21
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම හරහා අපේ ආර්ථිකය කළමනාකරණය කරගැනීම සඳහා සැලසුම් සකස් කර ගැනීමට හැකි විය. 2022 වසරට සාපේක්ෂව 2024 වන විට ඉතාමත් හොඳ තත්ත්වයකට රට පත්වෙමින් තිබේ. මෙනිසා මේ තත්ත්වය වෙනස් නොකර මීළඟට පත්වන ජනාධිපතිවරයාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි ගමනක් යා යුතුය.
මේ වන විට මුළු රටට මැතිවරණයක් වෙනුවෙන් අවධානය ලබාදී තිබෙන අවධියක අප සිටි.මැතිවරණ වේදිකාවේ කුමක්ද වෙන්නේ, අපේක්ෂකයින් මොනවද ප්‍රකාශ කරන්නේ කියන කාරණා සම්බන්ධයෙන් ජනතාව අවධානය දීමක් දැකගත හැකියි.මෙනිසා මැතිවරණ උණුසුම විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.රටේ මීළඟ නායකයා කවුරුන්ද යනවද තීරණය කරන තැනක මේ වන විට රට පැමිණ තිබේ.
භූ දේශපාලනය තුළ ලංකාවේ ජාතික ආරක්ෂාව ඉතා සුවිශේෂ ස්ථානයකට පැමිණ තිබෙන කාලවකවානුවක් ලෙස මේ කාලවකවානුව හඳුන්වා දිය හැකිය.එක් පසෙකින් අසල්වැසි ඉන්දියාව මෙන්ම අනෙක් පසින් චීනය කලාපීය වශයෙන් තමන්ගේ ශක්තිය තරකර ගැනීමත්,දකුණු ආසියානු රටක් වූ බංගලාදේශයට අත්ව ඇති ඉරණමත් කලාපීය වශයෙන් තීරණාත්මක තැනක තිබේ.මේ තත්ත්වයන් තුළ මෙරට ජාතික ආරක්ෂාවට ප්‍රධාන තැනක් දිය යුතුය.ජාතික ආරක්‍ෂාව ලෙස හඳුන්වන්නේ රටකට සහ එහි ජනතාවට සිදුවිය හැකි යම් හානිදායක ක්‍රියාවලින් එම රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීමයි.ජාතික ආරක්ෂාව ලංකාවට මෙන්ම ඉන්දියාවට චීනයට පොදු කාරණයක්.කලාපීය වශයෙන් ඔවුන්ගේ අවධානය වර්තමානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ පවත්වන ජනාධිපතිවරයා වෙනුවෙන් ලබා දී ඇත.ජනාධිපතිවරයා යනු රටේ රාජ්‍ය නායකයා, සේනාධිනායකයා,මෙන්ම විධායකයේ ද නායකයා වන අතර මීළඟට පත්වන ජනාධිපතිවරයා කවුරුන්ද යනවග කලාපීය වශයෙන් වැඩි අවධානයට ලක්වන වැදගත් කරුණකි.
වැඩිම අපේක්ෂකයන්
මේ වන විට අපේක්ෂකයන් 38 දෙනකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අතර ඉන් කවුරුන් මීළඟට රටේ රාජ්‍ය නායකයා බවට පත් වන්නේ ද යන්න තීරණය වන්නේ ජනතාව මේ අවස්ථාවේ ගනු ලබන ඓතිහාසික තීරණය මතයි.ඉදිරියේ පත්වන නව රාජ්‍ය නායකයා සමඟ කලාපීය බලවතුන්ට තම රටේ රාජ්‍යය ආරක්ෂාව පිළිබඳ මං මාවත් සකස් කර ගැනීමට ඔවුන්ට අවශ්‍යයයි.ශ්‍රී ලංකාව දූපතක් ලෙස රට වටා තිබෙන මුහුද හේතුවෙන් සහ ලංකාවේ පිහිටීමට අනුව ශ්‍රී ලංකා භූදේශපාලනිකව උපක්‍රමශීලී ස්ථානයක පිහිටා තිබෙන නිසාත් කලාපීය වශයෙන් ඉතා වැදගත් රටකි.භූ දේශපාලනය තුළ තමන්ගේ මුහුදු සීමාවේ බලය ව්‍යාප්ත කළ යුත්තේ කෙසේද කියන කාරණය ඉතා වැදගත්වේ.එය කරුණු තුනක් ඔස්සේ පැහැදිලි කළ හැකිය.ප්‍රධාන කාරණය හමුදාව වන අතර,දෙවැන්න ආර්ථිකය සහ තුන්වැන්න ජාතික උන්නතියයි.මේ කාරණා තුන පදනම්ව අලුතින් පත්වන ජනාධිපතිවරයා කලාපීය වශයෙන් සම්බන්ධතා ගොඩනඟා ගැනීම,සම්බන්ධතා පවත්වාගෙන යෑම ඉතා වැදගත්වේ.
