Home Politics News Room : පුරවැසියාගේ රසඥතාව වැඩිදියුණු කිරීම අපේ වගකීමක්

News Room : පුරවැසියාගේ රසඥතාව වැඩිදියුණු කිරීම අපේ වගකීමක්

0
0

පුරවැසියාගේ රසඥතාව වැඩිදියුණු කිරීම ජාතික ජන බලවේගයේ පාලනයක වගකීමක් ලෙස සලකන බව එහි නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 08 වැනිදා කොළඹ, කාසල් වීදිය තැප්‍රොබේන් ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ ජාතික සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අපේ සමාජය එකිනෙකාට රැකවරණයක් නොමැති සමාජයක් බවට පත්වී තිබෙනවා. කාන්තාවන්ට, දැරිවියන්ට ආරක්ෂාවක් නෑ. අනෙකාගේ දුකකදී කම්පනයක් ඇති නොවන සමාජයක් බවට පරිවර්තනය වී තිබෙනවා. සිනහවක් නොමැතිව වියළුණු සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. අනෙක් සෑම ක්ෂේත්‍රයක් වගේම මේ සමාජය යළි සුවපත් කිරීමේ වගකීම රජයක් ලෙස අපටත්, එහි ක්‍රියාකාරී වැඩ කොටස ඔබටත් පැවරී තිබෙන බව අපි විශ්වාස කරනවා. සමාජයට යළි ආදරය, ලෙන්ගතුකම, සහකම්පනය කැටුව ආ යුතුයි. ඒ වෙනුවෙන් ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයන් සිදු වීම අවශ්‍යයි. එයින් කොටසක් අධ්‍යාපන ක්ෂේත්‍රයට පැවරෙන අතරම ඔබ නියැළෙන කලා ක්ෂේත්‍රයට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා ඔබේ නිදහස් පරිකල්පනයන් සමාජයට මුදා හැරීමට පහසුකම් සැලසීම අපි අපේ වගකීමක් ලෙස සලකනවා.

ඔබ මොනතරම් උසස් නිර්මාණයක් කළත් එය සමාජයට ගෙන යෑමට හැකිද කියන ප්‍රශ්නය මතු වෙනවා. පවුලේ අය සමඟ අන්තිමට චිත්‍රපටයක් බලන්න, වේදිකා නාට්‍යයක් බලන්න ශාලාවකට ගියේ කවද්ද කියලා ඔබ ගමකට ගිහින් අහලා බලන්න. සාතිශය බහුතරයකට එවැනි අත්දැකීමක් නෑ. අලුතින් ආපු නවකතාවක් කියෙව්ව ද, අලුතෙන් පිටවූ කවි පොතක කවියක් රසවින්දාද කියලා අහලා බලන්න. ඒ කිසිවක් නෑ. වියැළුණු මිනිස් සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. රංග ශාලා, සිනමා ශාලා ක්‍රමයෙන් වසා දමමින් තිබෙන රටක් නිර්මාණයවී තිබෙනවා. මට මතකයි, මම පොඩි කාලේ පළමුවෙන්ම බලපු චිත්‍රපටය තමයි ‘චිං චිං නෝනා’. ඒක බැලුවේ අපේ පළාතෙ තඹුත්තේගම ඊගල් සිනමා ශාලාවේ. දැන් එම සිනමා ශාලාව වී ගබඩාවක්. මාතර බ්‍රෝඩ්වේ සිනමා ශාලාව දැන් සුපර් මාර්කට් එකක්. සමහර සිනමා ශාලාවල ටියුෂන් පවත්වනවා. මේවායින් පෙන්වන්නේ කුමක්ද? අපේ රට මේ ගමන් කරමින් සිටින දිසාව කුමක්ද යන්න නොවේද?

