Home Politics News Room : අශිෂ්ට දේශපාලනයක නිරතවීමේ ප්‍රතිපත්තිය මා සතුව නෑ

News Room : අශිෂ්ට දේශපාලනයක නිරතවීමේ ප්‍රතිපත්තිය මා සතුව නෑ

0
0

ඊර්ෂ්‍යාව සහ වෛරය වපුරවමින් අශිෂ්ට දේශපාලනයක නිරතවීමේ ප්‍රතිපත්තිය තමා සතුව නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීමට මොනරාගල, බිබිල පැවති ජන හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ජනතාව අපේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් ඉන්නවා. හොඳ දැක්මකින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයට පෙර තිබු මොනරාගල, බිබිල අද තිබෙන තත්ත්වය පිළිබඳව මේ ජනතාව හොඳින් දන්නවා. එදා මේ දිස්ත්‍රික්කය මායිම් ගම්මානවලට තිබුණේ. එක් පැත්තකින් ත්‍රස්තවාදී තර්ජනයත්, අනෙක් පැත්තෙන් ඌන සංවර්ධනයත්, දරුවන්ගේ පාසල් යෑම පිළිබඳ ගැටලුත් තිබුණා. යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්න තිබුණා. රැකියා පිළිබඳ ගැටලු තිබුණා. ගමෙන් බිහිවු නායකයෙක් විදියට මහින්ද රාජපක්ෂ මහතාට වුවමනාව තිබුණා මේ ගම්මාන සංවර්ධනය කරන්න. අවාසනාවට 2015දී මේ රටේ සංවර්ධනය අතරමඟ නතර වුණා. 2015 සිට අද දක්වා ඒ සංවර්ධනය ක්‍රියාත්මක වුණේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අවුරුදු දෙක හමාරයි තිබුණේ. නමුත් එම ආණ්ඩුව යටතේ මේ රටේ මාර්ග කිලෝමීටර් ලක්ෂයේ සංවර්ධන වැඩසටහන ඇතුළුව දැවැන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළා. අපි හැමදාමත් සංවර්ධනය කේන්ද්‍ර කරගෙන දේශපාලනය කළා.

වෛරය, ඊර්ෂ්‍යාව, තරහ, කුහකත්වය, මඩ දේශපාලනය අපි ළඟ නෑ. එදා තිබුණෙත් නෑ. අදත් නෑ. හෙටත් නෑ. අපට මඩ ගහන්න පුළුවන්. ඒ පිළිබඳ ගැටලුවක් නෑ. නමුත් අපි බණින්න යන්නේ නෑ. මොකද අපට වැඩ කරන්න තිබෙනවා. අපි ප්‍රතිපත්තියක් සමඟ දේශපාලනය කරනවා. අපි විශ්වාස කරන දේශපාලන දැක්මක් සහ දර්ශනයක් තිබෙනවා. ඒ සමඟ මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. එක් පැත්තකින් මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතිය ශක්තිමත් කරනවා වගේම අවුරුදු 16 ඉක්මවූ දරුවාට උසස් පෙළ ලියා විශ්වවිද්‍යාලයට යන්න අවශ්‍ය නම් ඒ සඳහා පසුබිම හදන්න ඕනෙ. අවශ්‍ය නම් කාර්මික පුහුණුව, තාක්ෂණික පුහුණුව සහ නිපුණතාව තුළ දේශීය සහ විදේශීය රැකියා වෙළෙඳපොළට යන්න පුළුවන් අවකාශය අපි හදා දෙනවා. එයත් ඉදිරි වසර 5 හා 10 තුළ දේශීය සහ විදේශීය රැකියා වෙළෙඳපොළේ රැකියා ලක්ෂ 20ක් පැහැදිලිවම නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.