ශ්‍රී ලංකාව ප්‍රතිපත්තියක් වශයෙන් නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කළත් මීළඟට පත්වන ජනාධිපතිවරයාට ඒ ප්‍රතිපත්තියම අනුගමනය කළ හැකි ද යන්න පිළිබඳව රටේ විශාල සංවාදයක් පවතී.බොහෝ තැන්වල ලංකාව අනුගමනය කරන්නේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් (middle path) වුවත් නොබැඳි ප්‍රතිපත්තිය වර්තමාන භූදේශපාලනය තුළ සහ අන්තර්ජාතික දේශපාලනය තුළදී කෙතරම් දුරකට ප්‍රායෝගිකවේද යන ගැටලුව අප හමුවේ ඇත.ලෝකය මේ වන විට විශ්ව ගම්මානයක්(Global village) බවට පත්ව තිබේ.කිසිම රටකට වෙන්ව ඉදිරියට යාමට නොහැක.සෑම රටක්ම එකිනෙකා සමඟ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගනුදෙනු කිරීමට සිදුවේ.මේ නිසා සැමට සමාන වූ, තුලනය වූ සම්බන්ධතා පවත්වා ගැනීම ඕනෑම රටකට සිදුවේ.ඉදිරියේදී පත්වන නායකයාටත් වර්තමානයේ පවතින භූදේශපාලනය සමඟ මැද මාවතේ සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට සිදුවේ.
ප්‍රතිපත්ති ප්‍රකාශන
මේ වන විට ඉදිරිපත් වී තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනවල විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කරුණු දක්වා ඇත.විශාල ප්‍රමාණයේ ප්‍රතිපත්ති ප්‍රකාශන මැතිවරණ කාලවල ඉදිරිපත් කළත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වීමට නියමිත කාලසීමාවල පවත්වා ගැනීමට පවා අපට නොහැකි වී ඇත.වර්තමාන අධ්‍යාපන ක්‍රමය සහ විෂය නිර්දේශ සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ විවේචනයකි.සියලු අපේක්ෂකයින් වසර පහකින්, දහයකින් රට සංවර්ධන මාවතකට ගෙන එන බව ප්‍රකාශ කරනු ලබයි.සංවර්ධනයේදී රටක අධ්‍යාපනය ඉතා වැදගත් සහ තීරණාත්මක සාධකයකි.මීළඟට පත්වන ජනාධිපතිවරයා මෙම අධ්‍යාපනය,මේ තිබෙන තැනින් ඉදිරියට ගෙන යා යුතුයි.මීළඟට පත්වන ජනාධිපතිවරයා මේ රට ධනාත්මක දිශාවකට රැගෙන යාමට නම් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ප්‍රමුඛතම කාර්ය විය යුත්තේ සහ වැඩි ඉඩක් ලබා දිය යුත්තේ අධ්‍යාපනයටයි.අපේ මීළඟ පරම්පරාව අනාගතයට ගමන් කරන ගමන් බලපත්‍රය වන්නේ අධ්‍යාපනයයි.
අද සිටින දරුවා දියුණු අනාගතයකට රැගෙන යාමට නම් අනාගතයේ නිර්මාණය වන සමාජය තුළ දරුවා දියුණු කරගත යුතු දැනුම මොනවාද,කුසලතා මොනවාද,වටිනාකම් මොනවාද කියන්නාවූ කාරණා පිළිබඳව වර්තමානයේ පත්වන නායකයාට හොඳ දැක්මක් තිබිය යුතුයි.මෙම අනාගත දැක්මේ සිට අනාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති සකස් කළ යුතුය.උදාහරණයක් ලෙස වර්තමානයේ ප්‍රාථමික අංශය සිදුකරන ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ ලබන්නේ තව දහයකින්,පහළොවකිනි.වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඇතුළත් විය යුත්තේ අද රටේ පවතින තත්ත්වයට ලෝකයේ පවතින තත්ත්වයට නොවේ.තවත් වසර දහයකින්, පහළොවකින් ලෝකය පත්වන තැනට අනුවයි.ඒ තැනට ගැලපෙන අයුරින් මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ සැකසිය යුතුයි.මේනිසා මේ කියන්නා වූ අනාගත දැක්මක් සහිත නායකයෙක් රටට අවශ්‍යයයි.සෑම අතකින්ම පහළට වැටුණු රටක් ස්ථාවර රටක් බවට පත් කළ හැකි යාන්ත්‍රණය අධ්‍යාපනයයි.එදා සිට අද දක්වා හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යථාර්ථයක් බවට පත්කර ගැනීමට රටක් විදිහට අසාර්ථක වී ඇත.