සිනමා ශාලා ඉතිරිවී තිබෙන්නේ ඉතාම කුඩා ප්‍රමාණයයි. අනෙක් ඒවා වැසී ගිහින්. දැන් අපි අහනවා ගෑස් පෝලිම් නෑ, තෙල් පෝලිම් නෑ කියන කතා. ඒත් අපි හරිම ආසාවෙන් ඉන්නවා සිනමා ශාලාවල පෝලිම් දකින්න. රංග ශාලාවක් ඉදිරිපිට පෝලිමක් දකින්න. නවකතා පොත් මිලදී ගැනීමට සෙනඟ ඉන්න පෝලිමක් දකින්න. අපි ආසයි එහෙම පෝලිම් දකින්න. එනිසා අපි අපේ පාලනයක් යටතේ කලාව නිසි පරිදි ඔසවා තබන්න පියවර ගන්නවා. අපි ආරම්භයේදීම විස්කම්පාන බවක් මම කියන්නේ නෑ. යළි ජනතාව සිනමා ශාලාව වෙත කැඳවන, රංගන ශාලාව වෙත කැඳවන, සාහිත්‍ය පොතපත කියවන තැනට කැඳවන, අපේ රටේ පුරවැසියාගේ රසඥතාව වැඩිදියුණු කිරීමට පියවරෙන් පියවර ක්‍රියාමාර්ග අපේ පාලනයකදී ගන්නවා.

අපේ රටේ ආර්ථිකය තිබෙන තැන අපි දන්නවා. එනිසා අද අපේ රටේ ජනතාවගෙන් ඉතා කුඩා කොටසක් පමණයි සිනමා, සාහිත්‍ය ආදී ක්ෂේත්‍රවල රස විඳින්න පෙළඹී තිබෙන්නේ. ඒ සඳහා හැකියාව තිබෙන්නේ ඉතා සුළු පිරිසකට. සීමාසහිත වටපිටාවකට අපේ ජනතාව කොටු වෙලා. රූපවාහිනියේ විකාශය වන ටෙලිනාට්‍යයක්, සමාජ ජාලාවල විකාශය කරන කුමන හෝ කලා අංශයක් පමණක් නරඹන තරමට අද ජනතාවගේ කලා රසවින්දනය සීමා වෙලා. රූපවාහිනියේ ටෙලි නාට්‍යයකට සමාජ ජාලාවල පුංචි වීඩියෝ ක්ලිප් එකකට එය ලඝුවී තිබෙනවා. අපි එතැනින් එහා සජීවීකරණයකට මේ මිනිස් සමාජය කැඳවිය යුතුයි. හුදු හුදෙකලා පොතක් කියැවීමක් නොවෙයි. හුදෙකලා චිත්‍රපටයක් බැලීමක් නොවෙයි. ඒ අත්දැකීම සමාජයත් එක්ක බෙදාහදා ගන්න, සමාජයත් එක්ක පුළුල් කතිකාවක යෙදෙන, සමාජීය වශයෙන් පෝෂණය වන, අත්දැකීම් එකිනෙකා අතර බෙදාහදා ගන්න සාහිත්‍යමය හා සංස්කෘතිමය සමාජයක් මෙරට බිහිවිය යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානයේ අපි ඉන්නවා.

අද තාක්ෂණය හුවමාරු කරගෙන එකිනෙකා අත්විඳිනවා වගේම සෞඛ්‍ය දියුණුවේ අත්දැකීම් උකහාගෙන එකිනෙකා පෝෂණය ලබනවා වගේම ලෝකයේ සංගීතය ද සිනමාව ද හුවමාරු කර ගනිමින් තිබෙනවා. අවාසනාවකට අපි ඉතා කුඩා කොදෙව්වකට සීමාවී සිටිනවා. ඒ නිසා අපේ රටේ සංගීතය, චිත්‍රපටය හා අනෙක් සංස්කෘතික නිර්මාණ අපෙන් එළියේ ලෝකයට ගෙන යන්නේ කෙසේද කියන එක අපි කල්පනා කර බැලිය යුතුයි. අපි ඒ ගැන මේ වන විටත් සාකච්ඡාවට බඳුන්කොට තිබෙනවා. අපට වඩා ගව් ගණනක් පිටුපසින් සිටි දකුණු කොරියාව ඔවුන්ටම ආවේණික වූ සංගීතයක් නිර්මාණය කර ගන්න සමත් වුණා. ඔබ යූටියුබ් එකට ගියොත් දකුණු කොරියාවේ බීටීඑස් සංගීත කණ්ඩායමේ වීඩියෝ දැනට මිලියන 1800ක් නරඹා තිබෙනවා. දකුණු කොරියාවේ ජනගහනය මිලියන 50යි. ඔවුන් සංගීතය තම රටෙන් ඔබ්බට ගෙන යන්න සමත්වෙලා තිබෙනවා. ඔවුන්ටම අනන්‍ය වූ සංගීතයක් නිර්මාණය කරගන්න සමත්වී තිබෙනවා. ඔබ ලෝකයේ ඕනෑම ගුවන්යානයකින් ගමන්කරන කොට එම යානයේ රූපවාහිනී තිරය මත කොරියන් චිත්‍රපට එකතුවක් දකින්න පුළුවන් වෙනවා. ඔවුන් තම රටෙන් ඔබ්බට යන සිනමාවක් නිර්මාණය කරගෙන තිබෙනවා.

