Home Politics News Room : ඡන්දය වෙනුවට පැවැත්වූ ඡන්දය 1982 ජනමත විචාරණය

News Room : ඡන්දය වෙනුවට පැවැත්වූ ඡන්දය 1982 ජනමත විචාරණය

0
0

1982 ජනමත විචාරණයේ ප්‍රචාරක කටයුතු වශයෙන් කළ ඡන්ද සලකුණු ප්‍රදර්ශනය ගැන මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කියයි. සෑම කෙනෙකුගේම බලාපොරොත්තු කඩ කරමින් ජනමත විචාරණ පනතේ 50 වැනි වගන්තිය උල්ලංඝනය කොට ඡන්ද ලකුණු නිදහසේ ප්‍රදර්ශනය කර තිබේ.

1982 ජනමත විචාරණය පවත්වන ලද්දේ, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය වසර 6කින් දිගු කිරීමේ විකල්පය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබාදෙනු සඳහාය. එය පළමුවන මෙන්ම, මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එකම ජාතික ජනමත විචාරණය වෙයි. 1982 ඔක්තෝම්බර් මාසයේදී, සය වසරක නව නිල කාලයකට ජනාධිපති ලෙසින් තේරී පත් වූ, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින්, මෙම ජනමත විචාරණය කැඳවන ලදි. 1983 අගෝස්තු මාසයේදී, එවකට පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට නියමිතව තිබියදී, ජයවර්ධන මහතා මුහුණ දුන් ගැටලුව වූයේ, සාමාන්‍ය ලෙසින් මහ මැතිවරණයන් පැවැත්වුව හොත්, ඔහුගේ පාලක එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුව තුළ භුක්ති විඳිමින් සිටි අතිමහත් සුපිරි බහුතරය අහිමි වීමේ අවදානමයි. ඔහු එබැවින්, පාර්ලිමේන්තුවෙහි අවයවයන් නොවෙනස්ව තබමින්, එහි ආයු කාලය දික් කිරීම සඳහා ජනමත විචාරණයක් යෝජනා කළ අතර, එමඟින් එක්සත් ජාතික පක්ෂය විසින් එහි තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය පවත්වාගෙන යෑමට ඉඩ සලස්වා ගැනීමට සිතීය.

ජනමත විචාරණය

1982 ජනමත විචාරණයේ ප්‍රචාරක කටයුතු වශයෙන් කළ ඡන්ද සලකුණු ප්‍රදර්ශනය ගැන මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කියයි. සෑම කෙනෙකුගේම බලාපොරොත්තු කඩ කරමින් ජනමත විචාරණ පනතේ 50 වැනි වගන්තිය උල්ලංඝනය කොට ඡන්ද ලකුණු නිදහසේ ප්‍රදර්ශනය කර තිබීම 1982 දෙසැම්බර් 22 දින පවත්වන ලද ජනමත විචාරණයේ දී දක්නට ලැබුණු ඉතාමත් අප්‍රසාදජනක ලක්‍ෂණයක් විය . මෙවන් සංසිද්ධීන් සමඟ කෙළවර වූ ජනමත විචාරණයේ අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ම මෙසේ ප්‍රකාශයට පත් කරන ලද්දේය. යෝජනාවට පක්‍ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව ලකුණ ඡන්ද සංඛ්‍යාව ලාම්පුව 31,41,223, යෝජනාවට විපක්‍ෂව කළය 26,059,83 දෙන ලද ඡන්ද සංඛ්‍යාව ප්‍රතික්ෂේප කරන ලද ඡන්ද 21,456ක්ද ලැබී තිබුණි. මහා මැතිවරණයේදී මෙන් පක්ෂ නායකයනට ගුවන්විදුලිය හා රූපවාහිනිය මඟින් ජනමත විචාරණය පිළිබඳ ප්‍රචාරක කටයුතු කරන්නට අවස්ථාව ද සලසා තිබිණි. ජනමත විචාරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව එතෙක් රිමාන්ඩ් බන්ධනාගාරවල රඳවාගෙන සිටි විපක්‍ෂ දේශපාලකයින් ඇප මත නිදහස් කෙරිණ. ඔවුනට විරුද්ධව නීති මඟින් කිසිවක් කරන ලද බවක් සටහන් වී නැත. රජය පෙරලීම සඳහා නක්සලයිට් කුමන්ත්‍රණයක් කරන ලදැයි සැක පිට සිර භාරයේ රඳවාගෙන සිටි විජය කුමාරතුංග මහතාට එරෙහිව ද කිසිදු නීතිමය පියවරක් ගත්තේ නැත. මැතිවරණ ආසන 168න් 48ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරනවාට විරුද්ධවය. එම ආසන නම් කෝට්ටේ, කඩුවෙල , මහරගම, කැස්බෑව, ගම්පහ, මහර, පාණදුර, මතුගම, කළුතර, බේරුවල, අගලවත්ත, කුණ්ඩසාලේ, බළපිටිය, අම්බලන්ගොඩ, බද්දේගම, රත්ගම, ගාල්ල, අක්මීමන, හබරාදුව, හක්මන, කඹුරුපිටිය, දෙවිනුවර, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාමය, කයිට්ස්, වඩුක්කොඩෙයි, මනිපායි, කන්කසන්තුරේ, කෝපායි, උඩුප්පිඩි, පේදුරුතුඩුව, චාවාකච්චේරි, නල්ලූර්, යාපනය, කිලිනොච්චි, මන්නාරම, වව්නියාව, මුලතිව්, කල්කුඩා, මඩකලපුව, පදිරිප්පු, ත්‍රිකුණාමලය, මුතූර්, ඇහැලියගොඩ හා ගලිගමුවය. දිස්ත්‍රික්ක වශයෙන් ගත් කල හම්බන්තොට, යාපනය, වන්නි, මඩකලපු යන දිස්ත්‍රික්කවල ජනතාව ඡන්ද ප්‍රකාශ කර තිබුණේ කළය සලකුණටය. සමස්තයක් වශයෙන් ගත් කල දෙමළ භාෂාව කතා කරන ජනතාව පදිංචි සියලුම දිස්ත්‍රික්ක වලින් රජයේ යෝජනාවට ලැබී තිබුණේ පරාජයකි.

