Home Politics News Room : 1982 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරණ උපක්‍රම

News Room : 1982 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරණ උපක්‍රම

0
0

බලයේ සිටින දේශපාලන කණ්ඩායම හෝ පක්ෂයේ සැම විටම සංවිධානාත්මක ආකාරයට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබයි. මේ තත්ත්වය හොඳින්1982 ජනාධිපතිවරණයේදී අපට දැකගත හැකි විය. නමුත් සෙසු පක්ෂවලට ඒ හා සමාන මට්ටමින් සම්පත්, මූල්‍යමය ශක්තියක් නොමැති වීම නිසා බලයේ සිටින පක්ෂය සමඟ ඉතා අපහසුවෙන් තරග කිරීමට සිදුවේ. 1982 පැවති ජනාධිපතිවරණයේදී ඉතා සුවිශේෂී ඡන්ද ප්‍රචාරණ කටයුතු රාශියක් දක්නට ලැබිණි.

ක්‍රමෝපායන් ගණනාවක් මෙම මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත වීමක් දැකගත හැකි විය. මැතිවරණ රැලි සහ ඊට එක් කර තිබූ ප්‍රාසාංගික බව කාගෙත් අවධානයට ලක් විය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් වූ අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ ඉතා මන්දගාමී ස්වරූපයකිනි. එයට හේතුව වූයේ ඔවුන්ට අඩු පහසුකම් සහිත තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වීමට සිදුවීමයි. යම් අයුරකින් හෝ එම මැතිවරණයේ ඔවුන්ගේ ව්‍යාපාරයට යම් කිසි ජවයක් ලැබුණේ එවක තරුණ නළුවකු ලෙස සිටි විජය කුමාරතුංගගේ තිබුණු ආකර්ෂණීය බවයි.

විශාල බලයක් එකල අත්කරගෙන සිටි විශාලතම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ සුපුරුදු මැතිවරණ ක්‍රියාවලිය තුළ තමන්ට ආවේණික ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කෙරිණි. එම කාලවකවානුවේ දක්නට ලැබුණු දැවැන්ත මැතිවරණ රැලි ඔවුන්ගේ ප්‍රධාන සාධකයක් විය. විශාල ජනතාවකගේ සහභාගිත්වය සහිත රැලි එහිදී දක්නට ලැබුණි. ඊට අතිරේකව රටපුරා ව්‍යාප්තව ක්‍රියාත්මක වූ පෝස්ටර් ව්‍යාපාරයත් මෙහිදී දැකගත හැකි විය. ලංකාවේ විවෘත ආර්ථිකය සමඟ ඇතිවූ මුද්‍රණ කර්මාන්තය හොඳින් වර්ධනය වෙමින් පවතින අවධියක පැවැත්වෙන පළමු මැතිවරණය නිසාවෙන් අතිවිශාල වෛවර්ණ පෝස්ටර් ප්‍රමාණයක් මේ මැතිවරණයට එකතු වී තිබුණි. පෝස්ටර්වලට අමතරව විශාල ප්‍රමාණයේ කටවුට්, ප්ලාස්ටික් පොලිතීන්වල මුද්‍රණය කළ දේවල්, ඉටිකොළවලින් සරසන ලද සැරසිලි වැනි ආකර්ෂණීය ප්‍රචාරණ ක්‍රම මෙම මැතිවරණයේදී දක්නට ලැබිණි.

ඊට අමතරව ක්‍රමෝපායන් ගණනාවක් මෙම මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත වීමක් දැකගත හැකි විය. මැතිවරණ රැලි සහ ඊට එක් කර තිබූ ප්‍රාසාංගික බව කාගෙත් අවධානයට ලක් විය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් වූ අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ ඉතා මන්දගාමී ස්වරූපයකිනි. එයට හේතුව වූයේ ඔවුන්ට අඩු පහසුකම් සහිත තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වීමට සිදුවීමයි. යම් අයුරකින් හෝ එම මැතිවරණයේ ඔවුන්ගේ ව්‍යාපාරයට යම් කිසි ජවයක් ලැබුණේ එවක තරුණ නළුවකු ලෙස සිටි විජය කුමාරතුංගගේ තිබුණු ආකර්ෂණීය බවයි. ඔහුගේ එම තිබූ ආකර්ෂණීය බව සහ සහභාගිත්වය නිසා බොහෝ මැතිවරණ ව්‍යාපාරවලට විශාල ජන සහභාගිත්වයක් සහභාගි කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.

