19
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්ගේ මතක සටහනකි
ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසය පිරික්සන ගමන් මගෙහි, සිය මතකාවර්ජනයන් අපත් සමඟ බෙදාහදා ගන්නට අද දින දොඩමලු වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි ප්‍රවීණ නිවේදකයකු, හිටපු පාඨශාලාචාර්යවරයකු, ලේක් හවුස් ආයතනයෙහි හිටපු කර්තෘ මණ්ඩල අධ්යක්ෂවරයකු සහ හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ සීලරත්න සෙනරත් මහතාය. ඔහු අපත් සමඟ බෙදාහදා ගත් මතකයන් බිඳක් මෙලෙස ගෙනහැර දක්වන්නෙමු.
ජනාධිපති මැතිවරණයක් අත ළඟම එනවා. මට සිහිපත් වෙන්නේ මගේ අතීතයයි. විධායක අග්‍රාමාත්‍යතුමිය වශයෙන් මේ රටේ සේවය කළ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වර්ෂ 1977දී මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ කාල වකවානුවේ අත්දැකීම් බොහෝමයක් සිතේ පැලපදියම් වෙලා තිබෙනවා. ඒ අතරින් එක් අත්දැකීමක් ඔබත් සමඟ බෙදා හදාගන්න මට හිතුණා.
මෙම කාලයේදී අම්පාර දිස්ත්‍රික්කයේ සියඹලාවැව විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිවරයා වශයෙන් මම සේවය කළා. එවකට අම්පාර දිස්ත්‍රික්කයෙහි මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ විදුලිබල, වාරිමාර්ග සහ මහාමාර්ග මෙන්ම මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සෝමරත්න සෙනරත් මහතාය. මගේ පාසලට විදුලිය තිබුණේ නෑ. ගමට විදුලිය තිබුණෙත් නෑ. ඉතින් විදුහල්පතිවරයා වශයෙන් මගේ පාසලටත් ගමටත් විදුලිය ඉල්ලමින් සෝමරත්න සෙනරත් මහතාට මම ලිපියක් ලියුවා. ඒ ලිපියට පිළිතුරක් ලැබුණා. වහාම පැමිණ මන්ත්‍රීවරයාව මුණගැසෙන ලෙස එහි සඳහන්ව තිබුණා. අවසානයේ දී, සෝමරත්න සෙනරත් මහත්මයා මුණගැසීමට යන දවස උදා වුණා. මම අම්පාර නගරයට ගොස් සෝමරත්න සෙනරත් මහතාගේ කාර්යාලයට පිවිසියා. ඔන්න ඉතින් එතුමා මුණගැසීමට මගේ වාරය පැමිණියා.
“සර් මගේ නම සීලරත්න සෙනරත්. සර්ගේ ලිපියකට අනුවයි අද මම ඔබතුමාව මුණගැහෙන්න ආවේ.” මම පැවසුවා. ඔහු මහ හඬින් සිනාසී මෙසේ පැවසුවා.
“මම සෝමරත්න සෙනරත්. තමා සීලරත්න සෙනරත්. මිත්‍රයා, අපි එකතුවෙලා මේ රට වෙනුවෙන් වැඩ කරමු නේද? මේ රට අපේ දේශීය චින්තනයට අනුව ගොඩනගන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. හොඳයි, ඔබේ ඉල්ලීමට අනුව මම ඔබේ පාසලටත් ගමටත් වහාම විදුලිය ලබා දෙනවා. මිත්‍රයා අපි එකතුවෙලා වැඩ කරමු. ඔය ඉස්කෝලේ මහත්තයා සම්මන්ත්රණ එහෙම පවත්වන්න. මේ රට පත්වෙලා තියෙන ආර්ථික අවපාතය පිළිබඳවත් දේශීය චින්තනය පිළිබඳවත් ජනතාව දැනුම්වත් කරන්න. මමත් පුළුවන් වෙලාවට සහභාගි වෙන්නම්.
