24
ගොවි ජනපදවාසී සිල්ලර වෙළෙන්දා අභිනව ධර්මිෂ්ට සමාජය නම් බෝඩ් ලෑල්ල එක්ක හයෙන් පහක බලයක් ලද අලුත්ම අලුත් ආණ්ඩුවට කොච්චර
බය භීත වුණාද කිව්වොත් දසතින් ඇසෙන කපන කොටන, ගහන මරන පුච්චන හඬ අතරේ අසරණව මුසුප්පුව සුදුමැලිව ගියේය.
ඒ එක්දහස් නවසිය හැත්තෑ හත අවුරුද්දයි. ශ්‍රී ලංකා ආණ්ඩුව පැරදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත් අවුරුද්දයි.
ගොවි ජනපදවාසී සිල්ලර වෙළෙන්දා අභිනව ධර්මිෂ්ට සමාජය නම් බෝඩ් ලෑල්ල එක්ක හයෙන් පහක බලයක් ලද අලුත්ම අලුත් ආණ්ඩුවට කොච්චර බය භීත වුණාද කිව්වොත් දසතින් ඇසෙන කපන කොටන, ගහන මරන පුච්චන හඬ අතරේ අසරණව මුසුප්පුව සුදුමැලිව ගියේය.
අනේ ඒ කෙසඟ කේඩෑරි මිනිහා මගේ තාත්තාය… මම වැඩිමලී… යම්තම් අවුරුදු නවයක කෙලි පොඩ්ඩි… මල්ලී අම්මාගේ චීත්තයේ එල්ලී…. නංගි අම්මාගේ ළමැදේ හිස හොවාගෙන…
මං තාත්තගේ දෙපය බදාගෙන සෝබරිතව…
‘යන්න… ඉක්මනින් යන්න… අරුං මාර සෙනඟ වාගෙ ළඟ ළඟම එනවා’
ජයග්‍රහණය කරන ලද්දෝ පරාජිතයෝ හඹා එති.. ඒ සන්තාපය බෙදා හදා ගන්නට නොවේ. ගහන්නට… කපන්නට… කොටන්නට මරන්නට… පුච්චන්නටය.
අනේ මැතිවරණ පරාජය ගින්නට මරණයට හේතු බූත වන රටක් කොච්චර නම් අවාසනාවන්ත ද….
‘දැං අපි මොකද කරන්නේ…?’
අම්මාගේ දෑසින් කඳුළු කඩා හැලේ.
‘මොනව කරන්නද… එන එන එකා මරාගෙන මැරෙනවා මිසක්කා…’
තාත්තාගේ උදව්වට ඇවිත් ඉන්නා ලොකු මාමා මරාගෙන මැරෙන්නට සැදී පැහැදී සිටියි.
‘මැරිලා බෑ බං… අපි ජීවත් වෙන්න ඕන… වේයෙක් හුඹහක් බඳින්නා වාගේ සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා හදා ගත්තු කඩේ… ගේ දොර… ගිනි තියන්ඩ ඇරලා පැනලා දුවන්ඩ බෑ’
තාත්තා ඔට්ටු වෙන්නේ පණ කෙන්ද එක්කම අඹු දරුවන් හා ගේ දොර දේපළ සබ්බ සකලමනාවම රැක ගන්නටයි.
‘ලොරියක සෙනඟ සේනාව කඩු, කැති, පොලු ඇරං ආවාම අපි දෙන්නා මොකක් කරන්නද…?’
ඔව්… හතරමං හන්දියෙන් මාර සෙනඟ කෑ කෝ ගහන හඬ ඇසෙයි… සත් සමුදුර ගොඩ ගලන්නා වගේය…
‘අනේ දෙයියනේ දෙයියොවත් නැද්ද… මොන අපරාධයක් ද මේ…?’
අම්මා ඉකිබිඳිනකොට නංගිත් මල්ලිත් මහ හයියෙන් අඬා වැටෙති… මටත් ඇඬුම් එයි. ඒත් මගේ වීරයා මගේ තාත්තා අප ගලවා ගන්නා බවත් මට විශ්වාසයි.
‘දැංවත් යන්න… වත්ත පල්ලෙහායින් මැද පාරට පැනලා හිමීට මහ ගෙදරට යන්න…’
තාත්තා දහදියෙන් දුහුවිල්ලෙන් යස්ස වෙස් දරන්…. බයෙන් සැකයෙන් අව පැහැ ගැන්විලා… බලන්න බයයි…
‘ඔයත් යං… ඔයාව දාලා යන්නෙ කොහොමද… අනේ මට බෑ…’
ඒ ඉතිං බිරින්දෑ අම්මා යටපත් කරගෙන ඉස්මතු වූ හැටි තමා..
