාසයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. මේ අතර නාගරික ප්‍රදේශවලින් තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉතා අල්ප විය. රාජ්‍ය මන්ත්‍රණ සභා අවධියේ ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනතා නියෝජිතයන් තෝරාගන්නා ලද්දේ රටේ ඉතා සුළු පිරිසක් විසිනි. ඔවුන් අයත් වූයේ ධනවත් මෙන්ම උගත් පවුල්වලටය. මෙයින් සමස්ත ජනතාවට සිදු වූයේ බලවත් අසාධාරණයකි.
මෙවැනි පසුබිමක් තුළ නිදහස් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයන් ලෙස තෝරා පත්කර ගන්නා ලද්දේ අධ්‍යාපන සුදුසුකම් ගැන සොයා නොබලා බව පැහැදිලි කරුණකි. සාමාන්‍ය අධ්‍යාපන සුදුසුකමක් තිබුණත් එය ද ප්‍රමාණවත් විය. මේ නිසා වර්තමානයේ ද ජනතාව පවසන්නේ සල්ලිකාර පවුල්වල නූගත් දරුවන් පාර්ලිමේන්තුවට යැවීම සාමාන්‍ය සිරිතක්වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ අතර බුද්ධිමතුන් ද දක්නට හැකිවීම රටේ වාසනාවකි. ලග්ගල ප්‍රදේශයෙන් හමු වන එවැනි පුද්ගලයෙකි, ජේ. පී. විජේරත්න බංඩා මහතා. මොහුගේ උපන්බිම වූයේ පිටවල ගම්මානයයි. වර්ෂ 1938 දෙසැම්බර් මස 01 වැනි දින පිටවල උපත ලද මොහු මූලික අධ්‍යාපනය ලැබුවේ මහලකොටුව විදුහෙලනි. අනතුරව වැඩිදුර අධ්‍යාපනය සඳහා මෙතුමා එවකට දිවයිනේ ප්‍රධාන පෙළේ පාසලක්ව පැවති මාතලේ දිස්ත්‍රික්කයේ අකුරම්බොඩ මධ්‍ය මහ විදුහලට ඇතුළත්ව ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කළහ.
මෙහිදී දක්ෂ ක්‍රීඩකයකු වූ විජේරත්න බංඩා මහතා අධ්‍යාපන කටයුතු ද ඉතා සාර්ථක ලෙස නිම කළේය. අධ්‍යාපන කටයුතු නිමාවත් සමඟම ඔහුට ඉංග්‍රීසි ගුරු පත්වීමක් හිමි වුයේ ලග්ගල ප්‍රදේශයේම පාසලකටයි. මෙය ඔහුගේ සිතට මඳ සැනසිල්ලක් විය.
මෙසේ විජේරත්න බංඩා මහතාට මුල්ම පත්වීම ලැබුණේ ලග්ගල නාරංගමුව කනිෂ්ඨ විදුහලටයි. ඉන්පසුව මොහු එම ප්‍රදේශයේම වැල්ලෙවල සහ කළුගඟ මහ විදුහල්වල උප ගුරුවරයකු ලෙස සේවය කර අනතුරුව ගුරුවෙල ප්‍රාථමික විදුහලේ විදුහල්පතිවරයා විය. මේ අතර වාරයේ විජේරත්න මහතා විවාහ වුයේ ලග්ගල මන්ත්‍රිවරයකුව සිටි පී. ජී. මුතුබංඩා මහතාගේ දියණිය සමඟයි. මේ විවාහයෙන් ඔහුට දියණියෝ සිව්දෙනෙක් වූහ.
මේ අතරවාරයේ දේශපාලනයට නැඹුරු වූ විජේරත්න බංඩා මහතා ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළේය. උපන් ගම පිටවල වුවත් පසුව එවකට පැවති රජය විසින් විල්ගමුව ප්‍රදේශයේ ආරම්භ කළ විල්ගමුව ජනපදයෙන් විජේරත්න බංඩා මහතාගේ පියාට ඉඩම් හිමි වුයෙන් පිටවල ප්‍රදේශය අතහැර නව ගම්මානයේ පදිංචි වී ඇත. මේ සමඟම ඔහුගේ දේශපාලන කටයුතු ද අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් තිබේ.
මේ සමඟම එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම විජේරත්න බංඩා මහතා ලග්ගල මැතිවරණ කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග කර ජය ගත්තේය. රටේ පැවති දේශපාලන කැලඹීම මොහුගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව විය. අනතුරුව මොහු සිය මැතිවරණ කොට්ඨාසය සංවර්ධනය කිරීමට පියවර ගත්තේය.
මොරගහකන්ද ව්‍යාපෘතිය මෙතුමාගේ එක් සිහිනයක් විය. මේ අතරවාරයේ මහවැලි ව්‍යාපෘතිය යටතේ මොරගහකන්ද කේන්ද්‍ර කර රජය විසින් නව සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්නට විය. මෙසේ ආරම්භ කළ මොරගහකන්ද ව්‍යාපෘතියත් සමඟම මොහුගේ අපේක්ෂා මල්ඵල ගැන්වීමට හැකි විය. එතෙක් කිසිදු ප්‍රවාහන පහසුකමක් නොතිබු ලග්ගල ප්‍රදේශයේ ප්‍රවාහන සේවා වැඩිදියුණු කළ මෙතුමා පාසල් පද්ධතිය වැඩිදියුණු කිරීමට ද හැකි සෑම පියවරක්ම ගත්තේය. එපමණක් නොව ප්‍රදේශයේ පිරිහී ගොස් තිබූ සෞඛ්‍ය සේවා කටයුතු වැඩිදියුණු කර විශේෂයෙන් ග්‍රාමීය සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තේ ජනතාවගේ ද සහාය හිමි කර ගනිමිනි.
තවද මෙතුමා ලැබූ ප්‍රථම ජයග්රහණයෙන් පසු වැඩිකල් නොගොස් නියෝජ්‍ය ඇමැති පදවියක් හිමි විය. ඒ ගුවන්විදුලි සහ ප්රවෘත්ති කටයුතු ක්ෂේත්රයේය. පසුව මේ ඇමැති ධුරයේ කලක් රැඳී සිටි මෙතුමාට හිමි වූයේ කෘෂිකර්ම නිෂ්පාදන සහ අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති තනතුරයි. මේ කාලයේ විජේරත්න බංඩා මහතා ගොවි ජනතාව වෙනුවෙන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කළේය. ඒ ගොවීන්ට ජීවිතයේ අවසාන කාලයේදී ලබා ගැනීමට හැකි විශ්‍රාම වැටුප් ක්‍රමයක් කෙරෙහි ප්‍රබල හඬක් නැඟීමයි.
එහි ප්‍රතිඵලය වුයේ ගොවි ජනතාව වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මකවීමයි. මේ වන විට දිවයිනේ ලක්ෂ ගණනක් මේ විශ්‍රාම වැටුපේ හිමිකරුවෝ වී සිටිති. අවසානයේ මෙතුමාගේ උපන්බිමෙන් ඉවත්වී පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිවී සිය ජීවිතයේ අවසාන භාගයේ රෝගාතුරව සිට 2004 දෙසැම්බර් මස 08 වැනි දින මිය ගියේය.
ඒ. ඒ. එල්. ඩයස්