12
සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර සෞභාග්‍යසම්පන්න දැහැමි ජන ප්‍රජාවක් නිර්මාණය කළ යුතු බවත්, ඒ සඳහා දහම් අධ්‍යාපනය සුරැකිය යුතු බවත් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (11) කොළඹදී පැවති සමගි ජන බලවේගයේ ජාතික සඟ සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අද අපේ මාතෘ භූමිය බහුවිධ අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවක්. ග්‍රාමීය සංවර්ධනය කඩා වැටිලා. ජන ජීවිත කඩා වැටිලා. ජීවනෝපායන් බිඳ වැටිලා. අප රටේ ඉතිහාසය පුරාවටම රටට විවිධ අභියෝග එල්ලවන විට රටත්, ජනතාවත් රැක ගැනීමට පුරෝගාමී අනුශාසනා දුන්නේ අපේ මහා සංඝරත්නය. මහා සංඝරත්නයේ මැදිහත්වීම අත්‍යවශ්‍යම කාලයක් මේ. අද අප සමාජයේ ශිෂ්ට සම්පන්නභාවය පිරිහෙමින් පවතිනවා. මානුෂීය ගුණාංග ක්ෂය වෙමින් පවතිනවා. කඩා වැටුණු දේශයේ යහපත් සංකල්ප, ගතිපැවතුම් දහම් සුවඳ මූලික කරගෙන ක්‍රියාත්මක වෙන්න ඕනෙ.
අපි විශ්වාස කරනවා, දහම් අධ්‍යාපනය කේන්ද්‍ර කරගෙන සුචරිත වූ ජන සමාජයකට මුලපුරන්න ඕනෙ කියලා. දහම් අධ්‍යාපනය, විහාරස්ථාන ඇතුළු සියලුම ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන අපේ රටේ දරු පරපුරට සුහුරු අධ්‍යාපනය දෙන මධ්‍යස්ථාන බවට පන්සල සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන පත්විය යුතුයි.
අපේ පන්සල් පද්ධතිය ආරක්ෂා කර ගත යුතුයි. පන්සල් පද්ධතියෙන් රටට යහපතක් වන බොහෝ ක්‍රියාදාමයන් අද අඩපණ වෙලා. විවිධ පළාත්වල විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන වැසී යනවා. සෑම විහාරස්ථානයක්ම කේන්ද්‍ර කරගෙන කැපකරු මාපිය ක්‍රමයක් ආරම්භ කර විහාරස්ථානවලට සහ ආගමික සිද්ධස්ථානවලට සූර්ය බලශක්තිය දීමෙන් බෞද්ධ ආගමික සිද්ධස්ථාන සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන මුහුණ දෙන විදුලි බිල ගැටලුවට විසඳුම් දෙනවා.
ඊ තාක්ෂණය, ඊ අධ්‍යාපනය දීම පාසලේ තරුණ මධ්‍යස්ථානයේ මෙන්ම වෘත්තීය පුහුණු ආයතනවල සිදු වෙනවා සේම ඒ කාර්යය විහාරස්ථාන කේන්ද්‍රකරගෙන ද සිදු කළ යුතුයි.
දරුවන්ගේ අධ්‍යාපන ගමන ආරම්භ වන මොහොතේ සිට ආගමික පරිසරයක හැදෙන දරුවන්ගේ යහපත් හැදියාවන් නිර්මාණය වනවා. සුචරිත වූ ගුණාංග නිර්මාණය වෙනවා. ඒ නිසා සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරමින් එහි මුර දේවතාවන් වන අපේ මහා සංඝරත්නය රැක ගනිමින්, අපේ පන්සල් පද්ධතිය සුරක්ෂා කරමින් අපි අපේ මාතෘ භූමියේ දැහැමි ගති පැවැතුම් ඇති ජන ප්‍රජාවක් නිර්මාණය කිරීම අපේ වගකීම වෙනවා.
ශාසනාරක්ෂක බලමණ්ඩල කොට්ඨාසවල දහම් පාසල් තරගවලට අනුග්‍රහය දෙන්න බැරි පාලනයක් තමයි අද රටේ තිබෙන්නේ. අපි ඒ අඩුපාඩුවට අනිවාර්යයෙන් විසඳුම් දෙනවා. රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය ඇති කර, බුද්ධශාසන අරමුදලක් බිහි කර රටේ තිබෙන සමස්ත විහාරස්ථාන පද්ධතිය සහ දහම් අධ්‍යාපනය සුරක්ෂා කරන්න, දහම් පාසල් ගුරු සහතිකයට රජයේ රැකියා සම්මුඛ පරීක්ෂණයේදී ලැබුණු විශේෂ සැලකීම නැවත ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරනවා.
අපේ රටේ පන්සල් පද්ධතිය ආරක්ෂා කරගනිමින්, පන්සල් පද්ධතිය තුළ මහා සංඝරත්නය ඉටු කරන ආගමික සේවාව, ශාසනික සේවාව ශක්තිමත් කරන්න අපි කැප වෙනවා. සංස්කෘතික බලප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සංස්කෘතික සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම අපේ රටේ බෞද්ධාගමික සිද්ධස්ථාන ප්රමුඛ සියලුම ආගමික සිද්ධස්ථාන ගොඩනඟන වැඩසටහනට යොමු කරනවා. ආගමික සිද්ධස්ථාන ගොඩනඟන වැඩසටහනක් තුළ පාසල් දරුවන් මූලික කරගෙන තරුණ ප්‍රජාවටත් ශක්තිය දෙන දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට විහාරස්ථානය පරිවර්තනය කරනවා.
භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස රකින්න කැපවී සිටිනවා. ආගම් අතර, ජාතීන් අතර එකමුතුභාවයේ සංහිඳියාව රටේ විශාලම ශක්තිය බවට පත් කරගෙන රට දුප්පත්භාවයෙන් මුදාගන්න අවශ්‍ය ශක්තිය දෙනවා. ගම් හදා, නගර හදා, රට හදන වැඩසටහනේ පාර්ශ්වකරුවන් බවට නායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ සියලුම ස්වාමීන් වහන්සේලා නායකත්වය දිය යුතුයි. ඒ නායකත්වයට කාලය එළැඹ තිබෙනවා. අපේ රටේ ජනතාවට තවත් පීඩා විඳින්න දෙන්න බෑ. අපේ රටේ ජනතාව දුක, කඳුළ වේදනාවෙන් මුදා ගන්න අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මමත්, මගේ කණ්ඩායමත් ඒ ගමනට දිය හැකි විශිෂ්ටතම නායකත්වය දෙන්න කැපවී සිටිනවා.”
රක්ෂණ ශ්‍රියන්ත