Home Politics News Room : සංස්කෘතියට හානි වන කිසිම තීන්දුවකට ඉඩක් නෑ

News Room : සංස්කෘතියට හානි වන කිසිම තීන්දුවකට ඉඩක් නෑ

1
0

රටේ සංස්කෘතියට හානි වන කිසිම දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැඟුණු අප මාතෘභූමියේ අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ වගකීම ද තමා පිහිටුවන ආණ්ඩුවක් සතුව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා, අනාගත දරු පරම්පරාව ගමත් පන්සලත් පල්ලියත් කෝවිලත් සමඟ සම්බන්ධ කර සංස්කෘතීන්ට ගරු කරන සමාජයක් බිහිකිරීමේ වගකීම තිබෙන බව ද සංස්කෘතිය ආරක්ෂා කිරීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ද පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම නගරයේ පැවති ජනරැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අපි හැමදාම මේ රටට ආදරය කළ දේශපාලන බලවේගයක්. අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නැහැ. ඒ වගේම තමයි හැම විටම මේ රටේ මිනිස්සු ගැන හිතලා අපි තීන්දු තීරණ ගත්තා. එක වෙලාවක එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරන්න අපි තීන්දුව ගත්තා. ඒ මේ රටේ ඉපදෙන්න ඉන්න පරම්පරාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. මංමාවත් ටික හැදුවා. ඇළවේළි ටික හැදුවා. කොළඹ පාසල්වලට සමාන පාසල් ගමට ගෙනාවා. ගමේ දරුවට නගරෙ දරුවගේ අධ්‍යාපනය ගන්න පුළුවන් පරිසරයක් එදා අපි හදලා දුන්නා. කොළඹට, මහනුවරට පමණක් සීමා වුණු රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ රැකියාවලට ගමේ දරුවටත් අවකාශය හදා දුන්නා. අවාසනාවකට 2015 දී වෙනසක් කළා. මේ රටේ සියලු දේ අතරමඟ කඩාගෙන වැටුණා. මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපති මේ රටේ සංවර්ධනය නවත්තපු තැනින්, රට ඉදිරියට අරන් යන්නේ කොහොම ද කියන කාරණයයි මට තිබෙන අභියෝගය වෙන්නේ.

මේ රටේ ඒකීය බව පිළිබඳව අපි විශ්වාස කරනවා. මේ රටේ රණවිරුවාට නිසි ගෞරවය අපි දෙන්න ඕනෑ. මහා සංඝරත්නයට අපහාස කරනවා කියන්නේ මේ රටේ බෞද්ධ සංස්කෘතියට අපහාස කළා වගෙයි. කේන්ද්‍රීය වූ සංස්කෘතිය විනාශ කර සංස්කෘතිකමය වශයෙන් යටත්විජිතයක් බවට පත්කර ගන්න දේවල් ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් මේ රට බේරාගත් රණවිරුවාට අපහාස කරනවා. ඔවුන්ගේ ජීවිත පූජා කර තමයි ඊළඟ පරම්පරාවට නිදසසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හැදුවේ. ඒ අයට නිසි ගෞරවය අපි දෙන්න ඕනෑ. ඔවුන්ගේ සුබසාධනය අපි බලන්න ඕනෑ. ඒ වගේම තමයි රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලු අපි විසඳනවා. රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම්, ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපති බිහිකරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමක්. ලෝකයේ සමහර රටවල්වල යුද්ධ යන විට පෙනි පෙනී දරුවෝ, සිවිල් පුරවැසියෝ, කාන්තාවෝ ඝාතනය කරනවා. අපි ලෝකෙටම පේන්න සජීවීව පුංචි දුවා දරුවෝ බේරගත්තා. තරුණයන් මුදාගත්තා.12500ක් පුනරුත්ථාපනය කළා, රැකියා දුන්නා. එහෙම කරලත් ලෝකය අපේ රණවිරුවා දකින්නේ යුද අපරාධකරුවෙක් විදිහටයි.

ඒ අපේම ඇතැම් දේශපාලනඥයන් තමන්ගේ පටු වාසිවලට ජාත්‍යන්තරයට ගිහින් අපේ රණවිරුවො පාවලා දුන්නා. අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා කියා කිව්වා. අපහාස කරන්න පටන් ගත්තා. ඒ නිසා අපි දැඩි සේ විශ්වාස කරනවා, මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගත් දේශපාලන බලවේගයක් අපි ගොඩනඟා ගන්න ඕනෑ. අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට අමාරුයි. වර්තමානයේ තිබෙන නිෂ්පාදන පිරිවැය වැඩියි. විදුලි බිල, ප්‍රවාහනය යන සියලුම කාරණා එක්ක අසීමිත, අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් බදු අඩු කළා. අපට චෝදනා කළා. අපි අදත් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දරාගත හැකි බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕනෑ කියන එක. රටේ ජනතාවට දරාගන්න බැරි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා කියා රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම් වැඩි වෙන්නෙත් නැහැ. රටේ ජනතාවට සාධාරණයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම සාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපි දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කරනවා. අද සමහර දේශපාලනඥයන් හිතනවා පිටින් ගෙනත් කන්න දෙන එක ලාභයි කියලා. ඒක අපි විශ්වාස කරන්නේ නෑ. මේ රටේ වගා කරන්න පුළුවන් හැම භෝගයක්ම අපි වගා කරන්න ඕනෑ.

ඒ වගා කරන්න අවශ්‍ය පහසුකම් ටික අපි දෙන්න ඕනෑ. අඩු භූමි ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් තාක්ෂණය දෙනවා. ඒ තුළ මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන් හැම පියවරක්ම ගන්න කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ධීවර කර්මාන්තය ද දියුණු කරන්න පියවර ගන්නවා. දරුවාගේ බුද්ධි මට්ටමට, නිපුණතාවට ගැළපෙන රැකියාවක් ලබාගන්න තමයි තරුණයන් බලාපොරොත්තු වෙන්නේ. රැකියා ලබාගන්න තවදුරටත් දේශපාලන පක්ෂ හෝ දේශපාලනඥයන් පිටුපස යන්න මේ රටේ තරුණ පරම්පරාව සූදානම් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි හදන්නේ තරුණයන්ගේ ආණ්ඩුවක්. තරුණයන්ගේ ආණ්ඩුවකින් නිපුණතාවට, හැකියාවට, පුහුණුවට පළපුරුද්දට අභිමානයෙන් යුතුව රැකියාවක් කරන්න පුළුවන් පරිසරය මෙන්ම වපසරිය අපි නිර්මාණය කරනවා. කර්මාන්තපුර සඳහා ආයෝජකයන් ගේන්න ඕනෑ.

නීතිඥ චමරි පෙරේරා මහත්මිය –

මේක රටේ තීරණාත්මක මැතිවරණයක්. 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා. හමුදාවට වැඩිම තරුණ තරුණියන් පිරිසක් එකතු වුණේ මේ වයඹ පළාතෙන්. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඒ නිසා එතුමාට සලකන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට ණය නැහැ. යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා මේ රට සංවර්ධනය කරන්නත් කටයුතු කළා. දැන් නාමල් රාජපක්ෂත් ජනාධිපති සටනේ ඉන්නවා. අපි පළමුව බලන්නේ මාතෘභූමියයි.

මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට ඡන්දය දෙනවා. නාමල් රාජපක්ෂ හැර අනෙකුත් අපේක්ෂකයන් සියලු දෙනා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියනවා. වයඹ පළාත් සභා මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – සුදත් නිශාන්ත

මහින්ද අලුත්ගෙදර පුත්තලම සිට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here