8
ශ්‍රී ලංකාවේ අලුතින්ම පැමිණෙන තරුණ ඡන්ද දායකයන් උපත ලබා ඇත්තේ 2005 හෝ 2006 වර්ෂවලයි. ඔවුන්ට ඔවුන්ගේ හොඳම කාලයේ මඟහැරුණු බොහෝ දේ ඇත. එනම් අවුරුදු 15 සිට 18 දක්වා මොවුන්ගේ කාලසීමාවේදී මෙරට ඇති වූ අර්බුදයත් සමඟ බොහෝ දේ ඔවුනට අහිමි විය. සුන්දරත්වය විඳීමට තිබූ අවස්ථාව අහිමි වුණා, මිල මුදල් හිඟවුණා, ආදරය වැනි මානුෂීය අවශ්‍යතා අහිමි වුණා, ඔවුන් එක් තැනක කොටුවීමට ලක්වුණා. වර්තමාන තාරුණ්‍යය තුළ ඇත්තේ යම්කිසි ආකාරයක වෛරී ස්වභාවයකි.
මැතිවරණ කොමිසමේ සංඛ්‍යා දත්ත අනුව ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාවක් සිටී. එනම් මොවුන් අතිශය තරුණ ඡන්ද දායකයින්. ඊට අමතරව මේ වන විට ලියාපදිංචි වී තිබෙන ඡන්ද දායකයන්ගෙන් අතිවිශාල සංඛ්‍යාවක් සිටින්නේ තරුණ ඡන්ද දායකයන්. මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ අතිශය තීරණාත්මක සාධකය බවට මෙම තරුණ ඡන්ද කොටස පත්වේ. ඒ වගේම 2021, 2022 වසරවලදී රටේ ඇතිවූ තත්ත්වය සමඟ රටේ තරුණයන් පාරට බැස රටේ වෙනසක් සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව ඉල්ලූ ජන අරගලයේ ඉදිරියෙන්ම සිටියේ මෙම තරුණ පිරිසයි.
වසර 10ක් 15ක් ඇතුළත මෙරට සංවර්ධනය කරන බව බොහෝ ජනාධිපති ධුර අපේක්ෂකයින් පවසයි. ඉදිරියේදී මේ රට පාලනය භාර ගැනීමට සිටින තරුණ පිරිසගේ සිතුම් පැතුම් මොනවාද? ඔවුන් සිතන්නේ කොහොමද?, ඔවුන්ගේ සිහින මොනවාද? යන්න පිළිබඳව මී ළඟට පත්වීමට නියමිත ජනාධිපතිවරයාට අවබෝධයක් තිබිය යුතුය. 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 22 වතාවක් සංශෝධනය වී තිබේ. මේ විසිදෙවතාවෙම සංශෝධන සිදු කිරීමේදී එම සංශෝධන සිදු කළේ තරුණ සිහින සැබෑ කිරීමට නොවේ. එයින් ඔවුන් උත්සාහ කළේ පාලකයන්ගේ සිහින සැබෑ කර ගැනීමකි. අතීතයේ සිට මේ දක්වා පැවති සියලුම ජනාධිපතිවරණ වේදිකාවල තාරුණ්‍යයට ඉඩක් ලැබුණේ නැහැ. තාරුණ්‍යයේ තිබෙන ගැටලු කිසිම අවස්ථාවක සාකච්ඡා නොකළ අතර ඔවුන්ගේ බලය රැක ගැනීම සඳහා තරුණ සිහින භාවිත කිරීමක් දැක ගත හැකි විය. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ගත්තේම ඔවුන්ගේ තරුණ ගැටලුවලට විසඳුමක් ලැබේ යැයි අපේක්ෂාවෙනි. 2015 සහ 2019 පැවති ජනාධිපතිවරණ ද්විත්වයේම තරුණයින්ගේ අපේක්ෂාව වූයේ පවතින ක්රමයේ වෙනස් වීමකි. මෙම වෙනස ඇති කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය විය. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ වෙනස සිදු වුණාද යන්න පිළිබඳව අපට ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. එම ජනාධිපතිවරුන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශ ඇතුළේ සඳහන් කළ දේවල් 100%ක් ඉටු වුණාද කියන කාරණය සියලු තරුණයන් තුළ පවතී.
