Home Politics News Room : අද ජනතාව පුරුදු තැන් අතහැර අප වටා රොක්වෙලා

News Room : අද ජනතාව පුරුදු තැන් අතහැර අප වටා රොක්වෙලා

1
0

මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව පරණ පුරුදු තැන් අතහැර ජාතික ජන බලවේගය වටා රොක් වෙමින් සිටින බව එහි නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (03) ජාතික ජන බලවේගයේ ඇල්පිටිය රැලියට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අපේ ප්‍රතිවාදීන් මෙතෙක් කලක් කිය කියා හිටපු අපට දිනන්න බෑ කියන කතාව දැන් වෙනස් කරලා. දැන් කියනවා, අපි බලයට ආවොත් ඔක්කොම ඉවරයිලු. ඒ අය සමාජය හමුවේ බියක් නිර්මාණය කරනවා. පරාජය වන නායකයන් හැමදාම සමාජයට බියක් හදනවා. ඒ අය දිනන්නේ නැත්නම් ජාතිය අනතුරේලු. ආර්ථිකය අනතුරේලු. දැන් සජිත් පිලත් කියනවා, අපි ආවොත් රට අනතුරේලු. මතක තියා ගන්න ඔය හැමෝටම වඩා මේ රට ගැනත්, මේ රටේ ජනතාව ගැනත් ජාතික ජන බලවේගයේ අපට වගකීමක් තිබෙනවා. ඒ අය වගකීම් විරහිතව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක තමයි අද ජනතාව භුක්ති විඳින්නේ.

සමහරු පරාජය හමුවේ ව්‍යාජ පොරොන්දු දෙනවා. ඔවුන්ට අපි කියන්නේ දැන් ප්‍රමාද වැඩියි කියලා. ඔය අය මේ රට ගැන, මේ රටේ ජනතාව ගැන හිතුවා නම් මේ ගොඩක් දේවල් කරන්න තිබුණේ මීට බොහෝ කාලෙකට කලින්. අද නටන්නේ බලය ගිලිහී යනවා කියලා හිතනකොට. ජනතාව තමන් සමඟ නෑ කියලා හිතනකොට. මේ රටේ ජනතාව තවදුරටත් ඡන්ද ගුණ්ඩුවලට අහුවෙන්නේ නැති බව, පොඩි පොඩි දීමනාවලින් ජනතාව තවදුරටත් රවටන්න බැරි බව දැන් ඔප්පුවී තිබෙනවා. ඔවුන් දැන් පරණ පුරුදු තැන් අතහැර ජාතික ජන බලවේගය වටා රොක්වෙමින් සිටිනවා.

දැන් මේ ගොඩනැඟිල්ලේ තිබෙන ජනතා බලය නැවත හරවන්න බෑ. එය ජයග්‍රහණයෙන්ම කෙළවර කරනවා කියලා ජනතාව තීන්දු කර හමාරයි. අද අපේ ඡන්ද ව්‍යාපාරය ජනතාව අතට අරන් ඉවරයි. අපි නොදන්න විශාල මහජන බලයක් අපි වෙනුවෙන් දැන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පටන් අරන්. ඔවුන් දැන් ස්වේච්ඡාවෙන් ලියන්න කියන්න පටන් අරන්. මේක නතර කරන්න බෑ. සහතික ලෙසම අපි ජයග්‍රහණය කරනවා. හැබැයි අපට ඕන සාමාන්‍ය ජයග්‍රහණයක් නොවෙයි. මේ රට අතිශය ගැඹුරු ප්‍රපාතයකට ඇදලා දාලා තිබෙන්නේ. ඒ නිසා රට ගොඩගන්න ස්ථාවර, ශක්තිමත් තීන්දු තීරණ කිහිපයක් ගන්න තිබෙනවා.‍

අපි තවදුරටත් පීනන්නේ මේ ගලන ගඟේ විනාශකාරී දිසාවට නම් රට අගාධයට වැටෙන එක අනිවාර්යයයි. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ විනාශකාරී මාවතෙන් රට මුදා ගන්න. ඒ සඳහා ශක්තිමත් තීන්දු තීරණ ගත යුතුයි. එහෙම ගන්න නම් ජනතාවගෙන් ශක්තිමත් ජන වරමක් අවශ්‍යයි. මේ රට හරි පැත්තට හරවන තීන්දු තීරණ ගන්න හේතු වෙන්නේ ජනතාවගේ ඒ ශක්තිමත් ජනවරමයි. පළමුව මේ දේශපාලන පොර පිටිය සුද්ද කළ යුතුයි. මේ දේශපාලනය මහජනතාවට අතිශයින් පිළිකුල්. අප්‍රසන්නයි. දැන් සමාජමාධ්‍ය දියුණුවෙලා තොරතුරු පහසුවෙන් ගලා එනවා. ජාතික ජන බලවේගයේ අපි බලය අරගෙන මේ දේශපාලන පිටිය පියවරෙන් පියවර සුද්ද කරනවා.