එක්සත් ජාතික පක්ෂයට බහුතර ඡන්ද සංඛ්‍යාවෙන් ලබාගත නොහැකි වූ ආසනවල ජනමතය යළි විමසීම පිණිස අතුරු මැතිවරණ පවත්වන බව ජනාධිපතිවරයා ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් අමතා කියා සිටියේය . ඒ සමඟ ම ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් සියලු දෙනාගේ ම ඉල්ලා අස්වීමේ ලිපි දිනයක් රහිතව ලබා ගත්තේය.

ද්‍රවිඩ කතා කරන පෙදෙස්වල ආසන 19 හැර ලාම්පුව පරාජයට පත්වූ ආසන 29න් 18ක මන්ත්‍රීවරු ඉල්ලා අස් වූ බව 1983පෙබරවාරි 10 වැනිදා කථානායක බාකීර් මාකර් මහතා මැතිසබයට දන්වා සිටියේය. සෞඛ්‍ය අමාත්‍ය රංජිත් අතපත්තු (බෙලිඅත්ත), ගම්පහ දිසා ඇමැති ටියුඩර් ගුණසේකර (මහර), හම්බන්තොට දිසා ඇමති සී. ඇම්. බී. සිරිල් (තිස්සමහාරාමය), කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති සුමනදාස අබේවික්‍රම (අක්මීමන), ධර්මසේන ආටිගල (කැස්බෑව), රාජ්‍යාරක්ෂක නියෝජ්‍ය ඇමැති මර්වින් කුලරත්න (ඇහැලියගොඩ), පෞද්ගලික බස් නියෝජ්‍ය ඇමැති ප්‍රේමරත්න ගුණසේකර (මහරගම ), පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එඩ්වින් තිලකරන්න (රත්ගම), ග්‍රාම සංවර්ධන නියෝජ්‍ය ඇමැති හර්ෂනාත් වනිගසේකර (හක්මන). රාජ්‍ය වැවිලි නියෝජ්‍ය ඇමැති වී. ඇල්. විජේමාන්න (කළුතර), පී. සුමතිරත්න (හබරාදුව), රයිටර් නිලකසේකර (අම්බලන්ගොඩ), ටී. ඩී. ප්‍රැන්සිස්කු (මුල්කිරිගල) , ජිනදාස වීරසිංහ (තංගල්ල), රෙජිනෝල්ඩ් විජේගුණරත්න (මතුගම), සේපාල අකුරුගොඩ (බද්දේගම), ඇල්බට් සිල්වා (කඹුරුපිටිය), පද්මින් පොන්සේකා (පාණදුර), රොනී ද මැල් (දෙවිනුවර) මෙසේ ඉල්ලා අස් වූ මන්ත්‍රීවරු වෙති. දෙවිනුවර ආසනයෙන් ඉල්ලා අස් වූ මුදල් සහ ක්‍රම සම්පාදන ඇමැති රොනී ද මෙල් මහතා පසුදිනම බුලත්සිංහල ආසනයේ මන්ත්‍රීවරයා ලෙස නැවත දිවුරුම් දී ඇමැති පදවියට ද පත් විය. පාණදුර ආසනයට අතුරු මැතිවරණයක් නොපවත්වා මර්වින් කුරේ මහතා එහි මන්ත්‍රීවරයා ලෙස පත් කරනු ලැබීය. මේ අන්දමට අතුරු මැතිවරණ පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය කරන ලද්දේ රාජ්‍ය නායකයා විසිනි. 1983 මැයි 18 වැනිදා පවත්වන ලද අතුරු මැතිවරණ 18න් 14ක් එක්සත් ජාතික පක්ෂයට ද, තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා එකක් මහජන එක්සත් පෙරමුණට ද හිමිවිය. 1982 මැයි 18දා පවත්වන ලද අතුරු මැතිවරණවල ප්‍රතිඵල අනුව මාතර දිස්ත්‍රික්කයේ පවත්වන ලද අතුරු මැතිවරණ තුනෙන්ම එජාපය ජය ගත්තේය. කඹුරුපිටිය සී. විජේගුණවර්ධන එ.ජා.ප. 22707, ඊලියන් නානායක්කාර කො.ප. 1608,7