වර්තමාන තරුණයා
ශ්‍රී ලංකාව ගත්තාම වසර පනහක් වැනි කාලයක් ඇතුළත දැවැන්ත තරුණ සංහාර කිහිපයකට දායක වූ රාජ්‍යයකි.71, 88, 89 කාලය වෙන්න පුළුවන්, ඉන් අනතුරුව යුද්ධය පැවති කාලය වෙන්න පුළුවන්, උතුරේ වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන් මේ සෑම අවස්ථාවකදීම දැවැන්ත ලෙස තරුණයින්ගේ සීමා පමණක් නොව තරුණයින්ගේ ජීවිත පවා පොළොවට පස් වූ අතීතයක් තමයි මෙරට තරුණයින්ට ඇත්තේ. වර්තමාන තරුණයා වර්තමානයේ සිදුවන සෑම දෙයක් පිළිබඳවම සවිඤ්ඤාණික වෙමින් දේශපාලන ක්ෂේත්රයේ ගනු ලබන තීන්දු තීරණවලට මැදිහත් වෙමින් කටයුතු කරන ආකාරයක් අපට දැක ගත හැකිය. ඒ උච්චතම අවස්ථාව ලෙස පසුගිය 2022 වසරේ ක්‍රියාත්මක වූ අරගල සංකල්පය පෙන්වා දිය හැකිය. අරගලය බිහි වූයේ බහුතරයක් තරුණයින්ගේ සිහින මියයමින් තිබූ අවධියකයි.
තාරුණ්‍යය අපේක්ෂා කළ වෙනස නොවීම හරහා ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්වේ. තාරුණ්‍යයේ අපේක්ෂාවන් නිතර වෙනස් වීමට ලක්වන අතර නිරන්තරයෙන් අලුත් දේවල් ඔවුන් බලාපොරොත්තුවේ. 2015 ජනාධිපතිවරණයෙන් අනතුරුවත් ඔවුන් දැඩි කලකිරීමට පත්වන අතර 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ඇතිවූ අර්බුදත් සමඟ ඔවුන් තව තවත් කලකිරීමට පත්විය.
ශ්‍රී ලංකාවේ අලුතින්ම පැමිණෙන තරුණ ඡන්ද දායකයන් උපත ලබා ඇත්තේ 2005 හෝ 2006 වර්ෂවලයි. ඔවුන්ට ඔවුන්ගේ හොඳම කාලයේ මඟහැරුණු බොහෝ දේ ඇත. එනම් අවුරුදු 15 සිට 18 දක්වා මොවුන්ගේ කාලසීමාවේදී මෙරට ඇති වූ අර්බුදයත් සමඟ බොහෝ දේ ඔවුනට අහිමි විය. සුන්දරත්වය විඳීමට තිබූ අවස්ථාව අහිමි වුණා, මිල මුදල් හිඟවුණා, ආදරය වැනි මානුෂීය අවශ්‍යතා අහිමි වුණා, ඔවුන් එක් තැනක කොටුවීමට ලක්වුණා. වර්තමාන තාරුණ්‍යය තුළ ඇත්තේ යම්කිසි ආකාරයක වෛරී ස්වභාවයකි. එය දේශපාලනික, සාමාජීය සෑම කාරණාවක් තුළම දැකගැනීමට පුළුවනි. තමන්ට අහිමි වූ දෑ පිළිබඳව දැඩි කනස්සල්ලකින් වර්තමාන තරුණයා පසුවේ. මේ රට එපා කියන තත්ත්වයට ඔවුන් පත්ව ඇත. රට පිළිබඳ හැඟීම, රටට