දැනට කර්මාන්ත ශාලාවක් නැති සෑම ආසනයකම කර්මාන්ත ශාලාවක් පිහිටුවන්න අපි ප්‍රමුඛත්වය දෙනවා. කෘෂිකර්මය කේන්ද්‍ර කරගත් සමාජයක අපි ජීවත් වෙනවා. අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් තාක්ෂණය අපි නූතන පරම්පරාවේ ගොවීන්ට දෙනවා. නිෂ්පාදන අලෙවි කරන්න දේශීය සහ විදේශ වෙළෙඳපොළ වගේම ගොවියා ආරක්ෂා කරන්න ගත යුතු සෑම තීන්දුවක්ම අපේ ආණ්ඩුව තුළ ගන්නවා. මේ රටේ වවන්න පුළුවන් සෑම බෝගයක්ම අපි වවන්න ඕනෙ කියා අපි විශ්වාස කරනවා. පිටින් ගෙනත් කන්න දෙන එක නොවෙයි. සාධාරණ බදු ක්‍රමයකට කෘෂි නිෂ්පාදන සහ භාණ්ඩ මිලට ගන්න පුළුවන් වැඩපිළිවෙළ අපි හදන්න ඕනෙ. ඒ සඳහා අවශ්‍ය දැක්ම අපේ ආණ්ඩුවේ තිබෙනවා. හැම රෝහලක්ම තාක්ෂණය ඔස්සේ ජාලගත විය යුතු වෙනවා. ඒ ජාලගත වීම තුළ කාර්ය මණ්ඩල සහ ඖෂධවල හිඟයක් ඇත්නම් කඩිනමින් තීන්දු තීරණ ආණ්ඩුවට ගන්න හැකිවන ආකාරයේ ක්‍රමවේදය නවීකරණය කරනවා. ඒ තුළ ගමේ ජනතාවට අවශ්‍ය ඖෂධ වෙලාවට දෙන්න පුළුවන් වෙනවා. ඒ නූතනත්වයට අපි යා යුතුයි.

ඔබේ දරුවන් අපි බිහිකරන ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්නේ නවීකරණයයි. නූතන ලෝකයේ රැකියා වෙළෙඳපොළ තුළ රැකියා දිය යුතු වෙනවා. ලෝකයේ ඕනෑම රටක් සමඟ ගනුදෙනු කරන්න පුළුවන් අධ්‍යාපන ව්‍යුහාත්කමක වෙනස ඇති කරන්න ඕනෙ. සෑම ආණ්ඩුවක්ම පොරොන්දු වෙනවා ඉඩම් ප්‍රශ්න විසඳනවා කියලා. මේ රටේ ඉඩම් පද්ධතිය ඩිජිටල්කරණයට යටත් කළ යුතුයි. එසේ කරන්නේ නම් පමණයි කඩිනම් ඔප්පු සහ බලපත්‍ර දෙන්න පුළුවන්. එසේ නොමැතිව වත්මන් ක්‍රමවේදයට යන්නේ නම් වසර 25ක් 30ක් යනවා ඉඩමකට බලපත්‍රයක්, ඔප්පුවක් දෙන්න. ඒක කොළඹ ඉන්න අයට බලපාන්නේ නෑ.

මේ ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික ප්‍රශ්න හඳුනාගෙන තිබෙනවා. මේ ප්‍රශ්න සඳහා දේශපාලන වේදිකාවට සීමාවු දේශපාලනික විසඳුම් නොවෙයි ප්‍රායෝගික විසඳුම් දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් ඇති පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හඳුන්වන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් කරන්න පුළුවන් දේ සඳහා ජනතාව රස්තියාදු කරන්න අවශ්‍ය නෑ. තාක්ෂණය සමඟ බද්ධ කොට ඒ වගකීම් අදාළ නිලධාරීන්ට භාර දුන් පසුව ඒවා ඉටු කරනවා ද නැද්ද කියා අධීක්ෂණය කළාම ප්‍රාදේශීය සභාවේ කොට්ඨාසයේ මන්ත්‍රීවරයාට තීන්දු තීරණ ගන්නවා වගේම ගමේ සංවර්ධන වගකීම භාර දුන්නාම නැවත වරක් මේ රට තුළ මහ පොළොව වැඩබිමක් බවට පත්කරන්න පුළුවන් වෙනවා.”

