13
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟීම හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණයක් මිස පුද්ගලයෙක් හෝ පක්ෂයක් සමඟ පැවැති පෞද්ගලික අමනාපයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවට අණ පනත් ගෙන එන්නේ ද පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගෙන බව පෙන්වා දෙන ඒ මහතා එසේ නැතිව රටේ අවශ්‍යතාව මත නොවන බව ද තම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළේ පංච මහා බලවේගය කේන්ද්‍ර කරගත් රණවිරුවා, රටවිරුවා නියෝජනය නොවුණු යහපාලන ආණ්ඩුවට මුහුණ දෙන්න අවශ්‍ය දේශීය චින්තනය ගොඩනඟපු, දේශීයත්වය අගය කළ, රට ජාතිය ආගම සුරක්ෂිත කළහැකි දේශපාලන බලවේගයක් ගොඩනැඟීමට බවද පෙන්වා දෙයි.
ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුමකට එළැඹීම නිමිත්තෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (05) පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රචාරක ලේකම් හා හිනිදුම ආසන සංවිධායක තිරස ගුණසිංහ මහත්වරු ඊට අත්සන් කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
අපි අපේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන දේශපාලනය කරන්න ඕනෑ කියා විශ්වාස කරනවා. එදා බණ්ඩාරනායක, ඩී.ඒ රාජපක්ෂ මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේ අපේ රටේ පංච මහා බලවේගය නියෝජනය කිරීම එවකට පැවැති එජාප ආණ්ඩුවෙන් සිදු නොවුණු නිසයි. රෙද්ද බැනියම ඇඳපු, මහ පොළොවේ පය ගහපු, දේශීය චින්තනය අත දරපු, බෞද්ධ චින්තනයෙන් ගොඩනැඟුණු රටක එවැනි දේශපාලන සංස්කෘතියක් ආරක්ෂා නොවීම නිසා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුණා. 2015 වසරේ අපි පරාජයට පත්වුණා. ඒ සමඟ නැවත වරක් ඒ තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එජාපය සමඟ සන්ධාන ගතවුණා.ඒ සන්ධාන ගතවීමෙන් එදා බණ්ඩාරනායක හා ඩී.ඒ රාජපක්ෂ මහත්වරුන් අපේක්ෂා කළ පංච මහා බලවේගය, දේශීය චින්තනය, රණවිරුවන්, රටවිරුවන් නියෝජනය නොවුණු නිසා මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනඟන්න සිදුවුණා.
අපි අපේ රටේ දැකපු කාරණයක් තමයි බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවට අණ පනත් ගේන්නෙත් පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගෙනයි. එසේ නැතිව රටේ අවශ්‍යතාව මත නොවෙයි.18, 19, 20, 21 ගත්ත ද පුද්ගල බද්ධව ගෙනා පාර්ලිමේන්තු අණ පනත් වෙනවා. ඒ වගේම තමයි පක්ෂ බිහිවෙන්නෙත් බොහෝ වෙලාවට ප්‍රතිපත්තිමය කාරණාවලට වඩා පුද්ගලයකුගේ අවශ්‍යතාව මතයි. වර්තමාන මැතිවරණ වේදිකාවේ පුද්ගලයන් ඉලක්ක කරගෙන මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමත් ප්‍රතිවාදියා වුණත් මෙයාට වඩා අරයාට ඡන්දය දෙන්න කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තුළ පැහැදිලිව රටත්, ජාතියත්, ආගමත් ප්‍රතිපත්තියට එහා ගිය පුද්ගල බද්ධව මැතිවරණය මෙහෙයවීමක් අපි දකිනවා.
ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළේ එදා පංච මහා බලවේගය කේන්ද්‍ර කරගත් රණවිරුවා, රටවිරුවා නියෝජනය නොවුණු යහපාලන ආණ්ඩුවට මුහුණ දෙන්න අවශ්‍ය දේශීය චින්තනය ගොඩනඟපු දේශීයත්වය අගය කළ රට ජාතිය ආගම සුරක්ෂිත කරන්න පුළුවන් දේශපාලන බලවේගයක් ගොඩනඟන්නයි. අපි ජයග්‍රහණය කළා. ඒ වගේම කුමන්ත්රණයෙන් අපිව වැට්ටුවා. හොඳම උදාහරණය ලෙස ලංකාවත් බංග්ලාදේශයත් ගත්තාම ලංකාවේ ආර්ථික අර්බුදයක් තිබෙයි කියා බොහෝ අය කීවා. බංග්ලාදේශයේ ආර්ථික අර්බුදයක් තිබුණේ නැහැ. නායකයන් දෙදෙනාම ජාතිකත්වය මත බලයට ආව නායකයෝ දෙදෙනෙක්. ඒ නායකයන් දෙදෙනාගේ අවසාන ඉරණම රට අතහැර, ආණ්ඩුවත්, රාජ්‍යයත් අතහැර යෑමට සිදුවීමයි. වෙනස අපි ආණ්ඩුව පස්සට අර ගත්තා. රාජ්‍ය වැටෙන්න දෙන්නේ නැතිව රාජ්‍ය ආරක්ෂා කළා. ඒ තුළ අපට යම් ස්ථාවරත්වයකට එන්න පුළුවන් වුණා. නමුත් බංග්ලාදේශය රාජ්‍යයත් ආණ්ඩුවත් දෙකම අතහැරි නිසා අස්ථාවරත්වයට පත්ව තිබෙනවා.
