9
ජාතික ජන බලවේගය වෙත ජනතාව තබා ඇති විශ්වාසය අබමල් රේණුවකින්වත් නැති වෙන්න ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ තඹුත්තේගම රැලියට පසුගිය 09 වැනි දින සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මීට කලින් මේ මැතිවරණ පොරය තිබුණේ ඒ අයගෙ පවුල් කිහිපයක් අතරමයි. අද එය වලව් කිහිපයක් සහ පොදු ජනතාව අතර සටනක් බවට පත්වෙලා. ජාතික තලයේ සිට ගම දක්වා මේ සටන විහිදී තිබෙනවා. මෙතෙක් මේ රට පාලනය කළේ පවුල් කිහිපයක් විසින්. ඒත් කමක් නෑ, රටට යමක් කළා නම්. ජනතාව දුක් පීඩාවෙන් මුදාගත්තා නම්. දශක ගණනාවක් මා ඇතුළු ඔබ මේ ව්‍යසනය දිහා බලන් හිටියා. අපි පොඩි මිනිස්සු. හැබැයි අධිෂ්ඨානශීලි මිනිස්සු. අරමුණ අත්නොහරින මිනිස්සු.
මම මේ දේශපාලන ගමන පටන් ගත්තේ 1988දී, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සිටයි. එතැන් සිට දැන් අවුරුදු 36ක් ගත වී තිබෙනවා. අපි විවිධ මර්දනවලට මුහුණ දුන්නා. අපේ ඇස් ඉදිරිපිට අපේ යහළුවන් මිය ගිය හැටි අපි දැක්කා. මරණය අපේ එළිපත්තට ආවා. ඒත් මේ රටත් ජනතාවත් මේ ව්‍යසනයෙන් මුදාගැනීමේ අධිෂ්ඨානය අපි අත්හැරියේ නෑ. 1994දී නැවත යාන්තම් අපි නැඟිටින්න පටන් ගත්තා. අපට ජයග්‍රහණ ආවා. පසුබෑම් ආවා. සමහරු අපව අත්හැරලා ගියා. අපට අවලාද නැඟුවා. අප පිළිබඳව අසත්‍ය තොරතුරු එන්න, කුමන්ත්‍රණ කරන්න පටන් ගත්තා. ඒත් අපගේ මේ ව්‍යායාමය කවදා කොතැනක හෝ ජයග්‍රහණය කරනවා කියන දැඩි අධිෂ්ඨානය අපි අතහැරියේ නෑ. මේ අවුරුදු 36 ඇතුළත අවුරුදු 24ක් මම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.
අපි මේ දේශපාලනයෙන් සතයක් උපයාගෙන නැති පිරිසක්. මහජනයාගේ ධනය අපි සතයක් නාස්ති කර නෑ. අපි කිසිවෙක් තමන්ට පෞද්ගලිකව යමක් උපයාගැනීමේ චේතනාවෙන් දේශපාලනය කරන මිනිස්සු නෙවෙයි. අපිත් විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධි ලබනවා. රැකියාවක් කරලා පෞද්ගලිකව යම් ජීවන තත්ත්වයක් අනුව ජීවිතය ගෙනයන්න පුළුවන් මිනිස්සු. මේ වේදිකාවේ ඉන්න වසන්ත සමරසිංහ සහෝදරයාටත් එහෙමයි. අපට අපේ පෞද්ගලික ජීවිත සුඛිත කර ගන්න අධ්‍යාපනය පැත්තෙනුත් පාරවල් තිබුණා. දේශපාලන පැත්තෙනුත් පාරවල් තිබුණා. නමුත් මේ රටත් ජනතාවත් මේ ව්‍යසනයන් ගලවා ගැනීමේ සද්කාර්ය ඉවත දමන්න අපට යුක්තිසහගත අයිතියක් නෑ. මේ ඈත ගම්වල මිනිස්සු කොතරම් පිරිසක් දුප්පත්භාවයෙන් පෙළෙනවා ද? අපේ ඥාතීන්, මිතුරන් මේ දුප්පත්භාවයේ ගිලිලා ජීවිත නැතිකර ගත් අවස්ථා අපි දැක තිබෙනවා. මහා විශාල බලාපොරොත්තු ඇතිව හදන තමන්ගේ දරුවාට නිසි අධ්‍යාපනයක් දීමට නොහැකිව තමන්ගේ දෑස් ඉදිරිපිටම විනාශ වෙන හැටි බලාගෙන හූල්ල හූල්ල ඉන්න මවුපියන්ට සිදු වෙලා. මේ ගම්වල මොනතරම් කාන්තාවන් තම දරුවන් දාලා, ස්වාමි පුරුෂයන් දාලා මැදපෙරදිග ගෘහ සේවයට ගිහිල්ලා තිබෙනවා ද? ඒ පවුල්වලින් කොච්චර ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවා ද? මැදපෙරදිග ගිය අපේ අම්මලා අක්කලා අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙනවා. අපි එවැනි දේ දැක තිබෙනවා.
