Home Politics News Room : අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් වූ හැටි

News Room : අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් වූ හැටි

0
0

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ලංකා නිදහස් පනතට 1947 නොවැම්බර් මස අත්සන් කිරීමෙන් පසු ඔවුන් අත්සන් කළ ගිවිසුම අනුව කටයුතු කිරීමට 1948 පෙබරවාරි 04 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ලංකාවට හැකියාවක් ලැබිණ. ඒ අතරතුර ඩී.එස්. සේනානායක රජයේ සභානායක සහ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඇතුළු තවත් ඇමැතිවරු පස්දෙනෙක් සමඟ එම පක්ෂයෙන් ඉවත්වී මූලිකව අත්සන් කළ පරිදි ආර්ථික හා සංවර්ධන කටයුතු නිසිපරිදි ඉටුනොවන නිසා, එම ගිවිසුම පරිදි නිසිලෙස ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සියලු දෙනාම තම අමාත්‍ය ධුරවලින් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස්වන බවත් ප්‍රකාශ කරමින් ඉල්ලා අස්විය.

එහි මූලික පියවරක් වශයෙන් ලංකාව සමූහ ආණ්ඩුවක් කිරීමේ අදහසින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස්වූ පිරිස් සමඟ තවත් අයද එක්කර ගනිමින් “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නමින් දේශපාලන පක්ෂයක් ආරම්භ කරන ලදි.

බණ්ඩාරනායක මහතා තම පක්ෂයේ ප්‍රතිපත්ති හා සමූහාණ්ඩුවක් ලංකාවේ පිහිටුවීම පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලුම සාමාජික රටවල්වලට දන්වා යැවිණ.

ඒ අනුව බණ්ඩාරනායක මහතා විසින් 1957 අප්‍රේල් මස 27 වන දින පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රමය සංශෝධන කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටියහ. බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කළ මෙම ආණ්ඩුක්‍රම සංශෝධනය ගැන සලකා බැලීමටත් ඔවුන්ගේ නිගමනයන් හා නිරීක්ෂණයන් ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ එවකට පැවති සෙනෙට් සභාවේත් සංයුක්ත ඒකාබද්ධ කමිටුවක් පත්කරනු ලැබීය.

දීර්ඝ ලෙස සාකච්ඡා

එම කමිටුවෙන් බලාපොරොත්තු වූයේ ලංකාව සමූහාණ්ඩුවක් බවට පත් කිරීමට, මූලික බලතල පිරිනැමීම, සෙනෙට් සභා පිහිටුවීම, පත්කළ මන්ත්‍රීවරුන්ගේ සේවා තත්ත්වය සහ ඔවුන්ගේ සේවා කාලය සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ අධිකරණ සේවා කොමිසම පත්කිරීම සහ ඒවා ක්‍රියාත්මක විය යුතු ආකාරයද වේ.

එම කමිටුව මඟින් දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සහ කරුණු විමසමින් තම මණ්ඩලයේ නිගමනයන් හා තීරණයන් බොහෝදුරට නිමාකරමින් තිබූ වකවානුවක 1959 සැප්තැම්බර් මස 26දා බණ්ඩාරනායක මහතාගේ හදිසි අභාවය නිසා එම කමිටුවේ කටයුතු තරමක අඩාළ තත්ත්වයකට පත්විය.

බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු පැවති මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා බලයට පත්වී අග්‍රාමාත්‍ය ධුරයට පත්වී ඔහු විසින් ආණ්ඩුක්‍රම රාජඥා පනත සංශෝධනය කිරීම පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සහයෝගය ඉල්ලා සිටිය මුත් එවකට විපක්ෂයේ සිටි මන්ත්‍රීවරු සියල්ලක්ම මෙන් එයට බලවත් විරෝධය පළ කිරීම නිසා ඩඩ්ලි සේනානායක රජයට ආණ්ඩුක්‍රම සංශෝධන කිරීම ගැන ඉදිරියට කිසිම දෙයක් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිය.

එයට පසු 1970දී බලයට පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් 1970 ජූලි මස 11 වන දින එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ සෑම මන්ත්‍රීවරයෙක්ම ඇතුළත් වන පරිදි අණ්ඩුක්‍රම සම්පාදන මණ්ඩලයක් පත්කිරීමටත් එමගින් ලැබෙන සහයෝගය පරිදි නව ආණ්ඩුක්‍රම පනතක් ගෙන ඒමටත් අදහස් කර මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස පත්කිරීමටත් කටයුතු කළහ.

එම අදහස අනුව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් සියලුදෙනාම පාර්ලිමේන්තුව තුළදීම රැස්වී එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර එම මන්ත්‍රීවරුන්ගේ අදහස් හා මත විවාදයට පත්කර 1972 මැයි මස 2දා එය සභා සම්මත කර ගනු ලැබීය.

