21
දේශපාලනයේදී මෙරට කාන්තා නියෝජනය පිළිබඳ සෑහීමට පත් විය හැකිද? ඒ පිළිබඳ අපි කෙටියෙන් විපරම් කරමු.
සැබැවින්ම, ශ්‍රී ලංකාව විසින් අත්සන් කරනු ලැබ ඇති, කාන්තාවන්ට එරෙහි වූ සියලුම වෙනස්කම් දුරු කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය මඟින් කාන්තාවන්ගේ සමාන දේශපාලන සහභාගිත්වය හා නියෝජනය තහවුරු කර ඇත.
එසේම, මෙරට නීතිය අනුව ස්ත්‍රියට පුරුෂයා හා සම අවස්ථා සහ අයිතීන් ඇති බවත් සඳහන්වේ. එහෙත් එය භාවිතයේදී කාන්තාව දෙවැනි පෙළ පුරවැසියකු බවට පත්ව ඇති බවට කරුණු හඳුනා ගත හැකිය. ඒ අනුව, ස්ත්‍රියට හිමිවිය යුතු තැන පුරුෂාධිපති සමාජයකදී නොලැබෙන බවට කොතෙකුත් අදහස් ප්‍රකාශ වෙයි. සෑම වර්ෂයකම මාර්තු මස 08 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගත්, වැඩසටහන්වලදී කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා වුවද කාන්තාවන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා දියුණු කිරීම සඳහා විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තාවන් බලගැන්වීම සඳහා උත්සාහ යොදන අවස්ථා අල්පය. ඒ මත විමසුම්, සමීක්ෂණ වාර්තා මඟින් හෙළිදරව් වූවකි.
ඒ කෙසේ වුවත්, වර්තමාන ශ්‍රී ලංකාවේ මහජන නියෝජිත ආයතනවල කාන්තා නියෝජන ප්‍රමාණය අනුව එය තවදුරටත් පැහැදිලි කර ගත හැකිය. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය 5. 8%ක් පමණ වෙයි. පළාත් සභාවලදී පමණක් නොව, පළාත් පාලන ආයතනවලදීත් එය ඊටත් වඩා අඩුය.
එබැවින් දේශපාලන වශයෙන් කාන්තාවන් බලගැන්වීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් නීති සංශෝධනය, පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය හා ඒ පිළිබඳ ඇති ගැටලු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්, කාන්තා ක්‍රියාකාරිනියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ද ක්‍රියාත්මක කරමින් පවතියි.
මේ යටතේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග, සර්වජන ඡන්ද බලය හා පළාත් පාලන ඡන්ද විමසීම් නීති සංශෝධන පිළිබඳ දිවයින පුරා විසිරී සිටින කාන්තා ක්‍රියාකාරීන් දැනුවත් කිරීම් සිදු කිරීමට ද කටයුතු කර තිබේ. එහෙත් එය එසේ තිබියදී ද පවුල මූලික කර ගත් කාන්තාවගේ භූමිකාව ගත් විට එහි මුල් තැනකට ඡන්දය දීමට ඇති අයිතිය එතරම් ඉහළට ඇවිත් ඇති වගක් පෙනෙන්නට නැත.
තවදුරටත්, මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ ඒකාබද්ධව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරන අතර දිස්ත්‍රික් මට්ටමෙන් එනම් සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මඟින් මැතිවරණ ක්‍රියාවලිය, ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය හා පළාත් පාලන ඡන්ද විමසීම් නීති සංශෝධනය පිළිබඳව හා කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩමුළු දීපව්‍යාප්තව පවත්වයි.
කෝටාව
එසේම, පළාත් පාලන ආයතනවල නියෝජනය සඳහා කාන්තාවන් වෙනුවෙන් 25%ක පංගු ක්‍රමයක් හඳුන්වා දීම හා කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය පිළිබඳ ගැටලු මෙම වැඩමුළුවලදී සාකච්ඡා කෙරේ.
තවද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ නිකුත් කළ ජාතික මානව සංවර්ධන වාර්තාවට අනුව 2010 වසරේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8% කි. පළාත් සභා මට්ටමේදී එය 4%ක් ද ප‍්‍ර‍්‍රාදේශීය මට්ටමේදී එය 1.8% ක් ද ආදී වශයෙන් හඳුනාගෙන තිබිණ. දකුණු ආසියානු රටවල් සමඟ සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය සාපේක්ෂව අවම බව පැහැදිලිය. නේපාලයේ ජාතික මට්ටමේ දේශපාලනයේ කාන්තා නියෝජනය 32% ක් වන විට, බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ එය පිළිවෙළින් 19% ක් සහ 10% කි. ප‍්‍ර‍්‍රාදේශීය දේශපාලනයේ අඩු කාන්තා නියෝජනය පිළිබඳ ගැටලුවට පිළිතුරක් ලෙස හඳුන්වා දුන් පිළියම් අතුරෙන් කෝටා ක‍්‍රමය ප්‍රධාන වූවකි. එහෙත් ඒ පිළිබඳ ද සමාජය තුළ විවිධ මතවාද නැතුවා නොවේ.
කාන්තා නියෝජනය ප‍්‍ර‍්‍රමාණාත්මකව වැඩි කිරීම සම්බන්ධයෙන් පොදු ජන සමාජයෙන් සහ ඇතැම් දේශපාලන පක්ෂවලින් එල්ල වන විරෝධතා අනුව ද සක්‍රිය කාන්තා දේශපාලන දායකත්වය කෙරෙහි සමාජයේ ඇති විවිධ ආකල්ප බලපවත්වනු ලබයි.