තිබෙන ආදරය (ජාත්‍යාලය) අඩු වෙමින් යන පසුබිමක් අපට දැක ගත හැකිය. අතීතයේ සිට වර්තමානය දක්වා ඔවුන් රැවටීමකට ලක් වූ බව ඔවුන් තුළින් ප්‍රකාශ වෙයි. මේ කරුණුත් සමඟ ඉදිරියට ගමන් කිරීමට හැකිද යන්න පිළිබඳව ඇත්තේ විශාල ගැටලුවකි. රට භාර ගැනීමට සිටින තරුණ පරපුර මෙලෙස කලකිරීමට ලක් වුවහොත් අනාගතයේ රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව අප තුළ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට මේ තරුණ ගැටලු විසඳීමට විශාල අභියෝගයක් ඇත. රටේ සංවර්ධන කාර්යයට දායක වී සිටින තරුණ පරපුර ඉන් ඉවත්ව සිටීම මහත් ඛේදවාචකයකි. ඔවුන් නැවත එම කටයුත්තට එකතු කර ගැනීම පත්වන කුමන ජනාධිපතිවරයාගේ හෝ පළමු කාර්යය බවට පත්විය යුතුයි. තරුණයාට පොරොන්දු ලබා දීම සිදු වුවත් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමක් අපට දක්නට ලැබෙන්නේ නැහැ.
රට හැර යෑම
ජනාධිපතිවරයකු බිහිවීමේදී මෙම තරුණයන්ගේ ගැටලු විසඳීමට ඔහුට විශාල වගකීමක් ඇත. වාමවාදී කඳවුරක් හෝ දක්ෂිණාංශික කඳවුරක් හෝ ඉදිරියට බලයට පත්වන කුමන හෝ කඳවුරක් හෝ වේවා තාරුණ්‍යය අපේක්ෂා කරන දේ පිළිබඳව අවධානයක් ලබා දිය යුතුයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2022 වසරේ පමණක් ලක්ෂ 7කට ආසන්න විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන ඇත. ඉන් බහුතරයක් තරුණ පිරිසයි. මෙලෙස විශාල වශයෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන රට හැර යන්නේ ඇයි? ඔවුන් විදෙස්ගත වන්නේ රටට ආදරයක් නැති නිසාද? ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වූ නිසාද? යන්න පිළිබඳව සොයා බැලිය යුතුයි. අපේ රටින් පිටවන්නේ අපේ රටේ තිබෙන සම්පත් සමූහයයි. රටින් පිටවන්නේ මෙරට නැවත නිර්මාණය කළ හැකි පිරිසයි. රට හැරදා යන්න පුළුවන් තැනකට ඔවුන් පත්වන්නේ දේශපාලනික, ආර්ථික කඩා වැටීමත් සමඟයි. විශේෂයෙන්ම ඔවුන්ගේ අනාගතය පිළිබඳව ඇති අවිනිශ්චිත තත්ත්වය ද තරුණයින්ගේ රට හැරයාම කෙරෙයි ඍජුව බලපා ඇත.