ඉතින් මට ඒ ඉල්ලීම අහක දාන්න බැරි වුණා. එය නොපිරිහෙලා ඉටුකරන්නට මම තදින් බැඳී සිටියා. ඒ වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කළා. මේ යටතේ අපේ පාසල් වත්ත ආදර්ශ ගොවිපළක් බවට පත්කරලා මුළු භූමිය පුරාම ලංකා පරිප්පු, කව්පි, මුං ආදී ධාන්‍ය වර්ග වගා කළා. මගේ පාසලේ දරුවෝ වන ධර්මසේනලා, සිරිසේනලා, ගුණරත්නලා, වසන්තලා වගේම කල්යාණිලා, කාන්තිලත් ගජරාමෙට වැඩ. ඒ වසරේ පැවැත් වූ ගෙවතු වගා තරගයකින් මගේ පාසලට ප්‍රථම ස්ථානය ලැබුණා.
මේ විදියට කාලය ගෙවිලා ගියා.1977 මැතිවරණය පැවැත්වුණා. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිමල්ලවයා වූයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. එතුමා වේදිකා වල මෙසේ සඳහන් කළා.
“ මේ රටට සම්බාධක දාලා තියෙනවා. මම ඒවා වහාම ඉවත් කරනවා. ධාන්‍ය රාත්තල් අටක් හැමෝටම ලබා දෙනවා. මයිසූර් පරිප්පු ගෙන්වන්න වහාම කටයුතු කරනවා. මේ තහනම් කරලා තියෙන හැම දෙයක්ම අපි නැවත ගෙන්වනවා. සංවෘත ආර්ථිකය අපිට හරියන්නේ නැහැ. විවෘත ආර්ථික ප්‍රතිපත්ති තමයි මගේ ප්‍රතිපත්තිය.”මෙවැනි ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කළ එතුමාට, හයෙන් පහක විශාල බලයක් සහිතව මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්වුණා.
මට මතකයි ඒ කාලයේ පොලිසියට හරියට නිවාඩු දීලා වගේ. රටේ හැමතැනම හරියට කලබල. මිනිස්සු හිතු මනාපයට ජයඝෝෂා කරනවා. සැමරුම් උත්සව පවත්වනවා. පෙළපාළි යනවා. ඒත් පොලිසිය නිහඬයි. ඉතින් මේ පෙළපාළියක් සියඹලාවැව විද්‍යාලයටත් ආවා. ඉස්සරහින්ම හිටියේ පාසලේ ආදි ශිෂ්‍යයකු වන මුතු බණ්ඩා. ඔහු ඉදිරියට විත් මෙසේ ප්‍රකාශ කළා.
“සමාවෙන්න සර්. ඔබතුමා සෝමරත්නගේ කෙනෙක්නෙ. ඉතින් සර් දැන් අපේ ආණ්ඩුවක් ඇවිත් තියෙන්නේ. සර්ට පොඩි දඬුවමක් දෙන්න තියෙනවා.
මොකටද තමුසෙලා ආවේ? මට ගහන්නද? මම දෑත් එසෙව්වා.
අනේ සර්ට කවුද ගහන්නේ? සර්ට පොඩි දඬුවමක් විතරයි දෙන්න යන්නේ. අර සිරිමාවොගේ පින්තූරය ගලවලා පොළොවෙ ගහලා අසභ්‍ය වචනයක් කියලා පාගන්න. ඔවුන් මට පැවසුවා.