අනෙක් අතින් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ පූර්ණශක්තිය මේ මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදවා තිබීම දක්නට ලැබුණි. ඔවුන් පෝස්ටර් ව්‍යාපාරයේදී රෝහණ විජේවීරගේ වෛවර්ණ ඡායාරූපයක් රට පුරා බෙදා හැරිණි. එමෙන්ම රතු වර්ණය යොදා ගනිමින් වේදිකා සැරසිලි සහ ඔවුන්ගේ සාමාජිකයන්ගේ ඇඳුම් පැලඳුම් යන සියල්ල සමඟ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය නිර්මාණය කර තිබුණි. එසේම ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර අපේක්ෂකයාගේ චතුර කථිකත්වය ඉතා හොඳින් ඉස්මතු වූ අවස්ථාවක් ලෙස මෙම ජනාධිපතිවරණය පෙන්වා දිය හැකිය. විශාල ජනතාවක් ඔහුගේ කතා ඇසීම සඳහා ඒකරාශී වීමක් ද දක්නට ලැබුණි.71 කැරැල්ල සහ ඔහු සිරගතව නැවත පැමිණි පසු ප්‍රධාන මැතිවරණයක ප්‍රධාන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම නිසා වැඩි ආකර්ෂණයක් ඔහු වෙත ලැබීම මෙම මැතිවරණයේදී දැකගැනීමට පුළුවන් විය. ජනතා විමුක්ති පෙරමුණ, ඉතා ආකර්ෂණීය මැතිවරණ ව්‍යාපාරයක් මෙම මැතිවරණය තුළ ඔවුන් මෙහෙය විය.

නමුත් කොල්වින් ආර් ද සිල්වා, වාසුදේව නානායක්කාර සහ කුමාර් පොන්නම්බලම් යන අපේක්ෂකයන් තිදෙනාගෙන් එවැනි මැතිවරණ ප්‍රචාරණයක් දක්නට නොලැබුණි. මේ මැතිවරණයේදී ප්‍රධාන ආකර්ෂණීය කණ්ඩායම් දෙකක් වූ අතර එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන වශයෙන් මැතිවරණ ව්‍යාපාරය තුළ කැපී පෙනුණි. මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ ආකර්ෂණීය මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියේ මෙම කණ්ඩායම් ද්විත්වයයි.

1980 දශකයේ සිට ශ්‍රී ලංකාවේ පුවත්පත, ගුවන්විදුලිය සහ රූපවාහිනිය යන ජන මාධ්‍යයන් ත්‍රිත්වයටම ප්‍රධාන තැනක් හිමි විය. 1982 වසරේ පැවති ජනාධිපතිවරණය බොහෝ අවස්ථාවල පළමු රූපවාහිනී මැතිවරණය ලෙස හඳුන්වනු ලබයි. රූපවාහිනිය යනු මැතිවරණයක බලසම්පන්න ආයුධයකි. අප දන්නා ආකාරයට ලෝකයේ බොහෝ රටවල දේශපාලනය වෙනුවෙන් ටෙලිවිෂන් හඳුන්වාදී තිබේ. රූපවාහිනියේ ජනතාවගේ ජන මතය නිර්මාණය කිරීමට බලපාන ප්‍රධාන සාධකයකි.

ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දී ඉතා කෙටි කාලයක් තුළ පැවති මැතිවරණයක් ලෙස මෙම ජනාධිපතිවරණය හඳුන්වාදීමට පුළුවනි. එවක හඳුන්වා දුන් රූපවාහිනී මාධ්‍ය කෙසේද මෙම මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නේ කියන කාරණය සුවිශේෂී කරුණක් ලෙස ඉස්මතු වී පෙනුණි. මෙම ජනාධිපතිවරණයේදී පළමු වතාවට නාමයෝජනා භාරදීම වීඩියෝගත කිරීමට සිදුවිය. ඒ සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කලින් සූදානම් කිරීමක් ද දක්නට ලැබුණි. ඒ හරහා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මෙම ඓතිහාසික අවස්ථාව රූගත කෙරිණි.

