17
අසත්‍ය චෝදනා එල්ල කරමින් තමා සහ තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යහපාලන ආණ්ඩුව වියදම් කළේ මේ රටේ මහජනතාවගෙන් අය කර ගන්නා බදු මුදල් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවැසුවේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීමට මාතලේ, නාඋල නගරයේදී පසුගිය 09 වැනිදා පැවති ජන හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අපේ රටේ දේශපාලනඥයන් බොහෝ වෙලාවට සංවර්ධනය දැක්කේ වැරදි ඇසකින්. එක පැත්තකින් ඒ අයට දැක්මක් තිබ්බේ නෑ රට හදන්න. ඒ අය කවදාවත් සිතුවේ නෑ මේ රටේ මාර්ග පද්ධතිය කාපට් වෙලා ගම සහ නගරය යා කරයි කියලා. ඒ අය බොහෝ වෙලාවට බැලුවේ මැතිවරණ වේදිකාවේදී පොරොන්දු ගොන්නක් දී ඒ පොරොන්දු අලුත් කරගෙන ඊළඟ මැතිවරණයට යන්න. ඒ නිසාම තමයි අපි අවුරුදු තිහක් දැක්කේ මැතිවරණ වේදිකාවේ දූෂණය, භීෂණය, යුද්ධය ආදිය පෙරළ පෙරළා කියනවා. දැන් යුද්ධය කියන කාරණය අවසන්. ඒ නිසා දැන් බොහෝ වෙලාවට හොරු අල්ලන්න තමයි ජනාධිපතිවරුන් එන්නේ. ඒ නිසා හොරු අල්ලන්න ගියාම පොලිසියට වෙනත් වැඩක් කරන්න වෙන්නේ නෑ. ජනාධිපතිවරුන් වෙන්නෙත් හොරු අල්ලන්න. යහපාලන ආණ්ඩුවෙත් එහෙමම ආවා. කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම ඒ කමිටුවට එකතු වෙලා හොරු අල්ලන්නත් ගියා. අපට නඩු පිට නඩු දැම්මා. මම මේ මැතිවරණය ඇතුළෙත් උසාවි ගිහිල්ලා ආවේ. නමුත් අපි ඒ හැම නඩුවකින්ම නිදොස් කොට නිදහස් වුණා. අයුතු ලෙස වත්කම් උපයා ගත්තා කියා කිසිම සාක්ෂියක් නෑ. ඒ නිසා එම නඩුවලින් නිදහස් වුණා. නමුත් ඒ සෑම පරීක්ෂණයකටම වියදම් කළේ මේ රටේ ජනතාවගෙන් ගන්නා බදු මුදල්. සමහරවිට ගත් ණය වෙන්නත් පුළුවන්. මේවා තනිකරම දේශපාලන වේදිකාවේ ඇමැති සටන් පාඨ. ලැම්බෝගිනි හොයන්න අපේ ගෙවල්වලට ඇවිල්ලා වැසිකිළි වළවලුත් හාරලා බැලුවා. දැන් බැලුවාම අපටම හිනා යනවා. මෙහෙම නායකයන් ද රට පාලනය කරන්නේ කියලා. අපේ අම්මට පෙර පාසලක් තිබෙනවා. ඒකෙ තිබෙනවා, මුහුදෙ දාපු හෙලිකොප්ටරයක්. ඒ ගැන පරීක්ෂණයක් කරන්නත් ආවා හෙලිකොප්ටරයක් තියෙනවා කියලා. එවැනි පිරිසක් තමයි මේ රටේ ආණ්ඩු කරන්න ඉල්ලන්නේ. අපට වෛරය නෑ. අපට පළිගන්න වුවමනාවක් නෑ. නමුත් අපට වැඩ කරන්න ඕනෙ. අපට රට හදන්න ඕනෙ. අපි හැමදාම විශ්වාස කළ අපේ සංස්කෘතිය, අපේකම, දේශීයත්වය, ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕනෙ. අපි මැතිවරණ වේදිකාවට එන්නේ ප්‍රතිපත්තියක් එක්ක. පෞද්ගලික කාරණා මත නොවෙයි.
හැම ආණ්ඩුවකම හැම ජනාධිපතිවරයෙක් යටතේම හිටපු ඇමැතිවරුන් ඉන්නවා. අපටත් තිබුණා දේශපාලනික වශයෙන් මාරු වෙන්න. අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවා. මහින්ද රාජපක්ෂ මහතා එදා මොන්ටි ගොපල්ලව මැතිතුමාලා එක්ක ගොඩනඟපු දේශපාලන බලවේගය අපි දන්නවා. ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තිබෙන්න ඕනෙ. අපි පැහැදිලිව රට හදන පැත්තේ සිට ගනුදෙනු කරනවා. අපි අදටත් විශ්වාස කරනවා, මේ රටේ දේශීය ව්‍යාපාර රකින්න ඕනෙ කියලා. මාතලේ දිස්ත්‍රික්කයට එනකොට කුඩා කර්මාන්ත සඳහා හොඳ මිලක් දෙන්න, ව්‍යාපාරිකයන්ට සහන දෙන්න අපි කටයුතු කරනවා. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම බෝගයක්ම නිෂ්පාදනය කරනවා. දේශීය ව්‍යාපාරිකයා, කම්කරුවා, ව්‍යාවසායකයා ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුවක් තුළ කටයුතු කරනවා. ඒ අය කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. මේ රට ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. මේ රටේ තරුණ තරුණියන්ට විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, රියැදුරු බලපත්‍රය පෝලිම්වල නොසිට ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.