ප්‍රේමචන්ද්‍ර මුණසිංහ ජවිපෙ. 2062

දෙවිනුවර පී.එස්.එල්. ගලප්පත්ති එ.ජා.ප. 16491, මහින්ද විජේසේකර ශ්‍රී.ල.නි.ප. 15180, එච්. ආර්. පියසිරි ස්වාධීන 6420, කේ. එච්. ජයන්ත ගුණරත්න ජ.වි.පෙ. 3591.

1983 මැයි 18 පවත්වන ලද අතුරු මැතිවරණය ලංකාවේ ජන්ද කොට්ඨාසයන් 18ක පවත්වන ලදි. මෙම අතුරු මැතිවරණය පැවැත්වීමට සිදුවූයේ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6කින් දික් කිරීමට එජාප නායක එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර එය 1982 දෙසැම්බර් 22 පවත්වා එයින් පරාජයට පත්වූ ආසන සඳහා නැවත මන්ත්‍රීවරු පත්කර ගැනීමටයි. මේ ජනමත විචාරණයේ දී ආසන 168න් 48ක් එජාපය නියෝජනය කළ ලාම්පුව පරාජයට පත් විය. මේ අතරින් උතුරු නැ‍ඟෙනහිර ද්‍රවිඩ මන්ත්‍රී නියෝජනය කළ ආසන හැර ඉතිරි 18 සඳහා අතුරු මැතිවරණයක් පවත්වයි.

පළමුව එජාප නායක ජේ. ආර්. ජයවර්ධන ජනමත විචාරණයට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි ආසන සඳහා අතුරු මැතිවරණයට සූදානම් වන ලෙස දන්වා සියලු මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි දාතමක් රහිතව ලබා ගත්තේය. එවකට කථානායක බාකීර් මාකර් 1983 පෙබරවාරි 10 දින මැතිසබයට දන්වා සිටියේ මන්ත්‍රීන් 18ක් ඉල්ලා අස්වූ බවයි.

1982 දෙසැම්බර් මස 22 පැවති ජනමත විචාරණයේදී බුලත්සිංහල මන්ත්‍රී ඕ.එස්. පෙරේරාට තම මැතිවරණ ආසනය තුළ ජනමත විචාරණ කටයුතුවලට සහභාගි විය නොහැකි විය. ඔහු ඒ වන විට දැඩිව ගිලන්ව ප්‍රතිකාර ගනිමින් සිටියේය. ඔහුගේ වැඩිමහල් දියණිය ප්‍රියානි මැතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කරමින් බුලත්සිංහල ආසනය ජනමත විචාරණයෙන් ජයග්‍රහණය කරවීය. කළුතර දිස්ත්‍රික්කය ජනමත විචාරණයේදී එජාපය පරාජයට පත්වුවද බුලත්සිංහල, බණ්ඩාරගම හා හොරණ ආසන ජය ගැනීමට එජාපයට හැකිවිය.

