22
දකුණුදිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් එම ප්‍රාන්තයේ සිදු කරන අමෙරිකානු ඩොලර් බිලියන 60ක චීන ආයෝජන ව්‍යාපෘතියට දැඩි බලපෑම් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බලුකිස්තාන ප්‍රාන්තයේ ගැඹුරු මුහුදේ ග්වාඩර් වරායේ ඉදි කිරීම් කටයුතු මෙන්ම තවත් චීන ආයෝජන ව්‍යාපෘති රැසක සංවර්ධන කටයුතු බලුකිස්තාන විමුක්ති හමුදාව පසුගියදා එල්ල කළ ප්‍රහාරවලින් අඩාළ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය මාසයේ අගභාගයේ බලුකිස්තානය හරහා දිවෙන අධිවේගී මාර්ගයේදී එම ප්‍රාන්තයේ නොවන සිවිල් වැසියන් 74 දෙනකු ඝාතනය කිරීම හේතුවෙන් එරට සෙසු ප්‍රාන්තවල සිට බලුකිස්තාන ප්‍රාන්තයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා කම්කරුවන්ගේ පැමිණීම මුළුමනින්ම නතර වී ඇතැයි ද, ආයෝජන ව්‍යාපෘතිවල සේවයේ නිරත චීන ඉංජිනේරුවරුන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමෙන් පාකිස්තාන රජය චීනයේ උදහසට ලක්වී ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
බලුකිස්තාන විමුක්ති හමුදාව එම ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ප්‍රාන්තයේ ආයෝජන ව්‍යාපෘති සඳහා චීනය ඉදිරිපත් වී ඇත්තේ අරාබි මුහුද සමඟ චීන සම්බන්ධතා වර්ධණය කිරීමේ අරමුණින් බවට චෝදනා කරමින් බව ද වාර්තා වේ. පවතින ආරක්ෂක තර්ජන හේතුවෙන් එම ආයෝජන සඳහා තවදුරටත් දායකත්වය සැපයීමට චීනය පසුබට විය හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.