එම සම්මතවීමත් සමඟ ශ්‍රී ලංකාව ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත්වී එතෙක් පාර්ලිමේන්තුව නමින් හැඳින්වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන නාමය ඉවත්කර ඒ වෙනුවට “ජාතික රාජ්‍ය සභාව” ලෙස ව්‍යවහාරයට එක්විය.

ඒ හේතුව නිසා එතෙක් සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පැවති නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන නාමය මැකී ගිය අතර පසුව එතෙක් පැවැති උත්තර මන්ත්‍රී මණ්ඩලය නොහොත් සෙනේට් සභාව සහ එහි නාමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

එසේ වරින්වර ප්‍රතිස්ථාපනය වූ ‘ජනරජ’ ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද “ජාතික රාජ්‍ය සභාව” 1972 මැයි මස 22 වැනිදා ආරම්භවූ අතර, එහිදී කථානායකවරයා පමණක් පත්කරගෙන ඊළඟ රැස්වීම 1972 ජූනි මස 23දා නැවත රැස්වීමට තීරණය කර ඇති බවත් එදිනට රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට ද තීරණය කර පාර්ලිමේන්තුව කල් තැබිණ.

එම නැවත රැස්වීමට ගත් තීරණය අනුව පාර්ලිමේන්තුව ජූනි 23දා රැස්වී ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර වැඩි ඡන්දයෙන් සභාසම්මත කර ගන්නා ලදි.

එම සම්මත කරගත් ව්‍යවස්ථාව අනුව එතෙක් 1948 සිට පවත්වාගෙන පැමිණි ව්‍යවස්ථාවෙහි තිබූ විශාල වෙනස්කම් රැසක් සිදුකිරීමට ද සිදුවිය.

සිදුකරන ලද වෙනස්කම්

එම සිදුකරන ලද වෙනස්කම් අනුව මෙතෙක් කල් අග්‍රාණ්ඩුකාරවරයා විසින් අත්සන් කළයුතු රාජ්‍ය සභාවේ සම්මත වන සියලුම පනත් සියල්ල කථානායකවරයා විසින් අත්සන් කර නීතිය බවට පත්කිරීම රටේ ආරක්ෂාව අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරීම, සුළු ජාතීන් වෙනුවෙන් එතෙක් පැවති මන්ත්‍රීවරු පත්කිරීමේ ක්‍රමය අහෝසි කිරීම, වසර පහක්ම ක්‍රියාත්මක වෙමින් පැවති පාර්ලිමේන්තු කාලය වසර හය දක්වා දීර්ඝ කිරීම, මැතිවරණ කොට්ඨාසයක් සඳහා ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 75000 සිට 90,000 දක්වා සමන්විත යුතුය යන්නද ඇතුළත් විය.

එදා 1972 මැයි මස 22 දින ආරම්භ කරන ලද ජාතික රාජ්‍ය සභා ක්‍රමය 1978 සැප්තැම්බර් මස 6 වන දින දක්වා පවත්වා ගෙන ගිය අතර, පසුව 1970 දී ¾ක් පාර්ලිමේන්තුවේ තිබූ බලයටද අභියෝගයක් එල්ල කරමින් 1977දී පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන මහතා 5/6ක පාර්ලිමේන්තු මන්ත්‍රී බලයක් අත්පත් කරගෙන ඉතා විශිෂ්ට ලෙස බලයට පත්විය.

ඉදිරිපත් කරන ලද සංශෝධන

එයට පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රාජ්‍ය සභාවට ඉදිරිපත් කරන ලද සංශෝධනයක් මඟින් එවකට අග්‍රමාත්‍ය ධුරයේ කටයුතු කළ එතුමාම පළමුවන විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ ආරම්භ කළේ මුළු ලංකා තලයම ගිගුරුම් දෙමින් රතිඤ්ඤා සහ රබන් හඬ කිරිබත් සංග්‍රහ මධ්‍යයේය.

එම නීති සම්පාදනයත් සමඟ එතෙක් පැවති පාර්ලිමේන්තු සම්ප්‍රදානයන් සහ ක්‍රම සහ විධිවල විශාල වෙනසක් සිදුවිය.

එම නවතම වෙනස්කම් අනුව අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම්වල මූලාසන ජනාධිපතිවරයාට පැවරීම පාර්ලිමේන්තු සැසිවලට ජනාධිපතිවරයාට පැමිණීමට අවස්ථාව උදාවීම, ජනාධිපතිවරයාට විරුද්ධව අධිකරණයේ නීතියක් මඟින් කිසිම දෙයක් සිදු නොකිරීම ආදිය මෙන්ම ආණ්ඩුකාරවරයා විසින් අත්සන් කරන ලද සියලුම ලේඛන ජනාධිපතිවරයා විසින් අත්සන් කර සහතික කිරීම ද ඇතුළත් වේ.එසේ ප්‍රථමයෙන්ම අගමැති මැදුරේ සිට ජනාධිපති මැදුරට ගිය ප්‍රථම අගමැතිවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකා ඉතිහාසයට එක්කළ අමරණීය සිද්ධියක් ලෙසද සැලකිය හැකිය.