මැතිවරණ ව්‍යාපාරය
වර්තමාන මැතිවරණ ව්‍යාපාරය තුළ පදනම සැකසී තිබෙන්නේ ආර්ථිකය කියන සාධකය මතයි.බරපතළ සංවාදයක් ඒ ඔස්සේ ගොඩනැඟී ඇත.ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුව ඉදිරියට යා යුතු බව එක් අපේක්ෂකයෙක් පවසන අතර,තවත් කොටසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යා යුතු වුවත් ඔවුන් සමග සාකච්ඡා කර සංශෝධන සකස් කල යුතු බව පවසයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සංශෝධනය කරන බව ඔවුන් ජනතාවට පවසයි.මීට අමතරව තවත් පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලින් සම්පූර්ණයෙන්ම ඉවත්ව රට ගමන් කළ යුතු බව ප්‍රකාශ කරයි.මීළඟට පත්වන නායකයාට ආර්ථික අර්බුදය ජයගනිමින් ජනතාවගේ ජීවිත සුඛිත මුදිත තත්ත්වයට පත්කිරීමට සුවිශාල වගකීමක් පැවරී තිබේ.
2022 වසර වන විට අපි අඩියටම වැටුණු රටක්.ආර්ථිකය තිබුණේ ඉතා ශෝචනීය තත්ත්වයකය.ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට තීරණය කෙරිණි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඕනෑම රටක මූල්‍ය ස්ථායිතාව පවත්වාගෙන යෑම සඳහා මූල්‍ය සහය ලබාදේ.අප සිටි අසීරු අවස්ථාවේ ජාත්‍යන්තර මූලය අරමුදලේ සහය ලබාදීම ඉතා අගය කොට සැලකිය යුතු සුවිශේෂී කරුණකි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සහය ලබාදීමට කැමැත්ත පළ කිරීම පැති දෙකකින් වාසි සහගත විය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට මූල්‍යමය සහාය ලබාදීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟම අප ණය ලබාගත් වෙනත් රටවලට,ශ්‍රී ලංකාව නිවැරදි දිශානතියකට යොමු වන බවට එක් සහතිකයක් ලැබුණි.එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම මඟින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සුවිශේෂී සහයක් ලැබිණි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමඟ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව මෙරට සපුරාලිය යුතු කොන්දේසි රාශියක් හඳුන්වාදුනි.රාජ්‍ය වියදම් කළමනාකරණය,රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම, ණය ලබා ගැනීම,දියුණු කළ යුතු ක්ෂේත්‍ර, සමාජ සුභසාධනය, සමාජ ආරක්ෂණය,වංචා දූෂණ අවම කිරීම අතර ප්‍රමුඛයි.
මූල්‍ය අරමුදලේ සහය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම හරහා අපේ ආර්ථිකය කළමනාකරණය කරගැනීම සඳහා සැලසුම් සකස් කර ගැනීමට හැකි විය.2022 වසරට සාපේක්ෂව 2024 වනවිට ඉතාමත් හොඳ තත්ත්වයකට රට පත්වෙමින් තිබේ.මෙනිසා මේ තත්ත්වය වෙනස් නොකර මීළඟට පත්වන ජනාධිපතිවරයාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි ගමනක් යා යුතුයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම් වලින් ඉවත් වුවහොත් නැවතත් පෙර පරිදි අර්බුදවලට මුහුණ දීමට සිදුවේ.නමුත් කිසිදු අපේක්ෂකයකු තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට පරිබාහිරව ගමන් කළ යුතු බව ප්‍රකාශ කර නොමැත.බොහොමයක් අපේක්ෂකයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සංශෝධනය කරමින් ඉදිරියට යා යුතු බව ප්‍රකාශ කරයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසි කිහිපයක් සංශෝධනය විය යුතු බව බොහෝ දෙනාගේ අදහසයි.