මෙම අවධියේ ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාළිකා දෙකක් තම විකාශය ආරම්භ කර තිබුණි. ස්වාධීන රූපවාහිනිය (ITN) සහ ජාතික රූපවාහිනිය එම නාළිකා දෙකයි. එනම් මේ වකවානුව ජාතික රූපවාහිනිය ආරම්භ වූ මුල් අවධියයි. මෙම නාළිකා දෙක ඒ වන විට රූපවාහිනිය පිළිබඳව අත්දැකීම් රාශියක් ලබා තිබුණි. රූපවාහිනි මාධ්‍යය ලංකාවට හඳුන්වා දීමට පෙර අපේ රටේ ප්‍රධාන මාධ්‍යය වී තිබුණේ ගුවන්විදුලියයි. ඊට අමතරව පුවත්පත ද ජනමාධ්‍යයක් ලෙස ක්‍රියාත්මක විය. මේ කාලවකවානුව වන විට රූපවාහිනී මාධ්‍යය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වැදගත් මාධ්‍යයක් බවට පත්විය. මෙම අවධියේ ප්‍රවෘත්ති විකාශය කිරීමේ සම්පූර්ණ අයිතිය ලැබී තිබුණේ ජාතික රූපවාහිනියට පමණයි. මේ නිසා ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයේ රාජ්‍ය නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ මැතිවරණ ක්‍රියාවලිය සහ ඔහුගේ පාලන තන්ත්‍රයේ ක්‍රියාත්මක වන දේවල් පමණක් විකාශය කිරීමට සිදුවිය.

මෙනිසා අනෙක් අපේක්ෂකයන් හට ඔවුන්ගේ අවස්ථාව අහිමිවිය. නමුත් ජනාධිපතිවරණ පනත අනුව ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ යම් කෙටි කාලයක් ඔවුන් සඳහා ලබා දී තිබුණි. එම කාලය තුළින් තමන්ගේ ප්‍රතිපත්ති, අදහස් ජනතාවට ලබාදීමට අවස්ථාව උදාවිය. මේ අවධියේ මැතිවරණ ප්‍රතිඵල රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම නවමු අත්දැකීමක් විය. පළමුව මෙම ඓතිහාසික මොහොතේ අභියෝගය ලබා ගනු ලැබුවේ ප්‍රවීණ රූපවාහිනී නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මියයි.

1982 ජනාධිපතිවරණයේදී පුවත්පත යනු එවක තිබූ ප්‍රබලම මාධ්‍යයයි. ලංකාවේ මේ අවධියේ ප්‍රධාන මුද්‍රිත ප්‍රකාශන සමාගම් හතරක් තිබුණි. මොවුන් ජනාධිපතිවරණය පිළිබඳ වාර්තාකරණයේදී යම් පක්ෂපාතීත්වයකින් යුතුව වාර්තාකරණයේ නිරත වීමක් දැකගත හැකිවිය. මේ පුවත්පත් ආයතන හතරෙන් දෙකක් රජය යටතේ පාලනය විය. ලේක්හවුස් ආයතනය රජයේ ආයතනයක් වූ අතර ටයිම්ස් ආයතනය රජයට පවරාගත් සමාගමක් වශයෙන් පැවතුණි. රජය සතු මේ සමාගම් දෙක යටතේ සිංහල, ඉංග්‍රීසි සහ දමිළ මාධ්‍ය ත්‍රිත්වයම යටතේ පුවත්පත් 13ක් නිකුත් කෙරිණි. එම පුවත්පත් දහතුනේ මතය මෙහෙය වූයේ පාලනයේ සිටින නායකයා වෙනුවෙනි.