දශක ගණනාවක් ලෝකයේ සංගීතයේ, සිනමාවේ, සාහිත්‍යයේ විශාල පරිවර්තනයන් හා විවෘතවීම් සිදු වෙමින් ආවත් අපි ඒ විවෘත වූ ලෝකය අත්පත් කරගැනීමට අසමත් වූ ජාතියක්. ඒක තමයි ඇත්ත. අපි විටෙක අතීතකාමිත්වයේ, විටෙක අපටම වූ සාධක මත හිරවුණු ජාතියක්. කුමන බාධක මධ්‍යයේ වුවද අද ඉරාන සිනමාව ලෝකයට කොපමණ ප්‍රවිෂ්ටවී තිබෙනවා ද? අපටත් දක්ෂ නිර්මාණ ශිල්පීන් ඉන්න බව අපි දන්නවා. විවිධ අවස්ථාවල ලෝකයේ ප්‍රධාන චිත්‍රපට ප්‍රදර්ශන උලෙළවලදී විශාල ජයග්‍රහණ ලබපු චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අපට ඉන්නවා. ඒත් අපට ලෝක සිනමාවෙන් පංගුවක් අත්පත් කර ගන්න නොහැකිවී තිබෙනවා. පසුගිය කාලයේ ලෝකයේ විවිධ විද්වතුන් ලෝකය ගමන් කරමින් සිටින්නේ කොහාට ද කියලා පුරෝකථනය කර තිබුණා. එහිදී විශාල පදාසයක් සිනමා කලාව දිශාවටත් විවෘත වෙමින් තිබෙනවා. එය එසේ වුවත් එම අලුත් ලෝකයෙන් පංගුවක් අත්පත් කරගැනීමට තවමත් අප අසමත්වී සිටිනවා.

ඔබ මේ සමාජයේ ප්‍රගමනය බලාපොරොත්තුවෙන් විවිධ දේ ලිව්වා. කිව්වා. විවිධ නිර්මාණ කළා. එහෙත් ඒවා සාර්ථක කර ගන්න මේ ක්‍රමය යටතේ ඉඩකඩ විවෘත වුණේ නෑ. ඔබගේ සිත තුළ කැකෑරෙමින් තිබුණ එම වුවමනාව, ඔබ ඔබගේ නිර්මාණ තුළ දුටුව නව ලෝකය නිර්මාණය කිරීම සඳහා දරන ප්‍රයත්නයට සහාය දීම අපේ වගකීමයි. ඔබ තව තව ලියන්න. නවකතා නිර්මාණය කරන්න. නිර්මාණකරණයේ යෙදෙන්න. අපි ඔබට සහාය දෙන පාර්ශ්වකරුවකු වෙන්නම්. ඔබගේ පරිකල්පනයේ අරමුණ යථාර්ථයක් බවට පත්කළ හැකි රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. මේ ප්‍රයත්නය ජයග්‍රහණය කිරීමට අපි එක්ව පියාඹමු.”

 

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here