16
ලංකා ඉතිහාසයේ වැටුණු රටක් ගොඩ ගෙන ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණකැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කහතුඩුව, උන්දුරුගොඩ, පොල්ගස්ඕවිට යන ප්‍රදේශයන්හි ඊයේ (11) පැවති ජන හමු සඳහා සහභාගි වෙමිනි.
එම ජන හමුවලදී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය:
“නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථා දෙකක් තිබෙනවා. පළමු අවස්ථාව වර්ෂ 2001දී ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඍණ එකයි දශම හතරක් වීමයි. ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑමත්, බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ආර්ථිකය ශක්තිමත් නොවීමත්, රජයේ වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ යෑමත් කරණ කොටගෙන පුළුල් වූ අයවැය හිඟය සහ ගෙවුම් ශේෂ හිඟය නිසා දැවැන්ත ආර්ථික අර්බුදයක් රටේ ඇති වුණා. මේ හේතුවෙන් ඒ අවස්ථාවේ රට තුළ දේශපාලන අර්බුදයකුත් නිර්මාණය වුණා. එදා 2001 ආර්ථික අර්බුදයෙන් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට විසඳුමක් සොයාගත නොහැකි වූ නිසා එම ප්‍රධාන පක්ෂයේ ලේකම් එස්.බී. දිසානායක, මහින්ද විජේසේකර, ජී.එල්. පීරිස් ඇතුළු අප ඒ ආණ්ඩුවෙන් ඉවත වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටෙවුවා.
“ඒ ආණ්ඩුවේ අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් මේ වගේම විස්තීරණ ණය ගිවිසුමක් ඇති කරගත්තා. ඒ කාලයේ මුදල් ඇමැති කේ.එන්. චොක්සි, ආර්. පාස්කරලිංගම්, චරිත රත්වත්ත, හෆීස් මොහිදීන්, රෝස් කුරේ වැනි මහත්ම මහත්මීන් සමඟ කඩාවැටුණු ආර්ථිකය ගොඩගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කළා. විශේෂයෙන් රාජ්‍ය සේවයට බඳවාගැනීම් බරපතළ ලෙස සීමා කරලා මුදල් අමාත්‍යංශ ලේකම් චරිත රත්වත්තේ ඉතා දැඩි චක්‍රලේඛයක් නිකුත් කළා. රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා ඇමැතිවරුන් ඒ ආණ්ඩුවේ වැටුප් ගත්තේ නැහැ; අමාත්‍යංශවල තිබුණු පරණ වාහන පාවිච්චි කළා; අලුතෙන් වාහන ගන්න දුන්නේ නැහැ.
“බදු සැලසුම් කර ආදායම් වැඩි කර, වියදම් අඩු කර විනිමය අනුපාතය කෘත්‍රිම ලෙස පාලනය නොකර අවුරුද්දක් යන විට රට නැවතත් කලින් තිබුණු තත්ත්වයට පත් වුණා. ආර්ථිකය වර්ධනය වෙන්න පටන් ගත්තා. නැවත වතාවක් මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න පාර්ලිමේන්තුවෙන් නීතියක් සම්මත කළා. ඒ 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත.
“මේ පනතේ ප්‍රධාන අරමුණු තුනක් තිබුණා. පළමු අරමුණ: 2006 වන විට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහ දක්වා අඩු විය යුතු අතර, ඉන් ඉක්බිති කවර ආණ්ඩුවක් බලයට ආවත් අයවැය හිඟය සියයට පහක් නොඉක්මවිය යුතුයි යන්නයි. දෙවැන්න: 2013 වන විට නොපියවා ඇති මුලු ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හැට පහක් දක්වා අඩු කළ යුතුය යන්නයි. තෙවැන්න: රජය ණය සඳහා ඇප විය හැක්කේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරයි දශම පහක් පමණක් යන්නයි.
“මේ නියමයන්ට අනුව ඊට පසුව එන ආණ්ඩු රට පාලනය කළා නම් ශ්‍රී ලංකාව සහතික වශයෙන්ම කවදාවත් බංකොලොත් වන්නේ නැහැ. එහෙත් රටේ අවාසනාවට චන්ද්‍රිකා ජනපතිනිය සමහර අමාත්‍යාංශ එතුමිය යටතට පවරාගෙන ඇති කළ දේශපාලන අර්බුදයෙන් පසු පැවතුණු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරාජයට පත් වුණා.
“ඊට පසුව බලයට පත් වූ ආණ්ඩුව 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සංශෝධනය කරමින් රට නැවතත් පරණ පාරෙම ගමන් කෙරෙවුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමෙන් ඉවත් වුණා. ඊට පසු රට නැවතත් රට දරුණු ලෙස කඩාවැටුණේ 2022 වසරේදීයි. එහි ආර්ථික වර්ධන වේගය ඍණ හතයි දශම අටකට අඩු වුණා විතරක් නෙවෙයි, 2023දීත් ආර්ථිකය ඍණ වුණා. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පිට පිට වසර දෙකක් ආර්ථික වර්ධනය ඍණ වෙලා තිබෙන්නේ මේ කියන වසර දෙකේදී පමණයි. ඒ අවස්ථාවේදී තෙල් නැති, ගෑස් නැති, විදුලිය නැති, ආහාර පාන නැති, බඩු මිල උසුලාගත නොහැකි මේ තත්ත්වය ඇති වන විට 2022දීත් දේශපාලන අර්බුදයක් ඇති වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පිටව ගියා. මිනීමරු ප්රචණ්ඩ භීෂකයන් මන්ත්‍රීවරයකු මරාදමලා, ව්‍යවස්ථාදායකයේ හැත්තෑ දෙකකට උන් හිටි තැන් අහිමි කරලා, ගෙවල් ගිනි තියලා, බස් ගිනි තියලා දහස් ගණනකට ශාරීරික වද හිංසා පැමිණෙවුවා; පාර්ලිමේන්තුව ගිනි තබා ප්රජාතන්ත්රවාදයේ මළගම ඇති කරන්න උත්සාහ කළා. රට භාර ගන්න කෙනකු නැතිව අරාජික වූ අවස්ථාවේ නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගෙන, ප්රචණ්ඩ මිනීමරු අරගලකරුවන්ට තේරෙන භාෂාවෙන් උත්තර දී ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර පොහොට්ටුවේ හැටනව ලක්ෂයත් රැකගත්තා.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කලින් වතාවේ මෙන්ම වෙනම ගිවිසුම් අත්සන් කර, ඊට අතිරේකව විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ජාත්‍යන්තර ආයතන සමග ගිවිසුම් අත්සන් කර, ඒවාට සමගාමිව පාර්ලිමේන්තුවේ අණ පනත් රැසක් සම්මත කර, දෙවැනි වතාවටත් වැටී තිබූ රට එතුමා ගොඩ ගත්තා. ඒ අනුව ලංකා ඉතිහාසයේ දෙවරක්ම, වැටුණු රටක් ගොඩ ගෙන ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.”
රක්ෂණ ශ්‍රියන්ත