සැබෑ පෝලිම ඉවත් කරනවා. වංචාව හා දූෂණය මැතිවරණ වේදිකාවෙන් ඉවත් කරනවා. තාක්ෂණය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිට ටෙන්ඩර් පටිපාටිය දක්වා තරගකාරී ලංසු ක්‍රමයට තාක්ෂණය හඳුන්වාදී විනිවිදභාවය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. අපි ගනුදෙනු කරන්නේ ලෝකයත් එක්ක. අපි ගනුදෙනු කරන්නේ මේ රටේ මහ පොළොවේ පය ගහලා ඉන්න මව්පියන්ගේ දරුවන්ගේ ආර්ථිකය සුරක්ෂිත කරන්න. තොරතුරු තාක්ෂණ අංශය වෙන්න පුළුවන්, ආයෝජන හා නිෂ්පාදන අංශය වෙන්න පුළුවන්, සේවා අංශය වෙන්න පුළුවන්, විදේශ රැකියා අංශය වෙන්න පුළුවන්, රැකියා ලක්ෂ විස්සක් ඊළඟ වර්ෂය දහයේ ඔබේ දරුවන් වෙනුවෙන් නිර්මාණය කිරීමේ අභියෝගය මම භාර ගන්නවා. මම දන්නවා මේ රටේ තරුණයන්ගේ අවශ්‍යතාව මොකක්ද කියලා. මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරන විදිය මම දන්නවා. අපේ දරුවන් වෙනුවෙන් රාජ්‍ය සම්පත් සංවර්ධනය කර අලුතින් රැකියා උත්පාදනය කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් දියුණු රටක් ගොඩනඟන අභියෝගය අපි භාර ගන්නවා.”
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා
“අද අපි රටක් ලෙස අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දෙමින් ඉන්නවා. අසාමාන්‍ය දේශපාලන වාතාවරණයක විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටිනවා. එදා මැයි මාසයේ 9 වැනිදා මගේ කාර්යාලය ගිනි තිබ්බා. නිවෙස විනාශ කළා. අර්බුදයක් ඇති කර ආණ්ඩුවේ නායකත්වය මාරු කළා. 2020 පාර්ලිමේන්තු මැතිවරණය අපි විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. එයින් පසුව මැතිවරණ පවත්වා නෑ. නමුත් ඒ අවුරුදු හතර ඇතුළත වසංගත තත්ත්වයක් ආවා. ආර්ථික අර්බුදයක් ආවා. ඒවා දඩමීමා කරගෙන මේ රටේ දේශපාලනයේ වෙනස්කම් සිදු වුණා. ඒවා සියල්ල සිදු වුණේ කුමන්ත්රණවලින්. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේ මේ රටේ ජාතිකවාදී කඳවුරයි. මේ රටේ දේශීයත්වය නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂයි. අනෙක් සියලු අපේක්ෂකයන් විදෙස් බලවේග සමඟ එක්ව සිටිනවා. ඡන්දයෙන් ගන්න නොහැකි අවස්ථාව විවිධ කුමන්ත්රණවලින් ගන්න ඔවුන් උත්සාහ කළා. මේ රටේ අරගලයක් නිර්මාණය කළා. ඒවා කෘත්‍රිමව නිර්මාණය කළා. තෙල් ගබඩාවල දත්ත පද්ධතිය එදා සම්පූර්ණයෙන්ම මකා දමා තිබෙනවා. එදා පෝලිම් හදපු විදිය අපි දන්නවා. බලය අල්ලා ගැනීමට ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ”
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා
“වියත් මඟෙන් පැමිණි වියතුන් තමන්ගේ උගත්කම භාරදී බාර් ලයිසන්, රුපියල් ලක්ෂ 2000ට 3000ට මහින්ද රාජපක්ෂ කඳවුර පාවාදී ගියා. ඒ වෙලාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉතිරිවු එකම කෙනා නාලක කෝට්ටේගොඩ මහතා පමණයි. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක සියලු දෙනා පැන ගියා. මහින්ද මහතාගේ ආණ්ඩුව කාලයේ මේ අය ඇමැතිකම් ගෙන රට සංවර්ධනය කළා. නමුත් ඒවාට සල්ලි දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා. නමුත් අවසානයේ අපිව දාලා ගියා. ඒ වෙලාවේ මාතලේ දිස්ත්‍රික්කයේ අභිමානය ආරක්ෂා කර ගන්න නාලක කෝට්ටේගොඩ මහතා සමත් වුණා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 10ක් හිමි වුණා. එහෙම මුදල් අරගෙන අපේ කඳවුරෙන් වෙන්ව ගියා. ”
දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
ඡායාරූප – සුලෝචන ගමගේ
මහින්ද අලුත්ගෙදර මාතලේ සිට..