Home Politics News Room : රට ගොඩගත හැකි හොඳම ප්‍රතිපත්තිය තිබෙන්නේ අපට

News Room : රට ගොඩගත හැකි හොඳම ප්‍රතිපත්තිය තිබෙන්නේ අපට

0
0

අපේ රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශක්තිමත් වැඩපිළිවෙළක් ඇති බවත් ආර්ථික වර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය වැදගත් බවත් පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ ධනය මෙන්ම සේවකයන් ද දුෂ්කරතා මැද විශාල වැඩ කොටසක් සිදු කරන බවත් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

අද වන විට මේ රට ගොඩනැඟීමට හොඳම ප්‍රතිපත්තිය හොඳම දර්ශනය සහ වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් දක්ෂතම හැකියාව සහිත පළපුරුද්ද, කළ පුරුද්ද අත්දැකීම, උගත්කම, බුද්ධිය ඇති දක්ෂයන් සිටින බවත් සමගි ජන බලවේග දර්ශනයෙන් මෙරට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් පසුගියදා (04) ගාල්ලේදී පැවැත්විණි. එම රැලිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

‘‘සමගි ජන සන්ධානයට රට ගොඩගැනීමට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. සමගි ජන සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බොහෝ දේවල් කරන්න බැරි බව කියූ ආණ්ඩුව දැන් සමගි ජන බලවේගයේ අඩි පාරේ ගමන් කරන්න පටන් අරගෙන තිබෙනවා.

ජවිපෙ සහ ජනාධිපතිවරයා එකට එකතු වෙලා, අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක විවිධ කටකතා ප්‍රචාරය කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අපි එකතු වෙනවා කියා විවිධ අසත්‍ය පුවත් ආණ්ඩුව සමාජගත කරනවා. 21 වැනිදාට සමගි ජන සන්ධානය ජයග්‍රහණය කර අපි එකතු වෙන්නේ මේ රටේ ලක්ෂ 220ක් වන පොදු ජනතාව සමඟයි.

අපි පරාජිත, අන්ත දූෂිත දේශපාලන හවුල්වලට ගමන් කරන්නේ නෑ. මාලිමාවේ නායකයාට සහ රනිල් වික්‍රමසිංහට ලොකු ආශාවක් තිබෙනවා එකට එකතු වෙන්න. ඒ නිසා ඔවුන්ට පුළුවන් අවශ්‍ය නම් එකතු වෙන්න. නමුත් සමගි ජන සන්ධානයත් සමගි ජන බලවේගයත් කිසිම හේතුවකට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රමුඛ රට විනාශ කළ කල්ලිය සමඟ එකතු වෙන්නේ නෑ.

රට ගොඩනැඟීමට හොඳම ප්‍රතිපත්තිය සහ හොඳම කණ්ඩායම සිටින්නේ සමගි ජන සන්ධානයේ. අත්දැකීම්, උගත්කම, කළපුරුද්ද තිබෙන දක්ෂයන් පිරිස සිටින්නේ සමගි ජන සන්ධානය සමඟයි. අපේ දර්ශනය, වැඩපිළිවෙළ මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩගන්න කටයුතු කරනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පෞද්ගලික අංශය විශාල දායකත්වයක් දෙනවා. පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ ප්‍රාග්ධනය වගේම එහි සේවය කරන දහඩිය කඳුළු හෙළන වැඩ කරන ජනතාව, සේවකයන් විශාල වැඩ කොටසක් කරනවා. ඔවුන්ගේ උදාර සේවය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කර තිබෙනවා.

පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ රෙගුලාසි ගෙන එන්න අපගේ ප්‍රතිපත්තිය හරහා ප්‍රතිඥා ලබාදී තිබෙනවා. ඒ වගේම සේවක අයිතිවාසිකම් සුරකින සේවක ප්‍රඥප්ති ක්‍රියාත්මක කරන්න අපි අනිවාර්යයෙන් කටයුතු කරනවා.

ගාලු දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රය, තේ කර්මාන්තය, කුරුඳු කර්මාන්තය, ධීවර කර්මාන්තය වැඩිදියුණු කරමින් ගාලු දිස්ත්‍රික්කය ගෝලිය ආර්ථික කේන්ද්‍රස්ථානයක් කරන්න අපි කැපවෙනවා.

ගාලු දිස්ත්‍රික්කයේ තරුණයන් වෙනුවෙන් තරුණ සංවර්ධන නිපුණතා මධ්‍යස්ථාන ආරම්භ කරනවා. තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව වැනි ක්ෂේත්‍ර හරහා තරුණ පරපුර ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස කේන්ද්‍ර කරගෙන නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කරන්න කටයුතු කරනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම පාසලක්ම සුහුරු පාසලක් කරන්නටත් පියවර ගන්නවා. ගාල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ නියැළෙන සියලු දෙනාට පොහොර රුපියල් 5000ට දෙන්න කටයුතු කරනවා.