විශේෂයෙන්ම පුද්ගල ආදායම් බද්ද වෙනස් කිරීම වර්තමාන ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඉදිරිපත් කර ඇත.ඊට අමතරව බදු අය කරන සීමාව,බදු පරාසය වෙනස් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.වර්තමාන ජනාධිපතිවරයාද මේ විවිධ අවස්ථාවල ප්‍රකාශ කිරීම දක්නට ලැබුණි.ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට මීළඟ මූල්‍ය වර්ෂය සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුවේ.ඒ සඳහා මුදල් අවශ්‍ය වේ.2023 වර්ෂය වන විට අපේ රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 13% කි.නමුත් 2025 වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 14% ක් දක්වා වැඩිකර ගතයුතු බව යෝජනා කර ඇත.මෙම බදු ආදායම ජනතාවගේ ආදායම් බද්දෙන් පමණක් සම්පූර්ණ කර ගැනීමට උත්සාහ නොකර බදු පැහැර හැර සිටින,බදු දැලෙන් රිංගන පුද්ගලයන්ගෙන් බදු අයකර ගැනීමට උත්සාහ කළ යුතුයි.බදු ක්‍රමය නිවැරදි ආකාරයට සකස් කර ගැනීමට හැකි නම් බදු ආදායම ඉහල නංවා ගැනීමේ හැකියාව පවතී.අසීමිත බදු හේතුවෙන් ජනතාව දැඩි ආර්ථික බරකින් පසුවේ.එනිසා තව තවත් බදු පැනවීම යෝග්‍ය වන්නේ නැහැ.ජනතාව තුළ බදු ගැන ඇත්තේ දැඩි අකමැත්තකි.නව ජනාධිපතිවරයා ජනතාව මේ සිටින තැන සිට ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි.කෙටිකාලීන යහපතට වඩා දිගුකාලීන සැලසුම්කරණය ඉතා වැදගත්.
2021,2022 වන විට ජනතාව පවතින ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු විය.ජනතාව විසින් අතිවිශාල බලයක් සහිතව පත්කළ ජනාධිපතිවරයා සහ එම පාලනය ගෙදර යැවීමට කටයුතු කෙරිණි.එම පාලනය පළවා හැරීමත් සමග ජනතාව බලාපොරොත්තු වූ දේවල් රාශියක් ඇත.ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට ආර්ථිකය මතම ඔහුගේ පාලනය ආරම්භ කළ හැකි වන්නේ නැහැ.මෙවර ජනාධිපතිවරණය හුදු ජනාධිපතිවරණයක් පමණක් නොවේ.නිදහසින් පසු සිදුවූ තුන්වැනි කැරැල්ලෙන් අනතුරුව සමාජය තුළ පුරවැසියන්ගේ ජීවිත, පුරවැසියන්ගේ අනාගතය මෙන්ම සමස්ත ජීවිතය පිළිබඳව විශාල සාකච්ඡාවක් පවතින අවධියක් ලෙස වර්තමානය හඳුන්වාදිය හැකිය.අන්කවරදාටත් වඩා මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක සහ සුවිශේෂයි.
2022 වර්ෂයේ ඇති වූ ආර්ථික අර්බුදය හුදෙක්ම 2022 දී ආර්ථික අර්බුදයක් පමණක් නොවේ.කාලානුරූපීව පැවති රජයන් විසින් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති,වැරදි රාජ්‍යකරණය ප්‍රතිපත්ති සහ ඒවා වටා ගෙතුණු විශාල ප්‍රශ්න රාශියක් සමඟ ඇති වූ අර්බුදයකි.පුපුරා යෑමකි.මෙරට තුළ පසුගිය දශකයේදී ජාතික ආරක්ෂාව,අධ්‍යාපනය, ආර්ථික සංවර්ධනය වැනි කරුණු වලට අමතරව පුරවැසියා තුළ රාජ්‍ය සහ රාජ්‍ය ආයතන පිළිබඳව විශ්වාසය බිඳ වැටුණි.මූලික වශයෙන් විධායකය,ව්‍යවස්ථාදායකය සහ නීතිය හා පර්යාය යන රාජ්‍යයේ ප්‍රධාන කුළුණු තුන පිළිබඳව ජනතාව තුළ විශ්වාසය ක්‍රමක්‍රමයෙන් බිඳ වැටුණි.එමෙන්ම පුරවැසියා තුළ අධ්‍යාපනයට ඇති අයිතිය පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට ඇති අයිතිය,තමන්ට සුදුසු වාසස්ථානයක් තනා ගැනීමට ඇති අයිතිය අහිමිවීම මෙන්ම,මිනිසෙකු ලෙස සංස්කෘතික ජීවිතයක් ගත කිරීමට තිබෙන අයිතිය අහිමිවීම වැනි කරුණු ක්‍රමානුකූලව කාලාන්තරයක් තිස්සේම මෙරට පාලනය කළ පාලනතන්ත්‍ර විසින් එම විශ්වාසය බිඳ වට්ටා ඇත.අවසානයේ එම විශ්වාසය පුපුරා යන තත්ත්වයකට පත්විය.
