Home Politics News Room : 1994 ජනාධිපතිවරණයේදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වයට බිලි වූ

News Room : 1994 ජනාධිපතිවරණයේදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වයට බිලි වූ

2
0

රටේ දශක කීපයක් පුරා පැවති යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස විශාල අපේ රටේ මානව සම්පත අහිමි විය. විශේෂයෙන්ම අපේ රටට නායකත්වය ලබා දීමට සමත්කම් දැක්වූ චරිත ගණනාවක් අකාලයේ අපිට අහිමි වුණි. අදත් ජීවත්ව සිටිය යුතුම වූ නමුත් එල්ටීටීඊය විසින් 1994 ජනාධිපතිවරණ සමයේ ඝාතනය කෙරිණ. එක්සත් ජාතික පක්ෂයට සිටි පෞරුෂයක් සහිත නායකයන් රැසක් ඝාතනය වීමෙන් ඔවුන්ගේ ශක්තිය පක්ෂයට අහිමි විය. මේ සටහන එක්සත් ජාතික පක්ෂයට අහිමි වූ එම විශිෂ්ට නායකයන් පිළිබඳවයි.

1994 ජනපතිවරණ රැස්වීම් මාලාවේ අවසන් රැස්වීම පැවතියේ තොටළඟය. ඒ 1994 ඔක්තෝබර් 23 වැනිදා හැන්දෑවේදීය. මෙම රැස්වීම සඳහා එජාප පාක්ෂිකයන් විශාල සංඛ්‍යාවක් මෙන්ම ගාමිණී දිසානායක, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර, ක්‍රිස්ටි පෙරේරා, ගාමිණී විජේසේකර, වීරසිංහ මල්ලිමාරච්චි, ඔසී අබේගුණසේකර වැනි එජාපයේ දැවැන්තයින් රාශියක් සහභාගි විය.

ජනාධිපති ආපේක්ෂක ගාමිණී දිසානායක, හිටපු අමාත්‍යවරුන් වූ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඔසි අබේගුණසේකර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාව සිටි ගාමිණී විජේසේකර ආදී දේශපාලන නායකයන් ඇතුළු 42ක් තොටළඟ බෝම්බ ප්‍රහාරයෙන් ඝාතනය වූ අතර 70කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූහ.

ලයනල් ගාමිණී දිසානායක

1994 ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවන් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා ගාමිණී දිසානායක මහතාය. මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්වී සිටි රාජාලියා පක්ෂයේ ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර ආදීහු යළි එක්සත් ජාතික පක්ෂය තුළට අවතීර්ණව සිටි අතර ජනපතිවරණයේ එජාප අපේක්ෂකයා ලෙස ගාමිණී ඉදිරිපත් කර තිබිණි.

එක්සත් ජාතික පක්‍ෂයේ දර්ශනය ගමින් ගමට යොමු කිරීමේ අසීරු කාර්යභාරයේ කොටසක් ගාමිණී දිසානායක මහතා වෙතද පැවරුණේ එදා ඔහු හිරිමල් යොවුන් වියේ පසුවීමත්, ඔහු සතුව තිබූ සංවිධාන ශක්තියත්, ජනතාව ඇද බැඳ තබා ගැනීමේ දක්‍ෂ කථිකත්වයත් හේතුවෙනි. ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඔහු ගමන් කළේ ඉතාමත් දුෂ්කර මාවතකය. ඔහු විශාල දේශපාලන අරගලයකින් පසු තරගයට පිවිසියේය. ඔහුට දුෂ්කර අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට සිදු විය.

ජනාධිපති ඩී.බී. විජේතුංග 1994 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළ පසු දිසානායක මහතා එජාප අපේක්ෂකයා ලෙස තේරී පත්වූයේ ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන එම අවස්ථාවේදීමය. ඔහු තොටළඟ මැතිවරණ රැස්වීමක් අමතමින් සිටියදී 1994 ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැලියක නිමාව සිදුවූයේ එක්සත් ජාතික පක්‍ෂයට සහ ශී‍්‍ර ලංකා මාතාවට වටිනා යුගපුරුෂයෙකුගේ නිමාව ද සනිටුහන් කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක මහතාව තොටළඟ පැවැති අවසන් එජාප ජන රැලියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු අතර ගාමිණී වෙනුවට අපේක්ෂකත්වයට එජාපය නම් කළේ ඔහුගේ බිරිය වූ ශ්‍රීමා දිසානායකය. ඒ අනුව 1994 ඔක්තෝබර් 07 වැනිදා පැවැති තෙවැනි ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා වාර්තාගත ඡන්ද 47,09,205ක් දිනාගෙන ජනාධිපතිනිය වූවාය.

ගාමිණී විජේසේකර

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරිකයෙකු විදිහට කටයුතු කළ මෙතුමා වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු විය. ගාමිණී විජේසේකර මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමටත් සමත් විය. ජේ.ආර්. ජයවර්ධනට එරෙහිව රුක්මන් සේනානායක සමග කැරැල්ලක් දියත් කොට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණු ගාමිණී විජේසේකර අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කෙරිණි. නමුත් රණසිංහ ප්‍රේමදාසගේ ඉල්ලීම පරිදි එම දේශපාලන පක්ෂය විසුරුවා හැර නැවතත් එක්සත් ජාතික පක්ෂයට ඔහු එකතු විණි. පසුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට පත්වූ ඔහු ප්‍රේමදාසගේ මරණයෙන් පසුව ගාමිණී දිසානායකව නැවතත් එම පක්ෂයට එකතු කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කළේය. නමුත් එතුමාටත් තොටළඟ බෝම්බෙන් ජීවිතය අහිමි විය.

