10
ආසියාතික රටවල් අතරින් ළමා මන්දපෝෂණය වැඩිම රට ශ්‍රී ලංකාව බවට පත්වෙද්දී මේ රට පාලනය කළ නායකයන්ගේ විදේශීය ගිණුම් තරවී ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය පැවැසුවාය.
ඇය මේ බව පැවැසුවේ ගම්පහ නගරයේ පැවති කාන්තා සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද සඳහන් කළාය.
“පසුගිය වසරේ මම බන්ධනාගාරවල නිරීක්ෂණයක් කළා. ඒ වෙනකොට බන්ධනාගාරවල 47,000ක රැඳවූවන් හිටියා. ඒ අතරින් 30,000ක් පහ වසරට පමණයි ඉගෙනගෙන තිබුණේ. 62% පාසල් අධ්‍යාපනය අත් හැරපු තරුණ පිරිස තමයි අද මත්ලෝලීන් බවට පත්වෙලා ඉන්නෙ. මේ රට තට්ටු මාරු ක්‍රමයට පාලනය කළ පාලකයන් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන පොත්පත්, පෑන්, පැන්සල්, පාවහන්, බෑග්, කවකටු පෙට්ටි, මකන කෑල්ල ඉඳලම බදු ගැහුවා. දරුවන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ මිලදී ගන්න මවුපියන්ට වත්කමක් නෑ. දරුවන් පාසල හැර ගිහින් යාචක ජාවාරමට වැටුණා. වීදි ගායකයන් වැඩි වුණා. අද වෙනකොට මානසික රෝහල්වල, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල, බන්ධනාගාරවල ඉන්න මත්ලෝලීන්ගේ ජීවිත කතාව අහන්න බැරි තරම් ශෝචනීයයි. අපේ රටේ ගම්වල තිබුණ සාමකාමී බව අද කඩා වැටිලා. හැම ගමකම අද මතට ඇබ්බැහිවූවන් පහළොවක් විස්සක් ඉන්නවා. ගමේ සුන්දරත්වය ගැන සාහිත්‍යධරයන් කවි සින්දු කියපු කාලේ ඉවරයි. මතට තිත තියන්න නම් දේශපාලනය හරහා ඍජු තීන්දුවක් තිබිය යුතුයි.
අද අපේ දරුවන් පුස්තකාලයෙන්, ක්‍රීඩා පිටියෙන් ඈත්වෙලා. අපේ රජයක් යටතේ රටේ දරු පරපුරට මුල්තැන හිමි වෙනවා. අපේ පාලනයක් යටතේ ගම් මට්ටමින් කිලෝමීටර් තුනක් ඇතුළත අංග සම්පූර්ණ පාසලක් හදනවා. මේ සෑම පාසලකම භාෂා තුනෙන්ම දරුවන්ට අධ්‍යාපනය දීම අපේ ප්‍රධාන අරමුණ වෙනවා. මොකද මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න දරුවන් උගතුන් බුද්ධිමතුන් විය යුතුයි. උගත් බුද්ධිමත් දරු පරපුරක් අපේ රටට අවශ්‍යයි. මතක් කරලා බලන්න, මේ කාල සීමාවේ ඔබේ වැටුපෙන් ඔබට පුළුවන් වුණාද දරුවාට අවශ්‍ය කරන පෝෂ්‍යදායී ආහාර ටික දෙන්න. නමුත් රට පාලනය කළ ඇත්තන් ඒවා පමණටත් වැඩියෙන් ඉටු කරගෙන ඉවරයි.
අපේ රටේ පුරවැසියන්ගේ වටිනාකම කතිරයට සීමා නොකරන කොන්දේසි විරහිතව ජනතාවගේ සුබසිද්ධියට ඉදිරිපත්ව සිටින එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි.
අද අපේ රටේ කාන්තාවන් තමන්ගේම නිවෙසේදී සාහසික අන්දමින් ලිංගික දූෂණයට, කෲරත්වයට, සාපරාධී ලෙස ඝාතනයට ලක් වෙනවා. අද කාන්තාවකට, තරුණියකට නොවේ වයෝවෘද්ධ මවකට හෝ දෙතුන් හැවිරිදි බිලිඳියකටවත් මේ රටේ නිදහසේ ජීවත් වෙන්න බෑ. පොදු ප්‍රවාහන සේවයක යන්න බෑ.
මාලිමාවේ රජයකින් කාන්තාවන්ට මේ රටේ ආරක්ෂාව සහිතව ජීවත්වීමේ අයිතිය දෙනවා. ඒ ගැන අපි ඔබට සහතික වෙනවා.”
කැලණිය – කේ. එස්. හැන්නදි