ජාතීන් අතර විශ්වාසය
මෙරට ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීමත් මෙවර ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි.වාසනාවකට හෝ අවාසනාවකට මෙවර ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේදී ජාතිවාදය,සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය ඇවිලවීමක් කිසිදු අපේක්ෂකයෙකු සිදු කරන ආකාරයක් දක්නට නොලැබේ.එම කරුණින් අපට ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ගැටලුව,අවිශ්වාසය නිරාකරණය වූ බවක් අදහස් නොවේ.අලුතින් පත්වන ජනාධිපතිවරයාට වුවත් මූලික වශයෙන් රාජ්‍ය හා රාජ්‍ය ආයතන පිළිබඳ විශ්වාසය ගොඩනැඟීම සිදු කළ යුතු ප්‍රධාන කාර්යයකි.විධායකය,ව්‍යවස්ථාදායකය පිළිබඳව නැවත ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමට කටයුතු කළ යුතුයි.සමස්තයක් ලෙස සාධාරණ නීතියක් සැමට සමානව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු නොපිරිහෙළා ඉටුකිරීම අවශ්‍යයි. 2019 වසරේදී ජාතික ආරක්ෂාව රටේ ප්‍රධාන මාතෘකාවක් විය.නමුත් මේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ ආර්ථිකය කියන කාරණය.ජාතික ආරක්ෂාව ඕනෑම රටකට වැදගත් දෙයකි.ජාතික ආරක්ෂාව යනු ත්‍රස්තවාදී ක්‍රියා නැතිවීම පමණක් නොවේ.පාතාලය,ඝාතන,මත්ද්‍රව්‍ය යන කාරණා ද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කරුණුයි.මීට අමතරව බලශක්තියද ජාතික ආරක්ෂාවට ඇතුළත් කාරණයකි.ජාතික ආරක්ෂාව ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකිය.පළමුවැන්න රාජ්‍ය ආරක්ෂාව හෙවත් රාජ්‍ය කේන්ද්‍රීය ආරක්ෂාවයි.දෙවැන්න පුද්ගල කේන්ද්‍රීය ආරක්ෂාවයි.ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ දී රජයේ ප්‍රධාන වගකීම වන්නේ ජනතාව ජීවත් කරවීම සහ ජනතාවගේ ජීවිත දිනෙන් දින දියුණු කිරීමයි.රාජ්‍ය කේන්ද්‍රීය ආරක්ෂාව මෙන්ම පුද්ගල කේන්ද්‍රීය ආරක්ෂාවත් එකට සමපාත විය යුතුයි.අවි ආයුධ ජාවාරම,මත්ද්‍රව්‍ය ජාවාරම,පුද්ගල ජාවාරම මෙන්ම මෙරට ධීවර සීමාව උල්ලංඝනය කිරීම වැනි කරුණු රාජකේන්ද්‍රීය ආරක්ෂාවට බලපානු ලබයි.පුද්ගල කේන්ද්‍රීය ආරක්ෂාවේදී ආර්ථික ආරක්ෂාව,ආහාරමය ආරක්ෂාව,අධ්‍යාපනය බලශක්තිය පිළිබඳ ආරක්ෂාව,සෞඛ්‍යාරක්ෂණය,පරිසරය පිළිබඳ ආරක්ෂාව,සමාජ සුභසාධනය මේ කරුණු වැදගත් වේ.ජාතික ආරක්ෂාව යනු ආයතන ගණනාවක් එකට එක්ව කටයුතු කළ යුතු දෙයකි.මිනිසා අලුතින් පත්වන ජනාධිපතිවරයාට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් සැලකිල්ලක් දැක්විය යුතුයි.
මෙවැනි කරුණු රාශියක් ඔස්සේ මීළඟට පත්වන රටේ නායකයාට තමන්ගේ ඉදිරි කටයුතු ඇරඹීමට සිදුවේ.
රුවන් පුෂ්පකුමාර