Home Politics News Room : පරිසරවේදීන්ගේ සැලසුම් අනුව පරිසර විනාශය වළක්වා ගන්නවා

News Room : පරිසරවේදීන්ගේ සැලසුම් අනුව පරිසර විනාශය වළක්වා ගන්නවා

2
0

පරිසරවේදීන්ගේ සැලසුම් ආණ්ඩුවේ ඒවා බවට පත්කර ගනිමින් පරිසර විනාශය වළක්වා ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක, එහි ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (31) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අපේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් 2018-2019 කාලයේ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් දීර්ඝ අත්දැකීම් තිබෙන විද්වතුන් සමඟ සාකච්ඡා කළා. රට පුරා ස්වේච්ඡාවෙන් මහන්සි වී ක්‍රියා කළ විශාල පිරිසකුත් ඉන්නවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළියෙල කිරීමට දායක වූ ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. යම් තැන්වල පරස්පරතා තිබෙනවා නම්, සාකච්ඡා කර සකස් කරගැනීමේ හැකියාව තිබෙනවා. රටක් හැටියට පරිසරය ආරක්‍ෂා කරගැනීමට සකස් කළ අණපනත් ගණනාවක් තිබෙනවා. නීතිවල ප්‍රශ්නයකුත් නෑ. යම් යාවත්කාලීන කිරීම් අවශ්‍ය නම් සිදු කළ හැකියි. එක්සත් ජාතීන්ගේ පාරිසරික සංවිධානය සමඟ ප්‍රඥප්ති ගණනාවකට අත්සන් කර ජාත්‍යන්තර වශයෙන් එකඟතා ඇති කරගෙන තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දී තිබෙන නඩු තීන්දු ගණනාවකින් ද පරිසරයේ ආරක්‍ෂාවට විශාල රැකවරණයක් සපයා තිබෙනවා. නිරන්තරයෙන්ම පරිසරවේදීන් බලන කෝණය සහ දේශපාලකයන්ගේ කෝණය අතර ගැටුමක් තිබෙනවා. පරිසරය ආරක්‍ෂා කිරීමේ නියමු කාර්යය පරිසරවේදීන් සිදු කරනවා. පරිසරය විනාශ කිරීමේ නියමු කාර්යය ආණ්ඩු විසින් සිදු කරන බවට මතයක් පවතිනවා. මේ නිසා උද්ඝෝෂණ, ගැටුම්, අධිකරණ ක්‍රියාමාර්ග බොහොමයකදී ආණ්ඩුව වගඋත්තරකරුවා වී සිටිනවා. අණපනත් කොතරම් තිබුණත්, දේශපාලන අධිකාරිය ඒවාට පක්‍ෂපාතී ද නැතහොත් විරුද්ධ ද කියන ප්‍රශ්නය මත ගැටුම් සිදුවී තිබෙනවා. නමුත් අපි දේශපාලකයන්. ඔබ මේ ක්‍ෂේත්‍රයේ විශේෂඥයන්. ජීවිතය සහ වෘත්තිය අතර විශාල පරතරයක් තිබෙන ඇතැම් වෘත්තීන් තිබෙනවා. නමුත් ජීවිතය සහ වෘත්තිය ඒකාබද්ධ කළ ක්‍ෂේත්‍රයක් වන්නේ පරිසරය ආරක්‍ෂා කිරීමයි. පරිසරවේදීන් සැලකිය යුතු පිරිසක් තමන් නියැළී සිටින කාර්යය සහ ජීවිතය අතර ඒකාබද්ධතාවක් පවත්වා ගනිමින්, විවිධ අපහාස, ප්‍රහාර පමණක් නොවෙයි, ජීවිතය පවා අනතුරට ලක් කරගෙන තිබෙනවා.

අප දේශපාලන අධිකාරියට නායකත්වය දෙන්නේ පරිසරය උදෙසා ඔබ දරන ප්‍රයත්නය සාර්ථක කරගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීමයි. මේ පරිසරය කොතරම් විනාශ කර තිබේද යන්නට සාක්‍ෂි අපේ ජීවිතයේදී නිතරම හමුවෙනවා. අප පොඩි කාලයේ බඹයක් ගැඹුරට පොළොව හාරන විට වතුර හමුවෙනවා. අද බඹ පහක්, හයක් කැපුවත් වතුර හම්බ වෙන්නේ නෑ. ඉස්සර අපේ ගම්වලට දුරින් අලි හිටියා. අද වෙන කොට අපේ ගම්බිම්වලට අලි කඩා වදිනවා. අපේ ජීවිත කාලය ඇතුළත අනුරාධපුරය පැත්තේ වතුර විකුණන කඩ දකින්න වෙයි කියලා අපි හිතුවේ නෑ. අපි වක්කඩෙන්, වැවෙන් වතුර බී තිබෙනවා. නමුත් දැන් වතුර කඩ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. අපි නොදැකපු වකුගඩු රෝගය, ශ්වසන ආශ්‍රිත රෝග දකිමින් සිටිනවා. සතියක් වහින කොට පිටාර ගලන වැව සති දෙකක් පායන කොට හිඳී යනවා. අපි හැමෝටම සිදුවී තිබෙන මේ අලකලංචිය අත්දැකීමෙන්ම දකිනවා. ගංවතුර, නාය යෑම්, සෝදාපාළුව වැනි දේවලට අමතරව සිදු වන මේ දේවල් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