ගම්වල පොලිසිවල නිලධාරීන් හිඟයි. හැබැයි ප්‍රභූ ආරක්ෂාවට වැඩි පිරිසක් යොදවලා. අපි මේ සියල්ල නතර කරනවා. අපි ලංකාවේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් කියන සැබෑ අර්ථය ඇති ආණ්ඩුවක් හදනවා. එවිට ජනතාවට විශ්වාසය හැදෙනවා. ජනතාව තම වගකීම් ඉටු කරන්න පෙළඹෙනවා. කර්මාන්තකරුවා, ව්‍යවසායකයා තමන්ගේ වැඩ කොටස කරන්න පටන් ගන්නවා. මේ ඇල්පිටියේ කුඩා තේ වතු හිමියා තමන්ගේ වැඩේ කරන්න පටන් ගන්නවා. ඒකට ආණ්ඩුව සහාය දෙනවා. සෑම ක්ෂේත්‍රයකටම අපේ ආණ්ඩුවේ සැලකිල්ල ලැබෙනවා. එතකොට ඔබේ ආදායම් වැඩි වෙනවා. රටේ ආදායම් වැඩි වෙනවා. රට පොහොසත් වෙනවා.

රටේ නිෂ්පාදන ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක්, පාසල් පද්ධතියක්, විශ්වවිද්‍යාල පද්ධතියක් අපි ගොඩනඟනවා. මව්පියන්ට සහ දරුවන්ට බරක් වී තිබෙන මේ අධ්‍යාපන ක්‍රමය වෙනුවට ඔවුන්ට බරක් නොවෙන නවීන දියුණු අධ්‍යාපන ක්‍රමයක් අපි ගොඩනඟනවා. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට ලස්සන කරන්න. ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට උරුම කර දෙන්න. ඒ නිසා මේ මස 21 වැනි දිනට ජාතික ජන බලවේගය දිනවන්න පෙරට එන්න කියලා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.”

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා

“අනුර කුමාර දිසානායක කියන්නේ මා ඉගෙන ගත් කැලණිය විශ්වවිද්‍යාලයේම සගයෙක්. ඒ කාලයේ විවිධාකාර මත ගැටුම් සංවාද මධ්‍යයේ තමයි අපේ ශිෂ්‍ය ජීවිත ගෙවී ගියේ. පසු කාලෙක අපි මුණ ගැහෙන්නේ එක්තරා අරමුණක් සාක්ෂාත් කර ගැනීමට. ඒ අරමුණ තමයි දශක ගණනාවක් පුරා මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු ඒ වටා රොක්වී සිටින කල්ලි කණ්ඩායම් මේ රට ඇද දමා තිබූ අගාධයෙන් මේ රට ගොඩගැනීම. තවදුරටත් දෙවතාවක් හිතන්න අපට අවශ්‍ය නෑ. මේ වන විටත් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවීමට විශ්වවිද්‍යාල ප්‍රජාව සක්‍රිය ලෙස දායකවී තිබෙන අන්දම ඔබට පෙනෙනවා ඇති. මේ රටේ සමස්ත ජනතාවගෙන් සාතිශය බහුතරයේම අදහස ඒක තමයි.

ලබන 21 වැනිදා අපි අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්නවා. ඒ ජනාධිපතිවරයා සර් කෙනෙක් නොවෙයි. සහෝදරයා කියලා හරි, නම කියලා හරි ඔබට ඇමතිය හැකි කෙනෙක්. අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ එක්තරා කඩඉමක් සනිටුහන් කරනවා. ඒ කඩඉම තමයි මේ රටේ පවුල් දේශපාලනයට සහ ප්‍රභූ දේශපාලනයට සහමුලින් තිත තබන ජයග්‍රහණය වීම. මේ වෙනස කළ හැකි හැකියාව ඇත්තේ ඔබ අතේ. ඔබේ ඡන්ද එකතු වූ තැන මහා බලයක් නිර්මාණය වෙනවා. ඒ බලය තමයි මේ රටේ මෙතෙක් දේශපාලන බලය අවභාවිත කළ බලය අවසන් කරන බලය. අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කතා ටික ඇහුවාම මේ රටට අත්වී ඇති මේ ඛේදවාචකය තේරුම් ගන්න පුළුවන්. ”

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික රත්න ගමගේ මහතා

“මෙතැනට පැමිණ ඉන්න සෑම මුහුණකම අමුතු ප්‍රබෝධයක් පෙනෙනවා. අපි දන්නවා අපේ රටේ ජනතාව බඩු මිලෙන්, ගෑස් මිලෙන්, ලයිට් බිලෙන්, ජල බිලෙන් පීඩාවට පත්වෙලා ඉන්නේ කියලා. ඔබට දහසක් ප්‍රශ්න තිබුණත් ඔබේ මුහුණුවල තිබෙනවා බලාපොරොත්තුවේ සේයාවක්. ඒක තමයි සැප්තැම්බර් 21 වැනිදා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවේ සේයාව. ”

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here