රොනීගේ පරාජය

දෙවුන්දර ආසනයෙන් රොනීද මෙල් ජනමත විචාරණය පරාජයට පත්වුවද රෝගීව සිටි බුලත්සිංහල මන්ත්‍රී ඕ.එස්. පෙරේරාගෙන් ජේ.ආර්. කලින් ලබාගත් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රියාත්මක වී 1983 පෙබරවාරි 10 දින ඕ.එස්. පෙරේරා බුලත්සිංහල ආසනයේ මන්ත්‍රීකමින් ඉවත් කර 1983 පෙබරවාරි 11 දින සිට රොනීද මෙල් නව බුලත්සිංහල පත්කළ මන්ත්‍රී ලෙස පත්කර නැවත ඔහුට මුදල් ඇමැතිකම ලබාදෙන ලදි.

රෝගීව සිටි ඕ.එස්. පෙරේරා 1983.7.4 දින අභාවප්‍රාප්ත විය.

1983 මැයි 18 පවත්වන ලද අතුරු මැතිවරණය කඹුරුපිටිය ආසනය…

චන්ද්‍රකුමාර විජේගුණවර්ධන – එ.ජා.ප. ඡන්ද 22707

ඊලියන් නානායක්කාර – කො.ප. ඡන්ද 16087

ප්‍රේමචන්ද්‍ර මුණසිංහ – ජ.වි.පෙ. ඡන්ද 2062

ඩී.ඊ. මලවරආරච්චි – ස්වාධීන 499

සැම්සන් මල්ලිකාරච්චි – ස්වාධීන 106

වැඩි ඡන්ද 6620 ලබා චන්ද්‍රකුමාර විජේගුණවර්ධන කඹුරුපිටියේ මහජන මන්ත්‍රීවරයා විය. ඔහු ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධ වීම නිසා මැතිසබයෙන් නෙරපීය. කඹුරුපිටියේ මන්ත්‍රී ලෙස කටයුතු කළේය. මොහු මෙන් ක්‍රියා කළ තවත් මන්ත්‍රීවරයෙකු විය. එනම්, 1983 අතුරු මැතිවරණයෙන් හක්මන ආසනයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ එජාපයේ මහින්ද යාපා අබේවර්ධනයි. ඔහු අතුරු මැතිවරණයේ දී එජාපයෙන් ඡන්ද 23336ක් ලබා හක්මනට තේරුණු නමුත් ඉන්දු – ලංකා ගිවිසුමට විරෝධය පෑම නිසා චන්ද්‍රකුමාර සමඟ එජාපයෙන් නෙරපීය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට (පළාත් සභා) විරුද්ධව ඡන්දය දීම නිසා, එජාපය චන්ද්‍රකුමාර විජේගුණවර්ධන (කඹුරුපිටිය) වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන (හක්මන) පක්ෂයෙන් නෙරපනු ලැබීය.

ජේ.ආර්. ජයවර්ධනගේ තීන්දුවට එරෙහිව පැවරූ නඩුවලින් (SC 50/87Spl සහ SC 51/87Spl) පැරදුණු ඔවුහුට මන්ත්‍රී ධුර අහිමි වූහ. ජනමත විචාරණයෙන් දෙවිනුවර ආසනය පරාජයට පත්වූ රොනී ද මෙල් බුලත්සිංහලට පත් කර ඇමැති ධුරය නැවත ලබා දෙන ලදි. දෙවිනුවරටද අතුරු මැතිවරණයක් පවත්වන ලදි. එහිදී දෙවිනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී වූයේ පී.එස්.එල්. ගලප්පත්තිය.

දෙවිනුවර පී.එස්.එල්. ගලප්පත්ති (එ.ජා.ප.) 16491, මහින්ද විජේසේකර (ශ්‍රී.ල.නි.ප.) 15180, එච්. ආර්. පියසිරි (ස්වාධීන) 6420, කේ. එච්. ජයන්ත ගුණරත්න (ජ.වි.පෙ.) 3591.

1988 මැයි 24 දින සම්මත වූ 14 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් කේවල ඡන්ද කොට්ඨාස ක්‍රමය වෙනුවට දිස්ත්‍රික් මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. එහිදී අපේක්ෂකයෙකුට පමණක් නොව, මුලින් පක්ෂයකට ද ඡන්දය ලබාදීම සිදු වේ.

නන්දික බැද්දේගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here