වීරසිංහ මල්ලිමාරච්චි

වීරසිංහ මල්ලිමාරච්චි කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කළ ඔහු කෙමෙන් කෙමෙන් දේශපාලනයේ ඉහළට

පැමිණි අයෙකි. වීරසිංහ මල්ලිමාරච්චි කියන්නෙත් තොටළඟ බෝම්බය නිසා අකාලයේ එක්සත් ජාතික පක්ෂයට අහිමිවුණු නායකයෙකි. වීරසිංහ මල්ලිමාරච්චි 1977 පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ සමගි පෙරමුණු රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ ටී. බී. ඉලංගරත්නව පරාජය කරමිනි. ඒ කොළොන්නාව ආසනයෙනි. එසේම ඔහු ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන ජනාධිපතිවරු ළඟින්ම කටයුතු කළ අයෙකි. ඔහු දෝෂාභියෝග සමයේ පවා රණසිංහ ප්‍රේමදාසව රැක ගැනීමට කටයුතු කළේය. විශේෂයෙන්ම කිවයුතු කරුණ වන්නේ ඔහු කිසිම අවස්ථාවක ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යන දෙදෙනාගේ විරුද්ධවාදියෙකු ලෙස කටයුතු නොකළ අයෙකි. මේ නිසාම ගාමිණී නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණි පසුව ඔහු තමන්ගේ පූර්ණ සහයෝගය ගාමිණීට ලබා දුනි.

ජී. එම්. ප්‍රේමචන්ද්‍ර

තොටළඟ බෝම්බ ප්‍රහාරයත් සමඟ අපේ රටට අහිමිව ගිය තවත් දේශපාලනඥයෙක් විදිහට ජී. එම්. ප්‍රේමචන්ද්‍රගේ නම සඳහන් කිරීමට පුළුවනි. එක්සත් ජාතික පක්ෂ රජයේ කම්කරු සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරය පවා හෙබවූ ඔහු දේශපාලනය තුළ සටන්කාමී චරිතයකි. කෙසේ නමුත් එල්ටීටීඊය විසින් ඔහුගේ දේශපාලන ගමන සීමා කෙරිණි. 1978 මහමැතිවරණය ජයගෙන මාවතගමින් පාර්ලිමේන්තුවට පැමිණි ජී. එම්. ප්‍රේමචන්ද්‍ර වයඹ පළාත තුළ අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙක් වීමට මේ ජනප්‍රියත්වයට ඔහුගේ චතුර කථිකත්වයත් එක හේතුවකි. ජේ. ආර්. ජයවර්ධන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වුණු ඔහු පසු කලෙක අමාත්‍යවරයෙකු බවටත් පත්විය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයේදී කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාට සහාය ලබා දීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට උත්සාහ කෙරිණි. ඒ අවස්ථාවේ දී දෝෂාභියෝගයට අත්සන් කළ ඇතැම් මන්ත්‍රීවරු පවා එම යෝජනාවට එකඟත්වය පළ කළත් රැස්වීමට සහභාගි වූ ප්‍රේමචන්ද්‍ර තමන්ගේ විරෝධය ප්‍රකාශ කරමින් ඉන් එළියට පැමිණි අයෙකි. එතැන් පටන් ප්‍රේමදාස විරෝධී බලවේගය ගොනු කිරීමට කටයුතු කළ ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණියේ ගාමිණී දිසානායකගේ ආගමනයත් සමඟය. නමුත් තොටළඟ බෝම්බය නිසා ගාමිණීට වගේම ප්‍රේමචන්ද්‍රටත් තමන්ගේ දේශපාලන ජීවිතය අවසන් කරන්න සිදු විය.

ඔසී අබේගුණසේකර

විජය කුමාරතුංගගේ දේශපාලන සඟයකු ලෙස පළමුවරට දේශපාලනය තුළ කැපී පෙනෙන චරිතයක් වීමට පටන් ගත් ඔසී අබේගුණසේකර, ක්‍රම ක්‍රමයෙන් ජාතික දේශපාලනය තුළ කියවෙන නමක් බවට පත්විණි. ඔසී අබේගුණසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති සහ නායකයාද විය. විජය කුමාරතුංග ඝාතනයෙන් පසුව ඔහු යම්තාක් දුරකට එක්සත් ජාතික පක්ෂයට හිතකර දේශපාලන නැඹුරුවක් පෙන්නුම් කෙරිණි. නමුත් ඔහුත් තොටළඟ බෝම්බයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත් විය. 1994 දී පැවති ජනාධිපතිවරණයේදී තොටළඟ ප්‍රදේශයේ පැවති අවසන් රැලියේදී එජාපයේ කෘතහස්ත දේශපාලනඥයින් රාශියක් රටට අහිමි විය.

රුවන් පුෂ්පකුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here