10
බංග්ලාදේශයේ මේ වන විට උත්සන්න වී ඇති විදුලි අර්බුදය හේතුවෙන් නාගරික ප්‍රදේශවලට පැය 5ක කාලයක් සහ ග්‍රාමීය ප්‍රදේශවල පැය 19ක කාලයක් දෛනික විදුලි කප්පාදුවක් සිදුවන බව එරට ‘නිව් ඒජ්‘ පුවත් සේවය වාර්තා කළේය. රටේ දැනට ක්‍රියාත්මක වන උපරිම ධාරිතාවෙන් 45%ක් පමණක් භාවිත කිරීමට අන්තර්වාර රජයට සිදුවී ඇති බැවින් මෙගාවොට් 12,500ක පමණ විදුලිය නිපදවා පිරිමසා ගැනීමට සිදුවීම ඊට හේතු වී ඇතැයි ද ‘නිව් ඒජ්‘ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
විදුලි කප්පාදුවට අමතරව ඉල්ලුම අධික විමෙන් ඩකා අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක පෙර නොවූ විරූ ආකාරයෙන් විදුලිය බිඳ වැටෙන බවත්, මේ තත්ත්වය කඩිනමින් විසඳීමට රජය අසමත් වන්නේ නම් ඉදිරියේදී එරට විදුලි සැපයුම් පද්ධතිය මුළුමනින්ම කඩා වැටෙනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද විදුලිබලාගාර 50කට වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් අක්‍රිය වී ඇති අතර, ගල්අඟුරු හා ඩීසල් හිඟය කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස අන්තර්වාර රජයට එරට ව්‍යාපාරික ප්‍රජාව වෙතින් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.
විදුලි අර්බුදය විසඳ ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවත්, විසඳුම් සොයා ගැනීමට අසීරු ගැටලු විශාල ප්‍රමාණයක් ඇති බවත් එරට විදුලිබල සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
මෙගාවොට් 500කට වැඩි ධාරිතාවක් ඇති ගල්අඟුරු විදුලිබලාගාර රැසක් මේ වන විට ක්‍රියාත්මක වන්නේ අර්ධ වශයෙන් වන අතර, මෙගාවොට් 1,150ක් ජාතික විදුලි පද්ධතියට එක් කරන මටර්බරී ගල්අඟුරු විදුලිබලාගාරයට සම්පූර්ණ ධාරිතාව උත්පාදනය කිරීමට දිනකට ගල්අඟුරු ටොන් 13,000ක් අවශ්‍ය බවත්, මේ වන විට එය ටොන් 8,000කට සීමා කර ඇති බවත් වාර්තා වේ. එම සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් සතුව ඇත්තේ තවත් මාස එකහමාරකට පමණ අර්ධ වශයෙන් ක්‍රියාත්මක වීමට තරම් ප්‍රමාණවත් ගල්අඟුරු තොගයක් පමණක් බවය.