ඒ කෙසේ වෙතත් අපි ප්‍රතිපත්තිමය වශයෙන් නොපිළිගත්තත් ඒ වෙලාවේ වූ සිදුවීම් මත අපි යම්කිසි සන්ධානගතවීමක් වුණා. අපි පෞද්ගලිකව දන්නවා ඒ සන්ධාන ගතවීම තුළ අපට ආදරය කළ, අපට ඡන්දය දුන්, දේශපාලනය කළ, දේශීය චින්තනය ඇති බොහෝ අය අපෙන් ඈත්වුණා. අපි පසුගිය වසර දෙකක කාලයේ අපි දැකපු කාරණයක් ඒක. අපට ඒක දැක දැකත් ඒ ඈත්වීම පිළිගන්න සිදුවුණා රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න. ඒ වගේම තමයි තවදුරටත් ඒ ස්ථාවරත්වය පවත්වාගෙන යන්නත් උත්සාහ කරනවා. ජාතික සම්පත් සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය, ඒකීය රට, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කේන්ද්‍ර කරගත් අපේ ප්‍රතිපත්තිය, බෞද්ධ සංස්කෘතිය මත මේ රට ගොඩනැඟෙන්න ඕනෑ කියන ප්‍රතිපත්තිය මත ඒවාට එකඟ නොවුණු නිසා අපේ අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි කියා තීන්දු කළා. එය පක්ෂයක් විදියට වර්තමානයේ අපේ වගකීමක් වගේම අපි සියලු දෙනා සතුව පාරම්පරික බැඳීමක් තිබෙනවා අපි විශ්වාස කරන දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න.
ඒ අනුව අද මේ රටේ දේශීය චින්තනය කේන්ද්‍ර කරගත් රටේ ඒකීයත්වය සුරක්ෂිත කරන්නත් මේ රටේ අපි විශ්වාස කරන සංස්කෘතීන් ආරක්ෂා කරන ගමන් දේශීය ආර්ථිකය කේන්ද්‍ර කරගත් ආර්ථික වැඩපිළිවෙළක් තිබෙන එකම බලවේගයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ දේශපාලන බලවේගය වෙනවා. අපට වැඩපිළිවෙළක් දැක්මක් තිබෙනවා. අපි දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා සහ මේ ජනතාව විශ්වාස කරනවා. අපි ලංකාවේ ගොවියා, ධීවරයා, කම්කරුවා, විශ්වාස කරනවා වෙනත් රටක ධීවරයකුට, ගොවියකුට, කම්කරුවකුට වඩා.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජාතික සම්පත් විකිණීම නොකළ යුතුයි. එය ප්‍රායෝගික නැහැ. අසීමිත බදු බරකින් රටේ ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. ජනතාවගේ ගිණුම්වල තිබෙන මුදල් රැගෙන රටේ ආර්ථිකය හදන්න ඕනෑ කියන විශ්වාසයක් අප සතුව නැහැ.අපට මේ රටේ ණය ගෙවන්න පුළුවන් රැකියා උත්පාදනය කරන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පිරිස අප සමඟ පසුගිය කාලයේ අත්වැල් බැඳගෙන සිටි පිරිස එක් ප්රතිපත්තියක සිටින කණ්ඩායමක් ලෙස එක්වීම සම්බන්ධයෙන් ස්තුතිය පිරිනමනවා. ඔබටත් විශාල වගකීමක් තිබෙනවා අපි නියෝජනය කරන කඳවුර ආරක්ෂා කරන්න.
පසුගිය කාලයේ අපට නොගැළපෙන ප්‍රතිපත්ති නිසා සන්ධාන ගතවීමෙන් අපෙන් ඈත්වුණු සියලු පාක්ෂිකයන්ටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට ආදරය කරන, සිරිමාවෝ මැතිනියට, රටට හා දේශීය චින්තනය පෙරටු කරගත් සියලු දෙනාට අපට, රටට ගැළපෙන ප්‍රතිපත්ති සමඟ එක්වන්නැයි ආරාධනා කරනවා.
ශ්‍රීලනිපයේ හපුතලේ ආසන සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා-
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වෙනවා. ජනාධිපතිවරණයේ දී අපේ සහාය නාමල් රාජපක්ෂ මහතාට ලබාදෙනවා. 2005 වසරේ දී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ කළේ. පසුගියදා නීතීඥවරුන් පිරිසක් අපට විරුද්ධව පෙනී සිටියා. මම මගේ පළමු ඡන්දය දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර සමඟ අත්වැල් බැඳගත්තා. අපේ ජයග්‍රහණය පටන් ගත්තේ 1994 වසරේ දී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රචාරක ලේකම්, හිනිදුම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තිසර ගුණසිංහ මහතා-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා දේශපාලන මණ්ඩලය නියෝජනය කරන 40 දෙනෙකු පමණ අද මේ අවස්ථාවට සහභාගි වෙනවා. වමේ දේශපාලනය බෙදුණු හැම අවස්ථාවකම රට වැටුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායක කුඩාබණ්ඩාර ඉලුක්පිටිය, කොත්මලේ ආසන සංවිධායක පරාක්‍රම දිසානායක, බේරුවල ආසන සංවිධායක ප්‍රභාත් එදිරිවීර, මිනුවන්ගොඩ ආසන සංවිධායක ඉෂාන් අබේරත්න, කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලකිඳු ගජසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් නාමල් රාජපක්ෂ මහතාට සහාය පළකිරීමට එක්ව සිටියහ.
ඡායාරූප – සුදත් නිශාන්ත
ඡායාරූප – සුදත් නිශාන්ත
මහින්ද අලුත්ගෙදර සහ රක්ෂණ ශ්‍රියන්ත