16
සිතුවාටත් වඩා විශාල සහයෝගයක් ග්‍රාමීය මට්ටමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවද කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා:
“අපේ දිස්ත්‍රික්කය බැලුවාම සහ වෙනත් පළාත්වල අයත් සමඟ කතා කළාම ගෙයින් ගෙට යෑමේදී තමයි ඇත්ත තත්ත්වය අපට වටහාගන්න පුළුවන් වෙන්නේ. මොකද, අපි හිතුවට වඩා විශාල සහයෝගයක් ග්‍රාමීය මට්ටමින් ජනාධිපතිතුමාට තිබෙනවා. ඇයි මේ වගේ නිශ්ශබ්ද සහයෝගයක් ලැබෙන්නේ. මාලිමාව ගෙයින් ගෙට යෑමේදී ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ, දැන් ඔවුන් රටේම දිනනවා, ඕගොල්ලෝ තනිවෙන්න එපා. ඕගොල්ලොත් අපට සහය දෙන්න. ඕක තමයි අනුර කුමාර දිසානායක උතුරට ගිහිල්ලාත් කිවුවේ. උතුරේ ජනතාවට තනි වෙන්න එපා කිවුවා දකුණු ජනතාවගෙන්. පොඩි පොඩි තර්ජනය තමයි ගෝල බාලයෝ කරන්නේ. ඇයි තනි වුණාම තියෙන ප්රශ්නය මොකක්ද? මෙච්චර කල් ජනතා විමුක්තිය පෙරමුණ සියයට තුනක් ගන්න කොට තනි වුණේ නැද්ද ගම්වල? මේකෙන් ඔවුන් කියන්නේ අපි තමයි දිනන්නේ, එනිසා බලාගමු. ඒක තමයි මේ දෙන පණිවිඩය. නැතුව තනි වීම ඒගොල්ලොන්ට සුපුරුදු දෙයක්. හැටහතේ ඉඳලා දිගටම තනි වෙලා තමයි හිටියේ ඒගොල්ලෝ. එ තනි වීම තුළ තමයි ඔවුන් තීරණයක් ගත්තේ හැත්තෑ සන්නද්ධ කැරැල්ලට. ආපහු අසූදෙකේ ඡන්ද කරලා, ආපහු දෙලක්ෂ හැත්තෑ දාහකට සීමා වෙලා ආපහු තනි වුණාම තමයි තීරණය කළේ 88/89 කැරැල්ල ගහන්න.
“මේ සැරේ මේ ගොල්ලෝ ජයග්‍රහණය කරනවා කියලා මහ ලොකුවට හිතාගෙන ඉඳලා දැන් කියනවා තනි වෙන්න එපා කියලා. ඊට පස්සේ අහනවා කාටද සහයෝගය දෙන්න කියලා. කිවුවාම පොතේ ලකුණු කරගන්නවා. ඕකම තමයි රෝහණ විජේවීර මහත්මයා 1982 කළෙත්. 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර ලංකාව වටේ සමීක්ෂණය කළා මේ වගේ. ලක්ෂ දාහතරක් ආවා ඔහුගේ ඡන්ද. මමත් මැතිවරණ ව්‍යාපාරයේ අනෙක් පැත්තෙන් කොබ්බෑකඩුව මහත්මයාට. මගේ මිතුර වෛද්‍යවරුන් ඇතුළු සහයෝගය දුන් සියලු කණ්ඩායම් කිවුවේ ඒගොල්ලෝ ජයග්‍රහණය කරනවා කියලා. මම කිවුවා මට නම් බිමේ එහෙම දෙයක් පේන්නේ නැහැ කියලා. එහෙත් ඔවුන් මහා විශාල ජයග්රාහි මට්ටමේ හිටියේ. ඒ ගොල්ලො උතුරු නැඟෙනහිරින් තුන් ලක්ෂයක්ද කොහෙද ලැබෙනවා කියලා බලාපොරොත්තුවෙන් හිටියේ. එහෙත් අවසානයේ මැතිවරණ ප්‍රතිඵල බැලුවාම දෙලක්ෂ හැත්තෑදාහයි ඡන්ද හම්බ වුණේ. ඊට වඩා ඡන්ද ප්‍රමාණයක් ඔසී ගුණසේකර මැතිතුමා ගත්තා. විජය කුමාරතුංග ඝාතනය වුණාට පස්සේ, අපි ඊට වඩා ඡන්ද ප්‍රමාණයක් ගත්ත වාමාංශික ව්‍යාපාරයක් විදිහට. මේකෙන් පස්සේ තමයි රෝහණ විජේවීර මාස තුනක් ගෙදර ඉඳලා ඇතිවෙලා කිවුවේ, සහෝදරයා මේ ක්‍රමවේදය තුළ අපට ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා අපි විකල්ප ක්‍රමවේද හොයන්න ඕනෑ. ඒ විකල්ප ක්‍රමවේදය තමයි 88/89 මිනීමරන වැඩපිළිවෙළ. මම කියන්නේ මේකම තමයි අද ජවිපෙට වෙලා තියෙන්නේ.