අපේ ගම්වල මිනිසුන්ගේ ජීවිතය මොකක්ද? ඉපදෙනවා, මොනවා හරි කරනවා, ඔහේ මියයනවා. අපට උරුම විය යුත්තේ එහෙම ජීවිත ද? නෑ. අපේ ජනතාවට තම ජීවිත කාලයේ සතුටින් හොඳ ආහාර වේලක්, නීරෝගි සම්පන්න ජීවිතයක්, විනෝදයක්, සතුටක් ඕනෙ නැද්ද? ඒ ජීවිතය උරුම එක් පැළැන්තියට විතර ද? අපේ ගම්වල මිනිසුන්ට ඒ ජීවිතය උරුම නැද්ද? ඔබ ඇතිවෙනකල් මේ මහ පොළොව සමඟ පොරබදනවා. අස්වැන්න විකුණා ගන්න කොච්චර දුක් විඳිනවා ද? නමුත් ඒ අය උඩ ඉඳගෙන මහා භාණ්ඩාගාරයේ ධනය හොරකම් කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. ඔබ ගෙයක් හදාගන්න කොච්චර වද විඳිනවා ද? ඒ අය එක ඩීල් එකෙන් කොළඹ අතිසුඛෝපභෝගී, එපාට්මන්ට් ගන්නවා. එක ගනුදෙනුවෙන් ඩුබායිවලින්, එංගලන්තෙන්, ඔස්ට්‍රේලියාවෙන් ගෙවල් ගන්නවා. අමෙරිකාවේ ගෙවල් ගන්නවා. ඔබ ඒ අයට බලය දෙනවා. ඔබලා පීඩනයට පත් කරනවා. ඒ අය රටේ ධනය පොදිගහ ගන්නවා. ඒකයි මේ ක්‍රමය. මේක අපි කුඩා කාලයේදී මේ තරම් ගැඹුරෙන් දැක්කේ නෑ. නමුත් අපිට ආසාවක් තිබුණා, මේ දේශපාලනය වෙනස් කරන්න ඕනෙ කියලා. ඔය හැමෝගේම පැටිකිරිය මම හොඳින්ම දන්නවා. ඔවුන් නිතරම තමන්ට, තමන්ගේ පවුලට පාර කපාගන්නේ කොහොමද කියලා බලනවා.
මේවා අපි ඇස් ඉදිරිපිට දැකපු දේවල්. අපිත් සමඟ හිටපු යාළුවන්ගේ ජීවිත කෙළවර වූ හැටි අපි අපේ ඇස් ඉදිරිපිටම දැකපු මිනිස්සු. අපට තේරෙනවා නම්, දැනෙනවා නම්, අපට මනුෂ්‍යත්වය තිබෙනවා නම්, හෘදය සාක්ෂියක් තිබෙනවා නම්, මෙය වෙනස් කිරීමට ජීවිතය පරදුවට තබා සටන් වදින්න, දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් වෙන්න අපට අයිතියක් නැද්ද? මම එහෙම සටන් වදින දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවක්. මේ රට පොහොසත් රටක් බවට පත් කරන්න අපට අයිතියක් නැද්ද?
ලෝකය දියුණු වෙනවා. අපි හිඟා කනවා. අඩුම තරමේ 60 – 70 දශකයේ පොඩි කර්මාන්ත පද්ධතියක් ගොඩනැඟෙමින් ආවා. ඒ ඔක්කොම මේ පාලකයන් විනාශ කර දැම්මා. ඔක්කොම දේවල් පිටරටින් ගේන්න පටන් ගත්තා. ඉන්දියාව කර්මාන්ත හදනවා. අපි කර්මාන්ත වහනවා. මේ පාලකයන්ට අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න කවදාවත් ඕනෙ වුණේ නෑ.
අපේ ගම්වල ජනතාව සමඟ අපට ඇත්ත බැඳීමක් තිබෙනවා නම්, සැබෑ ළෙන්ගතුකමක් තිබෙනවා නම්, මේ තත්ත්වය වෙනස් කරන්න අපි පොරබැදිය යුතු නැද්ද? අද අපට තීරණාත්මක අවස්ථාවක් ඇවිත් තිබෙනවා. මේ රටට වින කළ, මේ රට විනාශ කළ පාලක කණ්ඩායම් නිශ්චිත වශයෙන්ම පලවා හැරලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෙ. අපි අනිවාර්යෙන්ම එවැනි පන්නයේ ආණ්ඩුවක් හදනවා. මේ සෑම පැත්තෙන්ම දහස් ගණනාවක ජනතාවක් මෙතැනට ඇවිල්ලා තිබෙන්නේ මොකටද? ඔබට අප කෙරෙහි විශ්වාසය තිබෙනවා. ළෙන්ගතුකම අප කෙරෙහි ඇති වෙලා තිබෙනවා. අපි සමඟ බැඳීමක් ඇති වෙලා තිබෙනවා. මම ඔබට සහතිකයක් දෙනවා. ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය හා ළෙන්ගතුකම අබමල් රේණුවකින්වත් නැති වෙන්න අපි ඉඩ තබන්නේ නෑ.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා,
“අද මෙතැන එකතු වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව මීට පෙර විවිධ පක්ෂවලට සහාය දී, ඡන්ද දී වැඩ කළ අය. ඒ ඔක්කොම එකට එකතු වෙලා අද රටට දෙන පණිවිඩය මොකක්ද? ඒ 21 වැනිදාට නියත වශයෙන්ම අනුර කුමාර සහෝදරයා ජනාධිපති ලෙස තෝරා පත් කරන්න ඔක්කොම එකතු වෙලා රොද බැඳගෙන ඡන්දය දෙන්න සූදානම් බවයි.
මේ 21 වැනිදාට අනුර කුමාර සහෝදරයා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන බව සහතිකයි. ඉන්පසු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ රට තුළ පිහිටුවනවා ඒකාන්තයි.”
උපාලි කරුණාරත්න