මිනිසුන් ලෙස අප සැමට මූලික අවශ්‍යතාවන් පවතී. තරුණයන් සතුවත් එවැනි අවශ්‍යතාවන් ඇත. ඔවුන්ට ඉගෙන ගැනීමට අවශ්‍යයි, ඉගෙන ගෙන රැකියාවක් කිරීමට අවශ්‍යයි, ගෙයක් දොරක් හදන්න අවශ්‍යයි, වාහනයක් ගන්න අවශ්‍යයි, විවාහ වීමට අවශ්‍යයි, සුන්දර පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍යයි. මෙරට තිබෙන පරිසරය තුළ මෙවැනි මූලික අවශ්‍යතාවන් පවා තරුණයන්ට සපුරා ගැනීමට නොහැකි වී ඇත. වාහනයක් මිලදී ගැනීමට වුවත් විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. මිලදී ගත්තද ඒ සඳහා ණයක් වීමට ඔවුන්ට සිදුවේ. මෙවැනි සිහින ඔවුන් තුළින් ගිලිහී යෑම තුළ ඔවුන්ගේ ඉදිරි ගමන අනපේක්ෂිත ස්වරූපයක් ගනියි. ගෙයක් දොරක් හදාගන්න වුණත් කෙතරම් මුදලක් ඔවුන්ට වැය කිරීමට සිදු වෙනවාද, බොහෝ තරුණ තරුණියන් ඔවුන්ගේ විවාහයන් කල් දැමීම හෝ විවාහ නොවීමට තීරණය කිරීම තුළින් අපට පෙනෙන්නට ඇත්තේ ඔවුන්ගේ සිහින බොඳ වී යන බවයි. මෙවැනි වාතාවරණයක් තුළ තාරුණ්‍යය රටේ රඳවා ගැනීම මහත් ගැටලුවකි. මෙරටින් විශාල වශයෙන් තරුණ තරුණියන් මෙවැනි ආකාරයට විදෙස්ගත වුවහොත් රටේ ඉදිරි අනාගතයේ ද අවිනිශ්චිත තත්ත්වයකට පත්වේ. මේ තත්ත්වය තුළ රටේ ශ්‍රම බළකාය අඩුවේ. ශ්‍රම බළකාය අඩුවීම තුළ රටේ ආර්ථිකය තව තවත් අරාජිකත්වයට පත්වේ. ඉදිරියේදී පත්වන කුමන ජනාධිපතිවරයා හෝ මේ පිළිබඳව අවධානය දිය යුතුයි.
දේශීය ආර්ථිකයක්, ව්‍යවසායකත්ව රාජ්‍යයක් සෑදීමට අවශ්‍ය බව අප සැම විටම ප්‍රකාශ කළත් ඒ දේවල් නිසි අයුරින් ඉටු කර ගැනීමට අපට නොහැකිවී තිබේ. අපේ රටට අනන්‍ය වූ Made in Sri Lanka සන්නාමය නැවත ඇති කිරීමට වර්තමාන තාරුණ්‍යයට විශාල වුවමනාවක් සහ අවශ්‍යතාවක් ඇත. Made in Sri Lanka සන්නාමය නැවත ඇති කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට පත් වූ කිසිදු ජනාධිපතිවරයෙකුට හැකියාව ලැබී නැහැ. පසුගිය කාලයේ එවැනි දෙයක් ඉටු කිරීමක් හෝ අපට දකින්නට නොලැබුණි. වර්තමානයේ සිටින සියලු තරුණයන් ප්‍රකාශ කරන්නේ මේ රට හැරදා යා යුතු බවයි. නමුත් මෙයට විසඳුම එය නොවේ. මෙයට විසඳුම් ලබාදිය හැකි වැඩපිළිවෙළක් සහිත ජනාධිපතිවරයකු තෝරා ගැනීමට වර්තමානයේ තරුණයා අපේක්ෂාවෙන් සිටී.
තරුණයින්ගේ සිහින
2022 වසරට පෙර මෙරට තරුණයන් ආර්ථික තත්ත්වය පිළිබඳව, ණය පිළිබඳව, බදු ප්රතිපත්තීන් පිළිබඳව, රට එළඹෙන ගිවිසුම් පිළිබඳව දැවැන්ත අවධානයකින් සාකච්ඡා කෙරූ අවස්ථා අපට දක්නට නොලැබුණි. නමුත් 2022 වසරේ ඇති වූ තත්ත්වයත් සමඟ දේශපාලනය හසුරුවන පුද්ගලයන්ගේ තීරණ තුළින් තරුණයින්ගේ ජීවිතවලට බලපෑමක් ඇති විය හැකි බව ඔවුන්ට වැටහුණි. මේ තත්ත්වය සමඟ ණය පිළිබඳව, ආර්ථිකය පිළිබඳව තරුණයින් කතා කරන්නට පටන් ගැනුණි. වර්තමාන තරුණයා පෙර සිටි තරුණයාට වඩා යම් අවධානයකින් පසුවන බව මෙයින් අපට පැහැදිලි වේ.
විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ ආහාර, පොත්පත්, නවාතැන් පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සපයා ගැනීම ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත. එමෙන්ම අධ්‍යයන කටයුතුවලදී අන්තර්ජාල පහසුකම්, සන්නිවේදන කටයුතු සඳහා විශාල මුදලක් වැය කිරීමට ද ඔවුන්ට සිදුව තිබේ. ආර්ථිකය කියන සාධකය ඇතුළෙ තරුණ ප්‍රජාව සිටින්නේ බරපතළ අර්බුදයකයි. ඔවුන් අධ්‍යාපන කටයුතු නිමකර නැවත රැකියා වෙළඳපොළට එන විට අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොලැබී යයි. මේ ගැන කිසිවෙකුගේ අවධානයක් යොමු වන්නේ නැහැ. මේ පිළිබඳව අවධානයක් ලබාදීම තාරුණ්‍යයේ ගැටලු හඳුනා ගැනීමට මහත් රුකුලක් හිමිවනු ඇත.
ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට සියලු ජනතාවගේ සියලු සිහින සැබෑ කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට ජනතාවගේ සිහින සැබෑ කිරීමට සමාජ, දේශපාලනික, ආර්ථික වාතාවරණයක් ඇති කළ හැකිය. වර්තමානයේ තිබෙන සමාජ ආර්ථික දේශපාලනික වාතාවරණය තුළ තාරුණ්‍යයේ සිහිනවලට ගමන් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ තුළ තාරුණ්‍යයේ අරමුණු කරා යෑමට නොහැකි වී තිබේ. ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ තාරුණ්‍යයේ අරමුණු කරා ළඟා විය හැකි සමාජ දේශපාලනික, ආර්ථික, පරිසරයක් නිර්මාණය කිරීමයි. හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් කරන්න, වාහනයක රැකියාවකට යන්න එන්න, දරුවන් සමඟ විනෝදයෙන් ගත කරන්න තාරුණ්‍යය කැමති මනස නිදහස්ව කටයුතු කිරීමට ඔවුන් කැමැත්තක් දක්වයි. නමුත් පවතින ආර්ථික, දේශපාලනික, සාමාජීය වපසරිය තුළ මේ දේවල් ළඟා කර ගැනීමට ඇති හැකියාව අවමයි. යම්කිසි දෙයක් ඉටු කර ගැනීමට නොහැකි වූ විට පුද්ගලයන් බිඳීමකට ලක්වේ. වර්තමානයේ තාරුණ්‍යයේ සිටින්නේ එවැනි ආකාරයක බිඳීමකට ලක්වයි. රටේ සිදු වූ සියලු විපර්යාසවලට මුහුණ දී, විවිධාකාර බලාපොරොත්තු බිඳ වැටී, විවිධාකාර පක්ෂවලට ඡන්දය ලබා දී ඔවුන් තුළ තිබූ විශ්වාසය නැති වී ඇත. සැප්තැම්බර් 21 න් පසු පත්වන ජනාධිපතිවරයා මූලිකව ඔවුන් තුළ විශ්වාසය ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා අවංක කැපවීමක් තිබිය යුතුයි. මූලික වශයෙන් තරුණයින්ගේ සිහින, අරමුණු ඉටුකර ගත හැකි දේශපාලන, ආර්ථික, සාමාජීය වටපිටාවක් නිර්මාණය කිරීම ඉදිරියේ පත්වන ජනාධිපතිවරයා සිදු කළ යුතුයි.
රුවන් පුෂ්ප කුමාර