“රැස්වීමක් තියෙනවා නම් ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු ඒකට යනවා. ඒ කාලෙත් එහෙමනේ. ජනතාව විමුක්ති පෙරමුණ රෝහණ විජේවීර ඉන්න කාලෙත් හම්බන්තොට රැලියක් තිබ්බත් කොළඹ මිනිස්සුත් ඒකෙ ඉන්නවා. ඒක පුහුණු කරලා තියෙන්නෙ ඒ පක්ෂයට. අද වාණිජ අන්දමින් ඔවුන් ඒක කරනවා. ඔවුන්ට මුදල් ගෙවමින් බස්වල දාගෙන ශ්‍රී ලංකාවේ හැම තැනම යන ඒගොල්ලන්ගේ වෙනම කණ්ඩායමක් තියෙනවා. දර්ගා නගරයේ තිබෙන රැස්වීම, දර්ගා නගරයේ කිසිම සිංහල කෙනෙක් නැහැ. ඉන්නේ ඔක්කොම මුස්ලිම්වරු. මුස්ලිම්වරුන්ගේ මක්කම වගේ කියලා තමයි දර්ගා නගරයට කියන්නේ. දැක්කා නේද ඒකේ පින්තූර? එක මුට්ටක්කළියක් නෑ. එක තොප්පියක් නෑ. එතන ඉන්නවා ගවුම් ඇඳපු ළමයි. සාරි ඇඳපු අය. එහෙම අය නැහැ දර්ගා නගරයේ. මං දැක්කා සමාජ මාධ්‍යයේ ලියලා තියෙනවා, දර්ගා නගරයත් සිංහල වෙලා නේ කියලා. මේ පිම්බීම තුළ ඒගොල්ලොන්ට ආකර්ෂණයක් තිබුණා. මොකද ජනතාවට තේරුමක් තිබුණේ නැහැ මේ මැතිවරණයේදී මොකක්ද කරන්නේ කියලා.
“මේ වෙන කොට ජනතාවට හොඳටම තේරිලා, අපි ඉදිරිපත් කරන කරුණු දැක්වීම් අනුව ඔවුන් දන්නවා රනිල් වික්‍රමසිංහ නැති වුණොත් මේ රට විශාල අගාධයකට යනවා කියලා. එනිසා යම් බියක් ඇති වෙලා තියෙනවා රටේ මේ තියෙන වැඩි පිළිවෙළ නැති වුණොත් මේ රට ගිනි ගොඩක් බවට පත් වනවා. දරුවාට කිරි පැකට් එකක් හොයාගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ගෙයින් ගෙට යනකොට සීයට අසූවක් කියන්නේ රනිල් වික්‍රමසිංහ කියලා. මගේ දිස්ත්‍රික්කයෙන් පිට අනෙක් දිස්ත්‍රික්කවල මිත්‍රයින්ගෙන් මම ඇහුවා කොහොමද තත්ත්වය කියලා. ඒ ඔක්කොම කියන්නේ සියයට 80 ක් කියලා අපි කියමු සියයට 80 පැත්තකට දාලා සියයට 60 ආවත් සියයට 20 අයින් කලත් අතිවිශාල ජයග්‍රහණයකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරනවා.”
නෙත්මි පූජනී රත්නායක, මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