23
රජයත්, විකල්ප පක්ෂත් අමතක කළ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නව වැඩපිළිවෙළක් හඳුන්වාදී ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පෙරේදා (03) වව්නියාවේදී පැවති අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“සමස්ත රාජ්‍ය සේවයටම අවම වශයෙන් වැටුප් 24%කින් වැඩි කරනවා සේම ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 සිට රුපියල් 25,000 දක්වා වැඩි කර රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 57,500ක් කරමින් වත්මන් රජයේ අසාධාරණ බදු සූත්‍රය පවා වෙනස් කරනවා.
රටේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මූලිකත්වය දෙන්නේ අපේ රටේ රාජ්‍ය සේවය. වර්තමාන රජය වර්තමාන ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදු කරන්න උත්සාහ දැරූ යුගයක, සමස්ත රාජ්‍ය සේවය අඩු කරන්න කටයුතු කළ යුගයක, වැටුප් වැඩි කරන බවට බොරු ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවක සමස්ත රාජ්‍ය සේවයටම අවම වශයෙන් සියයට 24කින් වැටුප් වැඩි කරන්න කටයුතු කරනවා. වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරනවා. රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප 57, 500ක් බවට පත් කරනවා. සංයුක්ත දීමනා දීම වැටුප් දෙන දිනයේදීම දෙන්න කටයුතු කරනවා. සමස්ත රාජ්‍ය සේවයේ තිබෙන ගැටලුවලට අපි විසඳුම් දෙනවා.
සියයට 6 සිට සියයට 36 දක්වා ක්‍රියාත්මක වන බදු සූත්‍රය වෙනුවට සියයට 1 සිට සියයට 24 දක්වා රාජ්‍ය සේවකයන්ට සහ මධ්‍යම පන්තියට සහන ලැබෙන බදු සූත්‍රයක් නිර්මාණය කරමින් අපි රාජ්‍ය සේවය සහ මැද පන්තිය රකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
තැපැල් ඡන්ද හරහා ඡන්දය ප්‍රකාශ කරන්න සිටින රාජ්‍ය සේවයේ ලක්ෂ 7ක ප්‍රමාණයේ සහාය අපට දෙන්න. ඔබගේ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් නියත වැටුප් වැඩි කිරීමට කටයුතු කරනවා. බොරු පම්මෝරි දේශපාලනය පසෙක දමා සත්‍ය වශයෙන්ම රාජ්‍ය සේවකයා සුරක්ෂිත කරන්න සමගි ජන සන්ධානය රජය කටයුතු කරනවා.
රාජ්‍ය සේවයේ සිටින සියලු නිලධාරීන් සහ සමස්ත රාජ්‍ය සේවය රටට බරක් නොව රටට සම්පතක්. රටට බරක් ලෙස රාජ්‍ය සේවය හැඳින්වූයේ වර්තමාන රජය. වෙනත් විකල්ප කණ්ඩායම් මෙරට රාජ්‍ය සේවය රටේ මුදල් සම්පතට හානියක් බව කියන අවස්ථාවක රාජ්‍ය සේවය සුරක්ෂා කරන්න රාජ්‍ය සේවයට නව පුහුණු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න, ඔවුන්ගේ නිපුණතා ඉහළ දමන්න, තාක්ෂණික ලෙස දැනුමෙන් සන්නද්ධ කරන්න ඇතුළු යෝජනා ඉදිරිපත් කර සුහුරු රටකට අවශ්‍ය සුහුරු රාජ්‍ය සේවය වෙනුවෙන් හඬක් නැඟුවේ සමගි ජන සන්ධානය පමණයි. සැප්තැම්බර් 21 වැනිදායින් පසු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නැඟූ හඬ ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා.
පොලිස් නිලධාරීන්ට වර්තමාන රජය මාස තුනකට අමතර දීමනාවක් දී තිබෙනවා. සමගි ජන සන්ධාන රජයක් යටතේ එම දීමනාව දිගටම දෙනවා. පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් ප්‍රශ්නයට විසඳුම් දෙනවා. අනිවාර්යයෙන්ම ගෞරවාන්විත පොලිස් සේවාවක් රටේ ක්‍රියාත්මක කර රටේ ආරක්ෂක අංශයට අභිමානවත් ලෙස රජකාරී කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරනවා. one rank one pay ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. අධ්‍යාපන ක්ෂේත්රයේ සිටින සියලුම නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ශක්තිය දෙන්න අපි කටයුතු කරනවා.
රටේ රාජ්‍ය සේවය නූතනවාදී කරමින්, රාජ්‍ය සේවය සියලුම නිලධාරීන් නිවැරදි පුහුණුවකට, නව තාක්ෂණයෙන් හෙබි රාජ්‍ය සේවයක් බවට පත් කරන්න අනිවාර්යයෙන්ම සමගි ජන සන්ධානය කැප වෙනවා. වව්නියාව ආසනයේ ග්‍රාම සේවා වසම් 102ක් ගම් නගර 460ක ජීවත් වන ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න, සුරක්ෂා කරන්න කටයුතු කරනවා. වව්නියාව ආසනයේ දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්මක කරනවා. වව්නියාව ආසනය සංවර්ධනයේ සුර පුරයක් බවට පත් කරනවා.
උතුරු නැඟෙනහිර දැවැන්ත නිවාස ව්‍යාපෘති ගණනාවක් අපි ආරම්භ කළා. නමුත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ නිවාස වැඩසටහන් නතර කර දැමුවා. සැප්තැම්බර් 21 වැනිදා සමගි ජන සන්ධානය ජයග්‍රහණය කළාට පසුව උතුරු සහ නැඟෙනහිර පළාත්වල වගේම අනෙකුත් පළාත්වලත් ආරම්භ කළ නිවාස ව්‍යාපෘති අංග සම්පූර්ණ කරන්න මුදල් ප්‍රතිපාදන දීමට කටයුතු කරනවා. ඉඩම් නොමැති, නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ගම්උදා යුගය නැවත වතාවක් ආරම්භ කරන්න කටයුතු කරනවා. ”
සුජීව සේනසිංහ මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී අදහස් දැක්වූහ.
රක්ෂණ ශ්‍රියන්ත