‘මං රෑ වෙලා එන්නං… කිව්වහම අහලා දැන් යන්න…’
නොඉවසිල්ලෙන් නළියන මනුස්ස පරාණය අතැර යන්නට හිත හදා ගත නුහුණු අහිංසකී ඇඬූ කඳුළින්….!
අනේ ඇයි මේ…? දිනන අය පරදින අය චප්ප කර දමන්නේ ඇයි…? ඒ මොන නීතියක්ද… ඒක යකාගෙ වැඩක්නෙ… එතකොට මේක යකාගෙ රටක්ද…? සකල සිරින් පිරි සිරි ලංකාව නෙවෙයිද …?
‘අයියේ උං එනවා’
කුණුහරප හා වහසි බස් විතරක් නොවේ කඩු කිණිසි මන්නා පිහියා කැති පොරෝ දරාගත් මැරයෝ ළං ළංව එන බව ලොකු මාමා රහසින් වාගේ දැනුම් දුන්නේය.
මද්දහන් ඉර කළු වලාවකට වැහුණා වගේය. සුළං ධාරා පවා මිනිස් ලෙයකට… මහත් විපතකට නොකැමැත්තෙන් දුර ඇදී ගියේය… ගහ කොළ බය බිරාන්ත වූ ගාණට නිසොල්මනේය.
ජීවිතය කිමදැයි නොදත් අපි තව මොහොතකින් දැවී පිලිස්සී මිය යා යුතුද…? ඒ සා රුදුරු මරණයක් උදෙසා අප කළ වරදක් වෙද…?
‘අනේ යං… ඔයත් යං… අපි පණ බේරාගත්තොත් අපට මෙව්වා ආයෙ හදා ගන්න බැරියැ…’
අම්මාගේ ආයාචනාත්මක බැල්මෙන් කිපුණු තාත්තා ‘පලයං යකෝ… පලයං…’ යි මුර ගෑවේය.
අම්මා වත්ත පහළට ඇදුණේ කඳුළු වක් කරමිනි. ඈ පස්සේ යන්නට පෙර හැරී බැලූ මං දැක්කේ උසට උසේ හිටගෙන ඉන්නා අපේ තාත්තාය.
රකුස් වෙසක් දැරුවත් මං තාත්තා ළඟට දිව ගියා.
‘තාත්තා එනවා නේද තාත්තේ ?’
හිස සැලුවා විතරක් නෙවෙයි තාත්තා මං වඩාගෙන ඉම්බා…
අවසන් සිප වැලඳගැනීමද ඒ ?
තාත්තලා දුවලා වෙන් කරන්නට තරම් බලසම්පන්න ධර්මිෂ්ට සමාජයක් …?
ගිනි රකුසාට බිලි වන්නට ඔන්න මෙන්න කියා තිබියදී අවියක් අත නැති එඩියෙන් ආඩ්‍ය මිනිස්සු දෙන්නෙක් තළා පොඩි කර දමන්නට පෙරාතුව යූ.එන්.පී. මිත්‍රයා ගැලවුම්කාර භූමිකාව රඟ දැක්වූ හින්දා විනාශය වැළකිණ.
එහෙත් අප මෙන් භාග්‍යය සම්පන්න නොවූ බොහෝ දෙනෙකු විපතට අයසට ඇද දමන තුරු ගිනි නොනිමිණ.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දිවයින පුරා දින කීපයක් තිස්සේ සිදු වූ අතර අලුත් ආණ්ඩුව බක තපස් රැක්කේය.
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා යනු රටක් ලැජ්ජා විය යුතු කාරණයක් නොවේද..
බියෙන් වේදනාවෙන් ඔද්දල් වන දරුවෙක් දවසක ලෝකයට ආදරය කරයිද…? පක්ෂ භේදයෙන් ජාති ආගම් භේදයෙන් කුළල් කා ගන්නා රටකට සතුට අරුමයක් මිස අසිරියක් නොවේ.
පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුදැකිය යුත්තේ රටක් තව තවත් අගාධයට විනා ඉහළට ඔසවා නොතබන හින්දා විතරක් නොවේ… මානව හිමිකම් හා මානව ගරුත්වය සපුරා කෙළෙසන බැවිනි.