දවස පුවත්පත් ආයතනය සහ උපාලි පුවත්පත් ආයතනය යම් මධ්‍යස්ථ මතයක් ගෙන යාමට උත්සාහ දැරූහ. මීට අමතරව සම සමාජ අපේක්ෂක කොල්වින් ආර්. ද සිල්වා වෙනුවෙන් ජනදින පුවත්පත, ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නියමුවා පුවත්පත, කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව වෙනුවෙන් ඇත්ත පුවත්පත ප්‍රකාශයට පත්විය.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පුවත්පත් ඇතුළු තවත් පුවත්පත් කිහිපයක් මෙම කාලසීමාවන් තුළ අනෙක් පුවත්පත් සමඟ තරගකාරීව පවත්වාගෙන යනු දක්නට ලැබුණි.

මේ සියලු පුවත්පත් අතර කිසිදු සමාන තරගයක් නිර්මාණය නොවිණි. මෙම කාලවකවානුවේ විශාල පුවත්පත් අලෙවියක් තිබූ අතර මෙනිසා පුවත්පත්වලින් මතු කළ මතය ප්‍රබල ලෙස මහජනතාවට කාන්දු විය. ඡන්දයෙන් ජය ලබන්නේ බලයේ සිටින නායකයා බව මෙම පුවත්පත් ඔස්සේ ජනගත කෙරිණි. මෙවැනි තත්ත්වයක් තුළ දැඩි බලපෑමක් පුවත්පත උපයෝගි කරගනිමින් එල්ල කළ අතර තමන් දිනවන්න ඕන අපේක්ෂකයා කවුද කියන වග පුවත්පත ඔස්සේ ඉතා සූක්ෂ්මව ජනගත කෙරිණි. මෙමඟින් පුවත්පත ඔස්සේ ජනතා මතයට දැඩි බලපෑමක් එල්ල කිරීමට පුවත්පත් හිමිකරුවන්ට හැකි විය. බහුතරයක් පුවත්පත් බලයේ සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් පෙනී සිටින ආකාරයක් එහිදී දක්නට ලැබුණි.

ගුවන් විදුලිය මාධ්‍ය ජනමාධ්‍යයක් ලෙස ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට 1960 පැවති මහ මැතිවරණයේ සිට අවස්ථාව ලබාදුනි.

අපේක්ෂකයන් සියලු දෙනාට එක හා සමාන ගුවන් කාලයක් ලබාදීමට කටයුතු කිරීම ගුවන්විදුලියේ සුවිශේෂී කරුණක් ලෙස දක්නට ලැබුණි. ඒ කාලවකවානුවේ තිබූ එකම ගුවන්විදුලිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නිසා රාජ්‍ය ඒකාධිකාරියක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළ දැක ගත හැකි විය. ගුවන් විදුලිය සියලු අපේක්ෂකයන්ට එක හා සමානව සහ සරලව භාවිතා කළ හැකි ආකාරයට ක්‍රියාත්මක වීම ගුවන් විදුලියේ සුවිශේෂීතාවකි.

1982 යනු ගුවන්විදුලිය යටපත් කරමින් රූපවාහිනිය ඉතා ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්වෙමින් පැවති කාලවකවානුවකි. මෙලෙස ශීඝ්‍රයෙන් ජනප්‍රිය මාධ්‍යයක් බවට රූපවාහිනිය පත්වුවත් ග්‍රාමීය ජනතාව ඔවුන්ගේ මාධ්‍යය ලෙස භාවිත කළේ ගුවන්විදුලියයි. නමුත් නාගරික සමාජය තුළ යම් ආකාරයකට වැඩි වශයෙන් රූපවාහිනිය භාවිත වීමක් දැකගත හැකි විය. මේ අවධියේ රූපවාහිනී යන්ත්‍ර අඩු වශයෙන් දැකගැනීමට හැකි වුවත් වැඩි පිරිසක් සමූහයන් වශයෙන් ටෙලිවිෂන් නැරඹීම දැකගැනීමට පුළුවන් විය. ගුවන්විදුලියට සාපේක්ෂව රූපවාහිනියෙන් සහ පුවත්පතෙන් එල්ල කළ බලපෑම වැඩි බවක් හඳුනාගත හැකිය.

මේ ආකාරයට විවිධ මාධ්‍ය යොදා ගනිමින් 1982 ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන ගිය ආකාරය දැකගැනීමට පුළුවන් විය.

රුවන් පුෂ්ප කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here