21 වැනිදා රටේ බිහි වන්නේ ලක්ෂ 220ක සාමාන්‍ය ජනතාවගේ යුගයයි. කවුරුත් කැමැති නෑ සදාකාලිකව දුප්පතුන් වෙලා ජීවත් වෙන්න. කවුරුත් කැමැති නෑ සදාකාලිකව වහලුන් වෙන්න. සෑම දුප්පත් පවුලකටම මාසයකට රුපියල් 20,000ක් ලබාදෙමින් අවුරුදු දෙකකින් දුප්පත්කමෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

රටේම දුප්පත්භාවයෙන් පෙළෙන ජනතාව එයින් මුදාගෙන දෙපයින් නැඟී සිටින්න හැකි ආත්ම ගරුත්වය රැකගෙන ආත්මාභිමානයෙන් ජීවත් වීමට හැකි පරපුරක් නිර්මාණය කරන්න සමගි ජන සන්ධාන රජයකින් කටයුතු කරනවා. කුඩා ගම් නගරවල ජීවත් වන සියලුම දෙනා ශක්තිමත් කරමින් රටේ සංවර්ධනයේ ස්වර්ණමය යුගයට 21 වැනිදා ලබන ජයග්‍රණයත් සමඟ සියලු දෙනාට එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයිද පැවසීය.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා –

‘‘සමගි ජන සන්ධානයට ලැබෙන ඡන්ද ප්‍රමාණය තවත් වැඩි කර ගැනීම සඳහා සමගි ජන බලවේගයේ නොවන, 2019 ඡන්දය නොදුන් පිරිස එකතු කර ගැනීම සියලු දෙනා එකමුතුව ක්‍රියා කළ යුතුයි. එවිට සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කළ හැකියි.

අද වන විට සජිත් පරාජය කරන්න, සමගි ජන සන්ධානය පරාජය කරන්න වැඩිපුරම අවශ්‍යතාව තිබෙන්නේ රනිල්ට. රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ වේදිකාවල වැඩිපුරම දෝෂාරෝපණය එල්ල කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට.

සජිත් ප්‍රේමදාස මහතා යමක් කිරීමට උත්සාහ කළොත් එය අත්හරින පුද්ගලයෙක් නොවෙයි. සක්වළ වැඩසටහන, හුස්ම වැඩසටහන ආරම්භ කළේ රජයෙන් කිසිම මුදලක් ලබාගෙන නොවෙයි. සක්වළ වැඩසටහන යටතේ පාසල් 380කට සුහුරු පන්තිකාමර ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න හැකියාව ලැබුණා. සජිත් ප්‍රේමදාස මහතා දිනන එක නවත්වන්න කිසිම කෙනෙකුට බෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා –

‘‘සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන සන්ධානය වෙනුවෙන් සැමට ජයක් අත් කරදෙන වැඩපිළිවෙළ සකස් කරද්දී ප්‍රමුඛත්වය දුන්නේ රාජ්‍ය සේවයට. වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වන්නේ දාහතර ලක්ෂයක් වන රාජ්‍ය සේවකයන් ලක්ෂ 8ට අඩු කිරීම. රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආවොත් 2028 වන විට රාජ්‍ය සේවයට මේ රටේ ඉතිරි වන්නේ ආයතන 4යි. පොලිසිය, හමුදාව, අධිකරණය, බන්ධනාගාරය.

රටේ බලය ඉල්ලන එක කණ්ඩායමක් සූදානම් වෙලා ඉන්නේ රටේ රාජ්‍ය සේවය ඈවර කරන්න. අනිත් කණ්ඩායම සූදානම් වෙලා ඉන්නේ බලහත්කාරයෙන් රාජ්‍ය සේවය තමන්ට අවනත කරගන්න. නමුත් සජිත් මේ විකල්ප දෙකේම නොවෙයි ඉන්නේ.”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා –

‘‘මේ රටේ දිශානතිය වෙනස් කරන්න ඕනෑ. ඉතිහාසයේ පළමු වතාවට වමේ පක්ෂ තුනකට බෙදිලා එන පළමු අවස්ථාව මේක. නාමල් රාජපක්ෂ, අනුර දිසානායක, රනිල් වික්‍රමසිංහ ඡන්ද ලක්ෂ 50ක් නැත්නම් 60ක් බෙදා ගන්න විශාල සටනකට යොමු වෙලා ඉන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, නලීන් බණ්ඩාර ජයමහ මහත්වරුද මෙහිදී කතා කළහ.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here