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි

“මැයි නවය අරගලය අපි දන්නවා. එදා යුද්ධය පවතින කාලයේ අපේ නායකයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කළා. එදා මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ මරා දමන්න ඇතැමුන් උත්සාහ කළා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළා. නමුත් ජාතියේ වාසනාවට මහින්ද රාජපක්ෂ මහතා එදා බේරුණා. නමුත් මේ සටන අපි කරන්නේ ජාතිය, ආගම, රට බේරාගන්න. එහෙම නැතිව ගෑස් ටැංකිය බේරා ගන්න නොවෙයි. මේ රටේ සංස්කෘතිය බිමට සමතලා කරන්නත් ඔවුන්ට අවශ්‍ය වුණා. නමුත් මේ රටේ ඕනෑම අයකුට ඉන්න පුළුවන්.

පාවාදෙන දේශපාලනය අපේ රටෙන් නතර කළ යුතු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය උඩින් ගහලා ඡන්දයට එන සැමට අපි පාඩමක් ඉගැන්විය යුතු වෙනවා. ජාතියට පණ දෙන්න පුළුවන් නායකයන් මේ රටට පත්කළ යුතු වෙනවා.”

රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අති විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටිනවා. ඇතැමුන් බලාගෙන සිටියේ මේ රැස්වීම අසාර්ථක වෙනකල්. නව සංවිධායකවරයා ලෙස චමින්ද මහතා ඉතා හොඳින් මෙය සංවිධාන කර තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයෙත් නිහඬ ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියල්ලත් අපට ඡන්දය දෙනවා. නාමල් රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න හේතුවක් තිබෙනවා. මේ ස්ථානයට පැමිණි අය හෘද සාක්ෂියට එකඟව පැමිණ තිබෙනවා. මේ අයට බොරු පොරොන්දු දීලා ගෙනාවේ නෑ. වැඩ කර තිබෙන කෙනෙක් ලෙස නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ ස්ථානයත් මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධනය දකිනවා. මේ නගරයේ විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. ”

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා

“අපි එදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න කිව්වේ නෑ. රාජපක්ෂවරුන් තමයි එහෙම කිව්වේ. ඒ නිසා ඉතිරි අවුරුදු පහක් ජනාධිපති කරන්න බැරි ඇයි කියා ඇතැමුන් අහනවා. අවුරුදු දෙකකට රනිල් පත්කළා තමයි. එයා පත්කළේ අපි. අරගලය වෙලාවේ කිව්වා, රාජපක්ෂලාට ඇමැතිකම් දෙන්න බෑ කියලා. පොහොට්ටුවේ කෙනකුට ජනාධිපතිකම, අගමැතිකම දෙන්න බෑ කිව්වා. ඒ නිසා තමයි පොහොට්ටුවේ නොවෙන කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළේ. අපි එදා ආණ්ඩුවක් විදියට සහාය දුන්නා. ඒ කළ දේ ඇතැමුන්ට අමතක වෙලා තිබෙනවා. එදා තිබු ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවක් ලෙස අපට වගකීමක් තිබුණා. අස්ථාවර රට ස්ථාවර නොකර දාලා දුවන්නේ නෑ. ඒ නිසා පෝලිම් නතර කරන්න අවශ්‍ය පියවර ගත්තා. මහින්ද රාජපක්ෂ මහතා 30 වසරක යුද්ධය අවසන් කරන්න ක්‍රියාමාර්ග ගත්තා. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට වැදගත් සේවාවක් සිදු කළා.”

බිබිල ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සංවිධායක චමින්ද පුෂ්පකුමාර මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර මොනරාගල සිට …

ඡායාරූප – සුලෝචන ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here