ඒ අනුව බැලූව ද කාන්තාව හා දේශපාලනය අතර ඇති දුරස්ථතාව කාන්තාවගේ දේශපාලන නියෝජනයට වඩා ගැඹුරට විහිදෙන ගැටලුවකි. දේශපාලන රැස්වීම්වලට පමණක් නොව ඇය සමාජයීයව සහ දේශපාලනිකව සවිබල ගැන්විය හැකි කිසිදු අවස්ථාවකට සහභාගි වීමට කාන්තාවට ඇති අවස්ථාව පවා අහිමිවීම සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන්නකි.
වරද කොතැනද?
දේශපාලනය කිරීම පිරිමින්ගේ මිසෙක කතුන්ට අයිති නොවන්නක්ය යන මතය තවමත් මෙරට සමාජයෙන් තුරන් වී නැත. විශේෂයෙන් පිට පළාත්වල ගම්බදව වෙසෙන කාන්තාවන් අතර එය එසේය. එහෙත් පරම්පරා වෙනසත් සමඟ නූතනය වන විට එය අලුත් පරපුරෙන් තුරන්වී යෑම සුබවාදී ලකුණකි. අතීතයේදී කාන්තාව නිවෙසින් බැහැරව නොගිය වගත්, අඩුම තරමේ අවමංගල්‍ය සමිතියකට, කුලඟන සමිතියට වුවත් පිරිමියකු හෝ අඩුම තරමින් පිරිමි ළමයකු සමඟවත් ඇය ගිය වගත්, තවමත් ඇතැම් වැඩිහිටියන්ගෙන් අසන්නට ලැබෙන්නකි.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන වැඩි පිරිසක් කාන්තාවන් වුවද, ශ‍්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වර්ෂයේ වාර්තාවකට අනුව කාන්තාවන් අතර රැකියා නියුක්ති අනුපාතය 36.5% ක් වේ. කාන්තාවන් අධ්‍යාපනයෙන් පසු විවාහයක් සිදු කර ගැනීමෙන් අනතුරුව මවක ලෙස වගකීම් ඉටු කිරීම උදෙසා නිවසේ නතර වීම මෙයට බලපා ඇති ප්‍රධාන කරුණකි.
ඇයගේ එකම භූමිකාව, ජීවවිද්‍යාත්මක සහ ප‍්‍රජනන කාර්යය බව ශ්‍රී ලංකාවේ පොදු ජන සමාජයේ බොහෝදෙනා තවමත් සලකන බවත් රහසක් නොවේ. මෙය සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට පුළුවන. එසේම ඇගේ දේශපාලනික හා සමාජයීය දැනුම සම්බන්ධයෙන් Òගෑනුන්ගේ නුවණ හැඳි මිටේ දිගයිÓ යන ආකල්පය තවමත් සමාජයේ වෙයි.
විවිධ අඩන්තේට්ටම්වලට ගොදුරු වීම
ළමා කල සිට කාන්තාවන්ට පුරුදු කරන දිවි පැවැත්මට දේශපාලන අවකාශය ඉතා දුරය. කාන්තාවන් එකිනෙකා හමුවන ස්ථාන දේශපාලන අර්ථයකින් හඳුනා නොගැනෙන අතර, එම අවකාශ ඕපාදූප සංගම් ලෙස හා ඔවුන්ගේ කතා Òගෑනු කතාÓ හෝ ඕපාදූප ලෙස ගර්හාවට ලක්වන අවස්ථා අනන්ත වගත් අමතක කළ නොහැකිය.
තවදුරටත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත පදනම් නොවුණු සම දේශපාලනික බලයක් සර්වජන ඡන්ද අයිතියෙන් අදහස් වුව ද සමහර කාන්තාවන්ගේ ඡන්ද අයිතිය ඇගේ පවුලේ හෝ ස්වාමිපුරුෂයාගේ මතයෙන් බලපෑමට ලක්වී ඇති වගත් සත්‍යයකි. කාන්තාවන් වශයෙන් සිය ස්වාමියාගෙන් ස්වාධීන දේශපාලන මතයක් දැරීමම, සිය ස්වාමියාට කීකරු නොවීම හා යහපත් බිරියක් හා ගෘහණියක් නොවීම ලෙස සලකන කාන්තාවන් පිළිබඳ උදාහරණ හිඟ නොවේ.
එමෙන්ම, මෙරට දේශපාලනයට සම්බන්ධවූ බොහෝ කාන්තාවෝ සිය පියාගේ, සහෝදරයාගේ හෝ ස්වාමියාගේ අභාවය නිසා හෝ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ දේශපාලනයට පැමිණියෝ වෙති. එසේ දේශපාලන පවුල් පසුබිමකින් තොරව දේශපාලනයට පැමිණීමට උත්සාහ කරන කාන්තාවන්ට සිය ලිංගිකත්වය හා සමාජභාවී අනන්‍යතාව මත පදනම් වී ශාරීරිකවත් මානසිකවත් විවිධ අඩන්තේට්ටම්වලට ගොදුරු වීමට සිදුව තිබීමත් මේ කෙරෙහි රතු එළි පෙන්වන්නකි. මේ අතර ඇතැම් දේශපාලන පක්ෂ සහ ආසන සංවිධායකයින් කාන්තා නියෝජනය අඩු වීමට දක්වන හේතු අතර, ඇතැම් ආසනවල නාමයෝජනා සඳහා කෝටාව පිරවීමට තරම්වත් කාන්තා ඉදිරිපත් වීමක් සිදු නොවීම ද වේ.
මැතිවරණ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ හා පොතපත ඇසුරෙනි.
නුවන් මහේෂ් ජයවික්‍රම