මේ තත්ත්වය තවත් ඉදිරියට ගියොත් විශාල ව්‍යසනයකට අනාගත පරම්පරාව මුහුණ දෙන එක වළක්වන්න බෑ. විශේෂයෙන්ම 1980න් පස්සේ මේ තත්ත්වය වේගයෙන් වර්ධනය වුණා. පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීමේ ප්‍රතිඵල අපේ ජීවිත කාලයේ භුක්ති වින්දා වාගේම එය විනාශ කිරීමේ ප්‍රතිඵලත් දැන් භුක්ති විඳිමින් සිටිනවා. දශක තුන, හතරක කාලයේ මේ ප්‍රතිවිරෝධී ප්‍රතිඵල භුක්ති විඳිනවා නම්, තව දශක දෙක, තුනක් යන කොට කුමක් සිදු වෙයිද? ඒ නිසා දේශපාලන අධිකාරිය හැටියට අපේ ආණ්ඩුවකදී ඔබ ඉදිරිපත් කරන සැලසුම් සහ වුවමනාවන් අපෙත් සැලසුම් සහ වුවමනාවන් බවට පත් කර ගනිමින් විනාශය වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නවා. අප පිහිටුවන්නේ ඔබගේ වුවමනාවන් සහ අපගේ වුවමනාවන් අතර ප්‍රතිවිරෝධයක් ඇති වන පාලනයක් නොවෙයි. අපගේ අරමුණු සමපාත වන ආණ්ඩුවක්.

අපේ රටේ සාමාන්‍යයෙන් වැව් 32,000ක් පමණ තිබෙනවා. එයින් අද ඉතිරි වී තිබෙන්නේ 14,000යි. එයින් 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් අනතුරට මුහුණ දී තිබෙනවා. අපේ ව්‍යායාමය මේ අනතුරට මුහුණ දී තිබෙන වැව් පද්ධතිය යළි ප්‍රතිසංස්කරණය කිරීමයි. අපට සමහර වැව් පැරණි තත්ත්වයටම ගෙන එන්න බැරි වෙයි. සමහර ජල පෝෂක ප්‍රදේශවලට කර තිබෙන විනාශ යළි ඒ ලෙසම ප්‍රතිස්ථාපනය කරන්න බැරි වෙයි. නමුත් හැකි උපරිම ප්‍රමාණයකින් වැව් පද්ධතිය යළි ප්‍රතිස්ථාපනය කර මෝසම්වලින් ලැබෙන ජලය ආරක්‍ෂා කර ගත යුතුයි. අපි කළ යුත්තේ වැවක් හදන එක නොවෙයි, මේ පද්ධතියට පණ දීමයි. වැවක් හැදුවාට පද්ධතියට පණ එන්නේ නෑ. වැටෙන වර්ෂාව වාගේම පොළොවේ තිබෙන ජලයත් ආරක්‍ෂා කර ගන්න සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ආරක්‍ෂා කර ගත යුතුමයි. සාමාන්‍යයෙන් ගම්වල වැවට පහළින් තිබෙන ළිඳ කිසි දවසක සිඳී ගියේ නෑ. අද ළිඳ පමණක් නොවෙයි, වැවත් සිඳී ගිහින්.

අලි – මිනිස් ගැටුම ගැටුම නතර කරන්න ඕනෙ. ඒ වෙනුවෙන් අලි මංකඩ නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුයි. කෙටිකාලීනව විද්‍යාත්මක ප්‍රවේශයක් අරගෙන දිගුකාලීනව අලි සිටින කැලෑවල් තුළ ආහාර සුලබතාව ඇති කර මුළු වැව් පද්ධතියෙන් ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගන්න ඉඩ දිය යුතුයි. ඒ අතර යම් ප්‍රමාණයකට විදුලි වැට සහ වෙනත් ජෛව උපක්‍රම යොදා ගත යුතුයි. මේ සියල්ල සඳහා ඔබගේ සහයෝගය අපට අඛණ්ඩව අත්‍යවශ්‍යයි. ”

පරිසරය හා සොබාදහම අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ද අදහස් දැක්වීය.

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here