මෙම ලංකා ඉතිහාසයට එක්වූ ඓතිහාසික සිද්ධීන් සිහිපත් කිරීමට සහ ඒවා අගය කිරීම සඳහාත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාර්යභාරය අගය කිරීම සඳහාත් ස්තුති යෝජනාවක් 1978 පෙබරවාරි මස 03 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සෑම මන්ත්‍රීවරයකුගේම ආශීර්වාද සමඟම ඒකච්ඡන්දයෙන් සභා සම්මත කරනු ලැබීය.

ස්තුති යෝජනාව

එම ස්තුති යෝජනාව එවකට ජේ.ආර්. ජයවර්ධන රජයේ සභානායක පළාත් පාලන හා නිවාස ඉදිකිරීමේ අමාත්‍යව සිටි ආර්. ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර, එය ස්ථිර කරන ලද්දේ එවකට විරුද්ධ පක්ෂයේ නායකයාව සිටි ඒ අමිර්තලිංගම් මහතා සහ නුවරඑළිය මස්කෙළිය ආසනයේ තුන්වන මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ සංචාරක හා ග්‍රාමීය සංවර්ධන ගරු අමාත්‍ය එස්. තොණ්ඩමන් යන මහත්වරුන් විසිනි. ඒ වන විට පාර්ලිමේන්තුවේ කථානායකවරයාව සිටියේ කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි එවකට එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයාව සිටි ප්‍රසිද්ධ පුවත්පත් කතුවරයෙක් වූ ආනන්ද ද සිල්වා අල්විස් මහතාය.

ජාතික රාජ්‍ය සභාවේදී 1978 පෙබරවාරි මස 3 වන දින සම්මත වුණ යෝජනාවෙන් ප්‍රකාශ වුණේ “ප්‍රථමයෙන්ම රාජ්‍යය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන්ද අනතුරුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අමාත්‍යවරයකු වශයෙන්ද ජාතික රාජ්‍ය සභාවේ විරුද්ධ පාර්ශ්වයේ නායක වශයෙන්ද අවසානයේ ජාතික රාජ්‍ය සභාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද අග්‍රාමාත්‍ය ගරු ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් අවුරුදු විසිනවයකට අධික කාලයක් මුළුල්ලේ පාර්ලිමේන්තු ආයතන ආරක්ෂිතව තබා ගැනීම සඳහා ගන්නා ලද ප්‍රයත්න මගින්ද උසස්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පිළිපැදීමෙන්ද තම විචක්ෂණභාවයෙන් හා විශාරද දේශපාලන ඥානයෙන්ද ඉතා උසස් සදාචාරශීලී හා සුචරිතවාදී තත්ත්වයනට ගැළපෙන අන්දමට සිය පෞද්ගලික දිවි පැවැත්මෙන් හා එහි ආදර්ශවත්භාවයෙන් ද කරන ලද සේවය මේ සභාව උසස් ලෙස අගය කරන බව වාර්තාකර තැබීමෙන් එතුමාණන් 1978 පෙබරවාරි මස 4 වන දින ශ්‍රී ලංකා ජනරජයේ තෝරා පත්කර ගනු ලැබූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස එම ධුරය බාර ගැනීම සැමරීම සඳහා මේ අවස්ථාව උපයෝගී කර ගැනීමට මේ සභාව කැමැත්ත පළකර සිටියි” යනුවෙනි.

විධායක ජනාධිපති

පසුව කාලයාගේ ඇවෑමෙන් “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” නමින් කෙටුම්පතක් එවකට අග්‍රාමාත්‍යව සිටි ආර්. ප්‍රේමදාස මහතා විසින් 1978 ජූලි මස 25 වන දින ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කර සම්මත වීමෙන් පසු එය 1978 සැප්තැම්බර් මස 07 වන දින සිට ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව විධායක ජනාධිපතිවරයා රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත්කර ගැනීම, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර ගණන 196 දක්වා වැඩි කිරීම ආදියද එමගින් ක්‍රියාත්මක කිරීමටද නියමිතව තිබිණ.

පසුව නව ව්‍යාවස්ථා නීති – රීති අනුව පවත්වන ලද පළමුවන ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් මස 21දා මැතිවරණ කොමසාරිස්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්විණි.

එම මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජයවර්ධන මහතා ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ද, ලංකා සමසමාජ පක්ෂයෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක රෝහණ විජේවීර මහතා ද, නව ලංකා සමසමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර මහතා සහ සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයෙන් කුමාර් පොන්නම්බලම් මහතා ද තරග කළහ.

තලල්ලේ ප්‍රඤාරත්න විදානගමාච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here