ඒ පාහර දේශපාලනය මම කිසිම දවසක කළේ නැහැ. මම කළේ ඉතාමත් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්. ඇය මගේ රාජ්‍ය නායිකාව. මේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය. දැන් ඇයට බලය නැහැ තමයි. ඒත් මට බලයේ සිටින නායකයාගේ පින්තූරයක් ලැබෙනවා. එතකොට මම ඒ පින්තූරය එල්ලන්නම්. සියලු බලාපොරොත්තු කඩ වූ ස්වරූපයකින් මුතු බණ්ඩා මා කෙරෙන් ඉවත්ව පෙළපාළිකරුවන් වෙත මෙම සිදුවීම සැලකර සිටියා. එක්වරම පෙළපාළිකරුවෙකු ඉදිරියට ආවා. සිරිමාවෝ මැතිනියගේ පින්තූරය ගලවලා අසභ්‍ය වචනයකින් බැණ වැදී පොළවේ ගසා කෙළ ගැසුවා.
මගේ දෑසට කඳුළු ඉනුවා. මේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය නේද? එතුමියට අපහාස කරන්න මේ මිනිස්සු කවුද? ඒත් ඉතින් මම මොනවා කරන්නද? මම නිහඬ වුණා. මුළු පාසලේම එකම කාල ගාලගෝට්ටියක්. මට හිරිහැරයක් වේවි කියලා මුළු පාසලේම දරුවෝ අඬනවා. කෙසේ හෝ ඒ කලබැගෑනිය අවසන් වුණා. මේ විදිහට කිසිම හාවක් හූවක් නැතිව සතියක් ගත වුණා. සතියකට පස්සේ අපේ පාසලට ලිපියක් ආවා. ඒ ලිපියේ සඳහන් වුණේ, සිංහල සමාජ අධ්‍යයනය උගන්වන ගුරුවරයකු වූ මා වාලච්චේනයේ දමිළ විද්‍යාලයකට මාරු කර යැවූ බවයි. මගේ ක්රියාකලාපයන්ට දේශපාලනයෙන් ඒ ආකාරයට දඬුවම් ලැබුණා. ඒ වන විටත් මම තනිකඩ ජීවිතයට ආයුබෝවන් කියලා තිබුණේ. මගේ බිරිඳ, පුතා මිස්සක සෙනරත් ලැබෙන්න රෝහල්ගත වෙලා හිටියා. කොයිතරම් අපහසුවෙන් වුණත් හිත හදාගෙන මම සූට් කේස් එකත් අරන් වාලච්චේනයට ගියා. මට උගන්වන්න ලැබුණේ තුනේ පන්තිය. පුංචි ළමයි දෙමළෙන් මොනවදෝ ලියනවා. එයාලගෙන් තමයි මමත් මුලින් දෙමළ ඉගෙන ගත්තේ.
ඊට පස්සේ මට සිප්පිමඩුව නම් වනගත පාසලක විදුහල්පතිවරයෙක් වශයෙන් මාරුවීමක් ලැබුණා. මම ඒ පාසලට ගිහිල්ලා පාසලත් හදලා, ගමත් හදලා, පන්සලකුත් හදලා ශිෂ්‍ය නායකයාව මහණ කරලා තමයි ආපහු ආවේ. මේ කාලයේදී තමයි, කම්බරාමායල් තිරුක්කුරල් නාලඩියර් කියන සාහිත්‍ය කෘතිය පිළිබඳව මඩකළපුවේ පුස්තකාලයෙන් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊට අවුරුදු හතළිහකට පසුව, ඒ කියන්නේ 2018 වර්ෂය වන විට මට කැලණිය විශ්වවිද්‍යාලයෙහි දමිළ භාෂාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් වීමේ භාග්‍ය හිමි වුණා. මම ගුවන්විදුලි සංස්ථාවේ නාට්‍ය ශිල්පියකු වශයෙන් හඬ පරීක්ෂණයට සහභාගි වුණෙත් මඩකළපුවේ ඉන්න කාලයේදීමයි. මේ එක අත්දැකීමක් විතරයි.
මේ වගේ බොහෝමයක් මැතිවරණ අත්දැකීම් මා සතුව තියෙනවා. ඒවා පසුවට ඔබත් සමඟ බෙදා හදා ගන්නම්.
තවත් මතකයකින් හමුවෙමු.
එච්.කේ.එස්. නවෝදා හඳරාගම